top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥(5 වෙනි කොටස)


‘‘කොළුවෝ මේ බුද්ධ පූජා තැටි ටික ලෑස්ති කරන්න....දැන් මුදලාලිලා එයි බුද්ධ පූජාව බෙදන්න.‘‘


‘‘අනේ සීමන් මාමේ මං හරි බයයි එළවළු මුදලාලිට.... අදට විතරක් මං පන්සලේ පිටිපස්සට වෙලා ඉන්න මුදලාලි යනකම්....?.‘‘


‘‘මොකට බය වෙනවද මුදලාලිට.... උඹව කනවයැ?"


"‘අනේ සීමන් මාමෙ මං කුස්සිය පිටිපස්සට ගිහින් ඉන්නම්. මුදලාලිලා යනකම්.‘‘


‘‘හා... හා... එහෙනම් පළයං. මං වෙනදා වගේම බුද්ධ පූජා තැටි ටික ලෑස්ති කරන්නම්.‘‘


සීමන් මාමා මට බැන්නත් හොද කෙනෙකු යැයි මම සිතුවෙමි.


ලොකු හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවොත් තවත් වැඩිමල් ස්වාමින් වහන්සේ නමක්ද "වැඩ සිටින "ගමේ පන්සලට මාසේ වේල් දානේ ගේන දායකයන්ට පන්සිල් දී, පිරිත් ටිකක් කියා බණක් ද කියන එක හැමදාම උදේට දවල්ට පන්සලේ කරන සිරිතකි..... දවල් දානය කවුරුවත් ගේන්න භාර නොගෙන සිටියොත්, සීමන් මාමා එදිනට දානය දන් ගෙයි උයා ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්නේය.


මුදලාලිලා බුද්ධ පූජාව පූජා කර ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්වා යන තෙක්, මම පන්සල් වත්ත පල්ලෙහා ගෝරක ගහකට නැගගෙන සිටියෙමි. අද පන්සල් ඇවිත් සිටින්නෙ සහන්ගෙ අම්මයි, තාත්තයි, ආච්චියි, මාමා කෙනෙකුයි විතරයි. සහන් අද ඉස්කෝලෙ යන්න ඇති. දැන් මේ වෙන කොට මුළු ඉස්කෝලෙම අය දන්නවා ඇති මං බුද්ධ පිලිමයේ බුදුරැස් මාලාවේ කැරකෙන මෝටරය හොරකම් කරන්න ගිය බව.... මම කරපු වැරැද්ද මේ වන විට මට තේරුම් ගොස්, ඒ ගැන ඇතිවි තිබුන ලැජ්ජාව නිසා මට පාසැල් ගමන එපාවි තිබුනි.....මං නම් ආයෙත් කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ. ඒ උනාට අපේ ඉස්කෝලෙ ඉන්න ළමයින් හැමෝම මේ පන්සලට නිතර එනවනේ.... ඒ අය මාව දැක්කොත් මට විහිළු කරයි ‘මෝටර් හොරා‘ කියලා.... අනේ මට නමි මේ පන්සලේත් දැන් ඉන්න බෑ.... මං ලොකු හාමුදුරුවන්ට කියනවා මාව වෙන කොහේ හරි ඈතකට යවන්න කියලා. මේ ගමේ මිනිස්සු පේන්න නැති පළාතකට මාව අරින්න කියනවා. මම දැන් ගමෙි මිනිස්සු දකින්නවත් කැමති නැත. මට ඕනෙ ගමේ හැමෝටම හොරෙන් පේන්න නැතිවෙන්න හැන්ගිලා ඉන්නයි.


‘‘විසල්... විසල්.... ඔයා කොහේද?

පොඩි හාමුදුරුවන්ගෙ කට හඬ ඇසී මම ගොරක ගහෙන් බිමට බැස්සෙමි.


‘‘මොකද මේ ගොරක ගහට නැගලා?.‘‘


‘‘මුදලාලිලා ගියා ද පොඩි හාමුදුරුවනේ.‘‘


‘‘ඔව්... ඇයි...? සීමන් මාමා කිව්වා මුදලාලි යනකම් විසල් පන්සලේ වත්ත පල්ලෙහාට ගියා කියල.... ඒ මොකද?


අන්තිමේදි පසැලේදි මම කරපු නරක වැඩේ පොඩි හාමුදුරුවන්ට එකින් එක කීවෙමි..... , මා කවදාවත් දැක නොතිබුණ ලස්සන බුදුරැස් මාලාවේ මෝටරය මම හොරා ගන්න ගිය කතාව, පොඩි හාමුදුරුවන්ට කීවෙි බයෙන්‍ හා දුකෙන්‍ය.... ඒ හොරකම දෙවැනි මහත්තයාට අහුවීම නිසා ඇතිවුන බයත්, පාසැල් ළමයින් මට කල ව්හිළුත් නිසා මම ඒ ලැජ්ජාවට පාසැල් ගමන නතර කර දමපු කතාව පොඩි හාමුදුරුවෝ අහගෙන සිටියේය.


‘‘ අනුන්ගේ දේ හොරකම් කරන එක ලොකු පවක් විසල්.....දෙමව්පියන් ළමයින්ට ඒ දේවල් කියලා දීලා තියෙන්න ඕනේ.... ඒ හින්ද විසල් ඉස්කෝලෙ යන්න ආස නැති උනත්, පාසැල් නොයන එක අපරාදයක්..... මීට පස්සෙ විසල් කවදාවත් හොරකම් කරන්න එපා..... අපි කවුරුත් පන්සිල් පද පහ රැකගෙන ජීවත් වෙන්න ඕනේ.... විසල් ඒක හොඳට හිතට ඇරන් හොඳ කෙනෙක් වෙන්න.‘‘


පොඩි හාමුදුරුවෝ මට පැහැදිලි ලෙස බණක් කියන්නාක් සේ හොරකම් කිරීම පව් පිරෙන වැඩක් බව පෙන්වා දුන්නේය....


‘‘විසල් ගිහින් දැන් බත් කන්න.... අන්න සීමන් මාමා ඔයාව හොයනවා. අපි නම් දානේ වළදලා ඉවරයි. විසල් ගිහින් බලන්නකෝ අද මොනවද දානේට තියෙන්නෙ කියලා….‘‘


මට වඩා බාල වුණත් පොඩි හාමුදුරුවෝ ඉතා නිවුණු, හොඳ ගතිගුණ තියෙන ස්වාමින් වහන්සෙ නමක්‍ බව පෙනේ..... උන් වහන්සේ කතා කරනා විට මගේ හිත ද ටිකෙන් ටික නිවෙන්න පටන් ගන්නවායැයි මට දැනෙන්න පටන් ගත්තේය.


"‘ආ... විසල් එන්න... මොකද විසල් මුදලාලිට පේන්න එළියට ආවේ නැත්තෙ….? මට සීමන් කිව්වා විසල් මුදලාලිට බයයි කිව්වා කියල.... ඒ මොකද....?ලොකු හාමුදුරුවෝ මගෙන් ඇසීය.


මම පොඩි

හාමුදුරුවන්ට කියපු කතාව ලොකු හාමුදුරුවන්ට ද කීවෙමි.


‘‘මං දන්නවා ඒ කතාන්දරය.... මට විසල්ගෙ තාත්තා ඒ කතාව කිව්වනේ.... මං දන්නෑ මුදලාලිගෙ පුතාගෙ දෙයක් විසල් හොරකම් කළේ කියලා..... මීට පස්සෙ අපි ඔය දේ ගැන කතා නොකර ඉමු.... විසල් මීට පස්සෙ හොඳ ළමයෙක් වෙන්න ඕනේ..... පන්සිල් පද පහ හරියට පිළිපදින්න ඕනේ. එතකොට කාටවත් බයේ ජීවත් වෙන්න ඕනේ නෑ.....‘‘


ලොකු හාමුදුරුවෝ ද මට බණ දේශනා කළේය.


"දැන් ගිහින් බත් කාල ඉන්න....‘‘


‘‘අනේ ලොකු හාමුදුරුවනේ අපේ ගමේ, ඉස්කෝලේ ළමයි හැමෝම මෙි පන්සලට එනවනේ...... ඒ අය මාව පන්සලේ දී දැක්කොත් ඉස්කෝලේදි වගේ මට ආයෙත් විහිළු කරයි..... ඒ හින්දා මාව කොහෙ හරි ඈත පන්සලකට යවන්න හාමුදුරුවනේ….."


‘‘ම්..... අපි බලමුකෝ ඒකට විසඳුමක් පස්සේ..... දැන් විසල්. ගිහින් දන් ගෙයි ඉන්න සීමන් එක්ක බත් කාලා සීමන්ට උයන ගේ අස් කරන්න උදව් කරන්න.‘‘


"හොදමයි හාමුදුරුවනේ "


මම උයන ගෙට යනවිට සීමන් මාමා ලොකු බෙලෙක් පිඟානකට බත් බෙදා ගෙන දන් ගෙයි උළුවස්ස උඩම වාඩි වී බත් කයි.... දන් ගෙයි ඉදිරිපස මිදුලේ පන්සලේ බල්ලො දෙන්නත්, පූසෝ දෙදෙනාත් සීමන් මාමා බත් කන දෙස බලා සිටින්නෙ නොවිසිල්ලෙනි..... පූසන් සැරෙන් සැරේ සීමන් මාමාගෙ කකුලේ ඇතිල්ලෙමින් ඤාව්... ඤාව්.... ගායි.


"හිටපන් මං කාලා ඉවර වෙලා උඹලට බත් කන්න දෙන්නම්... මාත් බඩගින්නේ හිටියේ. ආ.... කොලූවෝ උඹත් දැන් බත් කාපන් .... අන්න මං මේසේ උඩ උඹට පිඟානකට බත් බෙදල ඇති.‘‘


සීමන් මාමා බත් පිඟාන දෙස බලාන බත් අනා කමින්ම මට කීය.


මම මේසය උඩ තිබුණ බත් පිඟාන දෙස බැලූවෙමි....පුදුමයකි..... එහි කොත ගසා බත් එළවලු බෙදා ඇත. බත්, පරිප්පු, බෝංචි, හාල්මැස්සන්, දෙල් මැල්ලූම් හා කුට්ටි මාළු කෑල්ලක් ද එහි තිබිණි. මගේ කටට කෙළ ඉනින..... මතක ඇති කාලයක කුට්ටි මාළු කෑල්ලක් මට කන්න ලැබී නැත. ගෙදර දී ඉඳහිට තාත්තා ගේන සාලයෝ මාළු මිස කවදාවත් අපේ ගෙදරට කුට්ටි මාළු ගේන්නෙ නැත.


මම ද බත් පිඟාන රැගෙන සීමන් මාමා කිට්ටුවෙන් ම වාඩි වී බත් කෑවෙමි..... මගේ කටට කෙළ උනා එයි. බත් එක පුදුම රසය.....මට ඉවසුමක් නැත. මම නොවිසිල්ලෙන් බත් එක කෑවේ එහෙන් මෙහෙන් බත් ඇට, බත් පිඟාන පල්ලෙ යද්දීය.


‘‘හෙමිහිට කාපන්... උඹේ පිඟාන වෙන කවුරුත් කන්නෑ.....‘‘


‘‘හරිම රසයි සීමන් මාමේ.... මට පන්සලේම නැවතිල ඉන්න හිතෙනවා, මාමා වගේම එතකොට මටත් රස කෑම කන්න පුළුවන්නේ.‘‘


"හැමදාම මෙහෙම දානේ හම්බ වෙන්නෙ නෑ..... මුදලාලි මහත්තයලාගෙ ගෙදරින් ගෙනාවොත් තමයි මාළු කෑල්ලක් හරි කන්න ලැබෙන්නෙ.‘‘


‘‘ඇයි අනික් දවසට මොනවද හම්බවෙන්නෙ.‘‘?


" මේ ගමේ දුප්පත් උපාසකයන්ගෙ ගෙවල්වලින් වේල් දානේ ගේනකොට, රතු බත්, කොස් තම්බලා, හාල් මැස්සො හොඳි, පොල් සම්බෝල වගේ දේවල් තමයි වැඩිපුර හම්බ වෙන්නේ...... එහෙම නැත්නම් සෝයා මීට් ,පරිප්පු , මඥ්ඥොක්කා කොළ මැල්ලුමක් , ගමේ එළවළුවක් එක්ක බත් ගේනවා.....ගමේ දුප්පත් මිනිස්සුන්ට පුළු පුළුවන් විදිහට තමයි පන්සලට දානේ ගේන්නේ..... මොනව ගෙනාවත් ලොකු හාමාදුරුවොයි අනිත් හාමුදුරුවරුයි පිං දීලා තියෙන දෙයක් වළඳිනවා.‘"


‘‘අද එහෙනම් දානේ ජයයි නේද....?


‘‘ඔව්.. ඔව්.. උඹ ආපු හින්ද ද කොහේදෝ. ඔන්න කිරියි පැණියි, ගස්ලබුත් තියෙනවා අතුරුපසට.... කාලා මේ පිඟන්, කෝප්ප හෝදලා දාපන්. මේ බල්ලෝ, පූසන්ටත් බත් දාන්න ඕනේ....මුංගෙ කරච්චලේ බෑ දානේ ගෙනාපු වෙලාවේ ඉදන් ....‘‘


"කාගෙද මාමේ මේ බල්ලො පූසෝ....?


"මේ නිවන හොයා ගෙන යන්න පන්සල් එන, උපාසක අම්මලා තාත්තලාගේ බල්ලො පූසෝ....ගෙවල් වල හැදෙන බල්ලො පූසෝ පැටව් ටික, රෑට පන්සල් එන වෙලාවට මල්ලෙ දාගෙන ඇවිත් හොරෙන් පන්සලේ තියලා යනවා, අපි කන්න දෙනවා කියලා දන්න නිසා...."


"සත්තුන්ට කන්න දෙන එක පිනක්ලුනෙ මාමේ...."


"ඒක නම් පිනක් තමයි... ,මුංගෙ පස්ස පැත්ත මහලා තියෙනවා නම් ...අඩිය තියෙන තියෙන තැන ජරා කරලා ,පන්සල් වත්තෙ ඇවිදින්න හැටියක් නෑ ගඳේ බෑ...මට තමයි ඒ ජරාව අදින්නත් වෙලා තියෙන්නේ ....කන්නත් දෙන්න වෙලා තියෙන්නේ ...."


පන්සලේ ඉන්න, උපාසකයන් ගෙනත් දාපු බල්ලො පූසන්ට ඉතිරි කෑම කන්න දුන්නට, සීමන් මාමා, ඔවුන් පන්සලට ගෙනත් දාපු අය එක්ක ඉන්නේ කේන්තියෙන් බව පෙනේ....


මේ වන විට, පන්සලේ රස දානේ බත් කා මම සතුටින් සිටියේ ඉස්මුරුත්තාව හැදීය....


සීමන් මාමා කිව් ලෙස මම, දං ගෙය අස්පස් කර දමා, දං ගෙයි දොරවල් වසා දැම්මෙමි.....


දං ගෙට අල්ලා තිබෙන කාමරයේ බූරු ඇදේ, සීමන් මාමා දැනටත් ඇල වී ගොරවයි.....


ගෙදරින් ගෙනා මගේ ඇඳුම් ඇත්තේ ද එම කාමරයේමය. මටත් බඩ කට පිරී බුදිමතක් දැනි ඇත ...ඒත් දවාලට නිදාගෙන මට පුරුද්දක් නැත.


මං හෙමිහිට ඇවිදගෙන ආවාස ගේ පැත්තට ගියෙමි..... ලොකු හාමුදුරුවෝ පේන්න නැත්තෙ සැතපිලා යැයි මට සිතේ.... මං හෙමිහිට ආවාස ගෙයි එළිය පැත්තෙන් ඇවිද ගෙන ගොස් පොඩි හාමුදුරුවෝ වැඩ සිටින කාමරයේ ජනේලයෙන් එබී බැලුවෙමි ..... පොඩි හාමුදුරුවොත්, අනිත් වයස අවුරුදු 25 ක් පමණ වන අනිත් පොඩි හාමුදුරුවොත් පොත් වගයක් පෙරලගෙන පාඩම් කරනවා පෙනින.


මම හෙමිහිට එතනින් නික්ම බෝ මළුව පැත්තට ගොස් හෙවන ඇති තැනක වාඩි වී බෝධින් වහන්සේ දෙස බලා උන්නෙමි..... මගේ ඇස් පිය වී ගෙන ආවේ මටත් නොදැනීමය . මං එතන තිබූ කණුවකට හේත්තු වී ඇස් පියා ගත්තෙ වෙන වැඩක් කරන්න නැති නිසාය....අද කොල්ලෝ කුරුට්ටො එක්ක කැලේ පනින්න යන්නත් නැතිය.... වෙන කවරදාකටවත් වඩා ඉතා රස මුසු ආහාරයක් ඉස්මුරුත්තාවට එනතෙක් කන්න ලැබුනාට පසු මගේ හිතත් ගතත් සතුටින් පිරී බුදිමතක් නම් හෙමිහිට එනවා දැනින.


මම හොදින් දෑස් පියාගෙන බෝධීන් වහන්සේගේ සෙවනින් හමන මඳ සුළඟේ..... බෝමලුවෙි කනුවකට හේත්තු වී උන්නෙමි......මට නොදැනීම නින්ද යාගෙන ආවේය.


‘‘විසල් මොකද කරන්නේ... නිදි ද.? මං බැලූවා කෝ කියලා. දවල්ට නිදාගන්න හොඳ නෑ..... ලොකු හාමුදුරුවෝ අපට කියල තියෙන්නෙ නිදිමත නොඑන්න වෙන වැඩක් කරන්න කියලා.‘‘


පොඩි හාමුදුරුවෝ මගේ ඉදිරිපිට හිට ගෙන කතා කරයි.


‘‘බත් කාලා වැඩි වෙලා මට නිදිමතක් හැදුනනේ.... ගෙදර ඉන්න දවසට නම් මං කවදාවත් දවල්ට නිදාගන්නෙ නෑ....යාලුවො එක්ක කැලේ ගිහින් සෙල්ලම් කරනවා...."


"නිදිමතක් නෙමේ විසල්..... බුදි මතක්....බත් කාලා වැඩි උනාම එන්නේ

බුදි මතක් ....."


‘‘එහෙනම් අපි අර පැත්තට යමුද....?. මං දෙන්නම් විසල්ට වැඩක්.... මල් පාත්ති වගයක් තියෙනවා සුද්ද කරලා සාත්තු කරන්න ඕනේ , විසල්ට කරන්න පුළුවන් ද? ලොකු හාමුදුරුවෝ කරන්න කිව්වේ...."


‘‘අපෝ පුළුවන්. හාමුදුරුවනේ.....‘‘


"එහෙනම් මම ආවාසෙට යනවා විසල් මල් පාත්ති සුද්ද කරලා ඒ පැත්තට එන්න."


"හොදයි හාමුදුරුවනේ "


පන්සලේ පැත්තක තිබුන අට පෙතියා,දාස් පෙතියා පාත්ති ටික හොදටම මැලවි ගොස් ඇත..... හවස් වෙනකල්ම මම මල් පාත්ති සුද්ධ කර හොදට ඒ පැත්ත අතුගා දැම්මෙමි......නැවත බෝ මළුව අතු ගා උදේ දවල් පූජා කරපු මල් අයින් කර මල් තට්ටුද පිරිසිදු කළෙමි.


‘‘විසල් වැඩ ඉවර නම් ගිහින් ඇඟපත හෝදාගෙන වෙන ඇඳුමක් දාගෙන ලෑස්ති වෙන්න හවස බෝධි පූජාවට මල් කඩන්න යන්න..... ගිලන්පස තට්ටු ලෑස්ති කරලත් දෙන්න ඕනේ.‘‘


‘‘හොඳමයි හාමුදුරුවනේ.... මං ඇඟපත හෝදගෙන එන්නම්.....‘‘


දවල් කෑමෙන් පසු පන්සල් වත්ත සුද්ද කරපු මම, වැඩ ඉවර කර පන්සලේ ළිද ලඟට ගොස් , බාල්දියෙන් වතුර ඇදගෙන හොදින් කුනු උලා නාගත්තෙමි....


ගෙදරින් ගෙනා කොට කළිසමත් කමිසයත් ඇදගෙන, උදේ සිට ඇදන් හිටි ඇදුම සොදා දැමිමෙමි. මට ගෙදර ඉන්නා කාලේ තිබුන හොදම ඇදුම් දෙකින් එකක් මම ඇදගෙන ,අනෙක බෑගයක දාගෙන උදේ ආවේ..., මට මගේ කියන්න තිබුන එකම සන්තකය එය විය. මම නාගන්න ලිඳ ලඟට එද්දි සීමන් මාමා මට කහ පාට ,හාමුදුරුවන්ට පිරිකරට ලැබුන අලුත් සාලුවක් ඇඟපත පිහිදාගන්නට දුන්නේය. මට ලැබුන අලුත් සාලුවෙන් තාන් නැවුම් සුවඳක් විහිදේ....මම එය නහයට ඔබා ගෙන ටික වේලාවක් සිටියෙදී, ගෙදර සිහි විය..... ගෙදරදි මට කියන්න ඇඟපත පිහිදාගන්න සාලුවක් නොතිබුන මම, ගෙදරදි අක්කාගේ හෝ අම්මාගේ චීත්තෙකින් මුහුණ හෝදාගත් විට පිහිදාගත් හැටි මතක් විය....


හවස හත වෙනකොට සවස බෝධි පූජාව ආරම්භ විය.. ඇවිත් සිටි උපාසක අම්මලා හා උපාසක මහත්වරුන් බෝධි පූජාවට අත ගසා බෝධීන් වහන්සේ ඉදිරිපිට සුදු වැල්ලෙ බිම වාඩිවි වදින්න ලෑස්ති වි ඇත .... ලොකු හාමුදුරුවෝ හැමෝටම පන්සිල් දී වැන්ද පසු සියල්ලෝම බෝධි පූජා ගාථා එක්ව කියමින් වැන්දේය.

බෝධි පූජාව අවසන්වි සියලූ උපාසක අම්මලා ගිය පසු සීමන් මාමා පන්සලේ ගේට්ටුව වසා දමා පන්සලේ වැඩිපුර විදුලි බුබුළුද නිවා දැමුවේය....


දවල් දවසේ වැඩ කර හවස නාගත්තයින් පසු මගේ බඬේ පණුවෝ කෑ ගසන්න පටන් ගෙන ඇත. හාමුදුරුවෝ වගේ අපිත් බඩගින්නෙ සිටිය යුතු දැයි මම හිතින් කල්පනා කළෙමි. ලොකු හාමුදුරුවොත්, පොඩි හාමුදුරුවරුත් ආවාස ගෙට ගිය පසු සීමන් මාමා සමඟ මම දන් ගේ ඇතුලට ගියෙමි. මේ වන විට මට බඩ ගින්න ඉවසා ගත නොහැකි තත්වයක සිටියෙමි.


"ස්වාමීන් වහන්සේලාට ගිලන් පස හදල දෙන්න ඕනේ... කේතලය ලිපේ තියපන් කොලූවෝ.‘‘


"හොඳමයි සීමන් මාමේ......"


මම දං ගෙයි දර ලිප පත්තු කර වතුර කේතලය ලිපේ තිබ්බෙමි. ගෙදරදි මම අම්මාට මෙලෙස ලිප පත්තු කර දුන් හැටි සිහිවේ...


‘‘උඹට බඩගිනිද කොළුවෝ....?


මම සිනාසුනා මිස කිසිවක් නොකීවෙමි.


‘‘හාමුදුරුවරු බඩගින්නෙ හිටියට අපි ගිහියොනේ... අපි මොකට බඩගින්නෙ ඉන්නවද...? මං දවල් ඉතිරිවුණ දානේ බත්, අරන් තියල තියෙන්නෙ...... හාමුදුරුවන්ට ගිලන් පස ගිහින් දීලා ඇවිත් මං උඹට කන්න කෑම බෙදල දෙන්නම්.‘‘


මගේ ඉහේ මලක් පිපිණි.... මම සිටියේ යකෙක් කන්න බඩගින්නේය. සීමන් මාමා ,දවල් බත් ඉතුරු වෙලා තියෙන බව කිව් විට මට ඇති උනේ පුදුම සතුටුකි.....


ස්වාමීන් වහන්සේලාට ගිලන් පස පූජා කර ආවාසා ගෙයි දොර ජනෙල් වසා දමා ආ සීමන් මාමා මට දවල් ඉතුරුවුණු දානේ බත්වලින් පිඟානක් බෙදා කන්නට දුන්නේය.


‘‘ මාළු පිනි ටිකයි තියෙන්නෙ... තියෙන විදිහට කමු....‘‘


දවල් තරම් මාළු පිනි රෑට නොතිබුණි...... පරිප්ප, කරවල සහ දෙල් මැල්ලූම් පමණක් ඉතිරිවි තිබුණි. මට එයත් වැඩි තරම්ය.....


ගෙදර අපි සැමෝටම කන්න අම්මා, දවල්ට රෑට වැඩිපුර හදන්නේ, සුදු බත් උයා කීරමින් හොද්දක් හෝ කිරි හොද්දක් සමඟ ලොකු මඤ්ඤොක්කා කොළ මැල්ලූමකි.....

ගෙදර අපි හැමෝම ඒවා කන්නෙ රස කර කරය..... බත්වලට වඩා ඇත්තේ මඤ්ඤොක්කා කොළ මැල්ලූමය. එය නිතරම අපේ ගෙදර හදන කෑමකි. ඒ හේනේ මඤ්ඤොක්කා පදුරු ඇතිතරමි තිබෙන නිසාය. නැතිනම් අල, බතල, කොස් දෙල් නිතර ම අපට ගෙදර දී කන්න ලැබෙන දේවල් අතර වේ.....සාමාන්‍යයෙන් බත් ලැබෙන්නෙ එක වේලකටය. සමහර දවස්වලට අපට බත් කන්නට ලැබෙන්නෙම නැති තරම්ය.... මට ගෙදර අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගී, මල්ලී මතක් වින..... අද රෑට ඔවුන් මොනවා කනවා ඇත්දැයි මම කල්පනා කළෙමි.... මට ඔවුන් සිහිවි දුක සිතින. අද දවල් මං කාපු දානේ බත් වලින් ටිකක් නංගීටත්, මල්ලීටත් දෙන්න තිබුණානම් කෙතරම් අගනේ ද? ඔවුන් මතක්වී දුක සිතුනත් මම මොනවා කරමිද සිතිමින් සීමන් මාමා බෙදා දුන් බත් ටික කා අත සෝදා ගත්තෙමි.....


සීමන් මාමා දන් ගෙය අස් කර අතුගාමින් ඉදියි.


‘‘උඹත් එහෙනම් මගේ කාමරයට ම වරෙන් නිදාගන්න.‘‘


‘‘හොඳයි..... මාමේ..‘‘

එදින මට නිදාගන්නට ලැබුනේ සිමන් මාමාගෙ බුුරු ඇද ලග බිම පැදුරක් එලාගෙනය. පැදුරට වැටුන ගමන්ම මට නින්ද ගියේය. හොද සනිපයට නිදන්න පෙර සිමන් මාමා මට පොරවන්න රෙද්දක්ද ගෙනත් දුන්නේය. ගෙදරද පිට තැනක්ද කියා නැත, බඩ පිරෙන්න මොනවා හරි කා බි ඕන තැනක හොදින් නිදිය ගැනිමේ හැකියාව මට ඇත.

-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

コメント


bottom of page