top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ (33 වෙනි කොටස )

නවසීලන්තයට පැමිණ අවුරුද්දක පමණ කාලයක් ගෙවී ගියේ, කොරියානු විහාරස්ථානයේ වැදගත් කටයුතුවලට මට ද දායක වෙන්න ලැබෙමින්ය. ඒ වගේම නවසීලන්තයේ කොරියන් පන්සලට යන එන කොරියන් බැතිමතුන් සමඟ මෙන් ම සිංහල බැතිමතුන් සමගද මම දැන් හොඳටම මිතුරු වී හිදින්නෙමි.


අවුරුදු ගානකට පසු සිංහල භාශාවෙන් මට කතා කරන්න ලැබිම, ලංකාවේ මිනිසුන් ආශ්‍රය කරන්න , අදුනගන්න ලැබිම මට ලොකු සතුටක් විය...... ඔවුහු මට ඉතා ආදරයෙන්, කරුණාවෙන් සලකන බව දැනෙන විට, මට තව තවත් ඔවුන් වෙත නැඹුරු වෙන්නට සිතේ..... ඔවුන් මට සිංහල තාලෙට උයපු හොදි මාළු දානයට ගෙනත් දෙන විට....මම අවුරුදු ගානක් කොරියාවේ තුනපහ නැති සුදු කෑම වළදපු බව පසක් වෙයි ....,ලංකාවේ ඉදිද්දි වලදපු දානේ, ඒ කෑම රස මට නැවත දැනෙන්න පටන් ගෙන ඇත.


පන්සලේ කොරියානු පොඩි හාමුදුරුවෝ ද මා සමඟ දැන් ඉතා මිතුරුය.... උන්වහන්සේට දැන් මා යටතේ ද වැඩ කරන්නට සිදුව ඇත. ලොකු හාමුදුරුවෝ රටින් පිට වී යන විදේශ ගමන්වලට, සමහර අවස්ථාවල මාව ද කැඳවා ගෙන යන්නේය. උන්වහන්සේ පන්සලේ නැති අවස්ථාවල වැඩ බලන දෙවැනියා ලෙස දැන් සිටින්නේ මමය. මම පන්සලට පැමිණෙන කොරියන් බැතිමතුන්ගේ හා ලාංකික බෞද්ධයන්ගේද අවශ්‍යතාවන් හොදින් හොයාබලා ඉටු කරන සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ලෙස දැන් නවසීලන්තයේ ඉතා ප්‍රසිද්ධව සිටින්නෙමි.....

ඔවුන්ට මම පුළුවන් ආකාරයට, මගෙන් ඉටුවිය යුතු යුතුකම් කර දෙන්නෙමි...... මම මෙන්ම ඔවුන්ද නොදන්නා රටක පදිංචි වී රැකියා කටයුතු වෙනුවෙන් මෙන්ම, දූදරුවන් ලොකු මහත් කරවීම වෙනුවෙන්ද වෙහෙස මහන්සි වෙති...... ඒ අතරතුර කාලයේ විවේකයක් ලැබුණු විට පන්සලට පැමිණ බුදුන් වැඳ බණ භාවනා කර ඔවුන්ගේ දුක්ගැනිවිලි, කරදර මා සමග කියා සිත නිවා ගැනීමටද ඔවුහු අමතක නොකරති.


“අනේ හාමුදුරුවනේ අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ මේ දරුවන්ට සිංහල කතා කරන්න බැරිකම.....”


‘"ඒකට දරුවන්ට ගෙදරදි සිංහලෙන් කතා කරන්න.....”


"අපි සිංහලෙන් කතා කරන කොට දරුවො ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නේ....."


"ඒ ඉතින් ඔබලාගෙම වැරදි තමයි…... මේ රටවල ඉන්න සමහර ගෙවල්වල ළමයින්ට සිංහල කතා කරන්න පුළුවන් වෙන්නත්, සමහර ගෙවල්වල ළමයින්ට සිංහල කතා කරන්න බැරි වෙන්නත් මූලික හේතුව තමන්ගෙ ගෙවල් තුළම ඇති ආභාෂය තමයි.....‘‘

"ලංකාවෙ ඉඳන් පිටරට එන දෙමවුපියන් හැමෝටම ඕනේ තමන්ගෙ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න විතරයි ..... ඒ හින්දා දරුවො ඉපදුණු ගමන් ම ඉංග්‍රීසි උගන්වන්න හිතාගෙන , ගෙදරදි ළමයින්ට ඉංගිරිසියෙන් කතා කරන්න පටන් ගන්නවා….. බලෙන්ම සිංහල අමතක කරවන්නෙත් දෙමවුපියන්ම තමයි..... අපේ මෝඩ සිංහලයො හිතන්නෙ ළමයින්ට සිංහල කතා කරන්න බෑ කියන එක මහ ලොකු වීර කමක් කියල….. ඉතිං ළමයින්ට ගෙදරදි කතා කරන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්, පස්සෙ කියනවා ළමයින්ට සිංහල බෑ කියලා.....

පිටරට ඉන්න හැම දරුවෙකුටම සිංහල කතා කරන්න බැරි නෑ..... උගත් දෙමවුපියන් ඉන්නවා දරුවන්ට ගෙදරදි සිංහලෙන් කතා කරලා උවමනාවෙන්ම සිංහල භාෂාව උගන්වන..... සමහර ළමයි ගෙදරදි හොඳට සිංහල කතා කරනවා දෙමවුපියොත් එක්ක….. ඒ වුණාට ගෙදරින් එළියට ගියාම, දෙමව්පියන් හැමෝටම අඟවන්නෙ, අපේ ළමයින්ට සිංහල කතා කරන්න බෑ කියලා..... සිංහල කතා කරන්න බෑ කියන්නෙ ලොකු දෙයක් කියලයි ඒ දෙමවුපියන් හිතන්නෙ..... අන්න ඒ ළමයින්ට, දෙමවුපියන්ට මම කියන්නෙ ලැජ්ජා වෙන්න ඕන සිංහල කතා කරන්න බෑ කියලා ලොකුකමට කියනවට, අඟවනවට……. .. . දෙමවුපියන්ගෙ වැරදි නිසයි දරුවන්ට සිංහල බැරි වෙලා තියෙන්නෙ. ...මේ රටවල ඉපදිලා, මේ රටවල ඉගෙන ගෙන තමන්ගෙ මව් භාෂාව කතා කරන දරුවන් ඕනතරම් ඉන්නවා..... ඒ අයගේ දෙමවුපියන්ව, ඒ දරුවන්ව අපි නිතර ම අගය කරන්න ඕනේ, අනිත් අයට පේන්නත් එක්ක..... ඒක දැකලවත් එතකොට ළමයින්ට සිංහල උගන්වන්න අනිත් දෙමවුපියන්වත් උත්සහ ගනියි කියලා මම හිතන්නේ…. මේ රටේ ඉන්න සිංහල දරුවන්ගෙ සිංහල භාෂාව ලිවීමේ, කියවීමේ හැකියාව, වැඩිදියුණු කර දීමට මට පුළුවන් උදවුවක් මම කරන්නම්……. මටත් ලංකාවෙ සිංහල හා බෞද්ධ දර්ශනය වෙනුවෙන් උපාධියක් තියෙනවා..... ඒ නිසා මට පුළුවන් දරුවන්ට සිංහල හා බුද්ධාගම කියලා දෙන්න....."


‘‘අනේ ඒක නම් ලොකු දෙයක් හාමුදුරුවනේ ...‘‘


"එහෙනම් දරුවන්ට පහසු දිනයක් දෙකක් දාගෙන පන්සලට එක්ක එන්න...., මම අපේ ලොකු හාමුදුරුවන්ටත් කියල අවසර ගන්නම් දරුවන්ට සිංහල පන්තියක් කරවන්න…..මොකද මේ පන්සලේ කොරියානු භාශාවත් දරුවන්ට උගන්නන පංතියක් තියෙනවා ....‘‘


"‘ඔබවහන්සේට බොහොම පිං ...අපි අනිත් දෙමව්පියන් දනුවත් කරන්නම් ඒ ගැන ….."


වැඩි දවසක් යන්නට මත්තෙන් පාසැල් යන පොඩි දරුවන්ට, සිංහල භාශාව උගන්නන පංතිය මම පටන් ගත්තෙමි..... මුලින් දරුවන් හතර පස් දෙනෙක්ගෙන් පටන් ගත් එම පන්තිය පසුව දරුවන් අටක් දහයක් දක්වා වැඩි විය.....

එලෙස පටන්ගත් සිංහල භාශා පන්තිය නිසා හැම සෙනසුරාදා දිනකම ලංකාවේ සිංහල බෞද්ධ පවුල්වල දරුවෝ පැය දෙකක කාලයක් මගෙන් සිංහල භාෂාව ඉගෙන ගැනීමට පැමිණෙන්න පටන් ගත්තේය ..... එම නිසා සිංහල බැතිමත්හු හා දරුවන්ගේ දෙමව්පියන් නිතර පන්සලට විත් මා මුණගැසීමට පුරුදු වි ඇත.

‘‘ඔබවහන්සේ කැමැති නම් අපට පුළුවන් ඉංග්‍රීසි පන්තියකුත් පන්සලේ පවත්වන්න. හොදට ඉංග්‍රීසි උගන්නන පුලුවන් ගුරුවරුන්ද අපි අතර ඉන්නවා ..... මේ රටට අලුතෙන් ලංකාවේ ඉඳන් ආපු අයත් ඉන්නවා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැති, අපට පුළුවන් ඒ අයටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උදවු කරන්න.....‘‘


"ඒක නම් හොඳ අදහස.....එතකොට මටත් පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න...මටත් දැන් ඉංග්‍රීසි අමතක වෙන්න ඇවිත් තිබුනේ....කොරියාවේ ඉන්න කාලේ ඉංග්‍රීසි එක වචනයක් කතා කරන්න අවස්තාව ලැබුනෙ නෑනේ.....”

මමද එම අදහසට කැමති වුණෙමි..... කොරියාවේ අවුරුදු දහයක් ගතකළ කාලයේ මට කතා කරන්න ලැබුණේ කොරියන් භාෂාව පමණක් නිසා මට ඉතා දක්ෂ ලෙස කොරියන් භාෂාව කතා කිරීමට හැකියාව ලැබී තිබුණත්....... කොරියාවේදී මම ලංකාවෙන් යන විට ඉගෙන ගෙන ගිය ඉංග්‍රීසි දැනුම නැත්තට ම නැති වී ගොස් තිබුණි.....

පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඉංගිරිසි පන්තිය කරවීමට කැමැත්ත ලබා ගත් මම, එම පන්තියට කොරියානු ජාතිකයන්ද සහභාගි කරවා ගත්තෙමි.....


එලෙස පන්සලේ සිංහල පන්තිය මම කරන අතර, සිංහල ගුරුවරයෙකු හා කොරියානු ගුරුවරයෙකු විසින් වැඩිහිටියන්ට ඉංග්‍රීසි පන්ති දෙකක් පන්සලේ රාත්‍රියට ආරම්භ කරනු ලැබීය.....


ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඉංග්‍රීසි පන්තියට ලංකාවේ වගේම කොරියාවේද පන්සල් එන බැතිමත්හු සහභාගි වූහ..... ඉංග්‍රීසි පන්තිය රාත්‍රියට පවත්වන්නට යෙදුණේ වැඩිහිටියන්ගේ පහසුව තකාය..... මම ද එම පන්තියට සහභාගි වෙමින් මාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කර ගත්තෙමි.


රෑට පන්සලේ පවත්වන ඉංග්‍රීසි පන්තියට වැඩිහිටි කාන්තා පක්‍ෂය වැඩිපුර සහභාගි වෙති..... ඔවුන් සමග මම ද ඉතා කැමැත්තෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙමි. ඔවුන් හැමෝම දැන් මා සමග හොදින්ම මිතුරු වි ඇත..... ඔවුන් හැමෝම මගේ ඕනෑ එපාකම් ඉතා හොඳින් සොයා බලති..... නිතර නිතර මට සිංහල කෑම වර්ග සාදා ගෙනත් දෙති.


"හාමුදුරුවනේ මම, ඔබවහන්සේට හෙට දවල් දානෙට තියාගන්න කරවල තෙල් දාලා, පොල් සම්බෝලයක් හදාගෙන ආවා....‘‘


‘‘මම ඔබවහන්සේට වටලප්පමක් හදාගෙන ආවා.....‘‘


"මම කිරිකොස් හදලා, ඇබුල්තියල් මාළුවක් හදාගෙන ආවා...."


‘‘අපොයි....! මට දැන් කෑම වැඩියි.... අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලංකාවෙ කෑම එක එක්කෙනා ගෙනත් දෙනවනේ.....‘‘


තරුණ, මහලු කියා වෙනසක් නැත. කාන්තා පාර්ශ්වය ඕනෑවටත් වඩා මට ළං වෙන්න දඟළයි.....


මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේදීත් කාන්තා පාර්ශ්වය එලෙස මට ළං වෙන්න හේතුව මා ඉතා ප්‍රියමනාප කඩවසම් කෙනෙකු නිසා යැයි ගැහැනු ළමයි කීවා මතකය........ විශ්වවිද්‍යාලයේ නම් සිටියේ තරුණ ගැහැනු දරුවන්ය..... නමුත් පන්සලට එන යන මටත් වඩා ගොඩක් වයසක ගැහැනු, එනම් දරුවන් විවාහ වී මුණුපුරන් පවා සිටින ගැහැනු උදවිය පවා මා සමග ඕනෑවටත් වඩා කුලුපඟ වෙන්න හදයි...... මට හිතා ගැනීමට නොහැකිත් එයයි.... ඉතා උගත් වැදගත්, හොඳට සල්ලි බාගෙ තියෙන, හොඳ ගුණගරුක සැමියන් ඉන්නා බිරින්දෑවරුන්ද මා සමග කතාවට එන්නේද, මා දෙස බලන්නේද අමුතුම ආකාරයකටය..... එය තේරුම් ගැනීම මට අපහසු නැත. මම පුළුවන් තරම් ඔවුන් මගහැර සිටින්නට උත්සාහ ගන්නෙමි.... එහෙත් එය ඒ තරම් ලෙහෙසි කටයුත්තක් නොවීය. ඔවුහු නිතර මාව හමුවන්නට පැමිණ, ගෙදර දොරේ නොයෙක් ප්‍රශ්න මා සමග කියමින් ඒවාට විසඳුම් සොයා දෙන්න කියති. මට දැන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳනවාට වඩා වැඩක් නැත.....


‘‘අනේ හාමුදුරුවනේ අපේ දුව, සුදු ජාතික ළමයෙක් එක්ක යාළු වෙලා කසාද නොබැඳම එකට ජීවත් වෙන්න පටන් අරන්.... දෙන්නා දැන් ඉන්නෙ කුලියට ගෙයක් අරගෙන වෙනම.... ලංකාවේ අපේ නෑදෑයො දැනගත්තොත් මොන විලිලැජ්ජාවක්ද ඒක..... මගේ ප්‍රෙෂර් එකත් නැගලා මේ ළමයින්ගෙ වැඩ නිසා..... උපාසක අම්මා කෙනෙක් පැමිණ ඇගේ දුක කියමින් මා ළඟ අඬයි.....


“‘අනේ හාමුදුරුවනේ අපේ ළමයි ඉස්සර වගේ නෙමේ, දැන් අපි කියන කිසි දෙයක් අහන්නෙ නෑ. ....හරියට මුරණ්ඩු වෙලා.....‘‘


‘‘අපේ අම්මයි, තාත්තයි ඉන්නෙ ලංකාවේ.... මට ඒ අය මෙහෙට ගෙන්න ගන්න ඕනේ..... තාම වීසා හම්බ වුණේ නෑනෙ. මම ඉන්නෙ ඒ ගැන හරි කරදරයෙන්.... අපට ලංකාවට ගිහින් ඒ අය බලාගෙන එහෙ ඉන්නත් බෑ, ගෙන්න ගන්නත් බෑ. මොනවා කරන්නද මන්දා.....‘‘


“‘මට මේ පාර බබා හම්බ වෙන්න ඉස්සෙල්ලා අම්මා මේ රටට ගෙන්න ගන්න හදන්නෙ..... වීසා හම්බ වෙලත් අම්මා කියනවා, තාත්තාව ලංකාවේ දාලා ඇවිත් කාලයක් මේ රටේ ඉන්න බෑලු.... මට බබා හම්බ වුණාම ලොකු බබාව බලාගන්න කෙනෙක් නෑ.....මෙහේ ඉතින් සර්වන්ට්ලා තියාගන්න බෑනේ, වියදම් වැඩි නිසා.... මොනව කරන්නද මන්දා....ළමයෙක් ඩේකෙයාර් දාන්න කීයක් යනවද....? මට අපේ අම්මත් එක්ක හරි කේන්තියි...., තාත්තවත් ගෙන්න ගමු කියලා අම්මා කියනවා...... ඒවටත් ඉතිං මමම වියදම් කරන්න එපෑ......”


මා සමග එක එක්කෙනා ඇවිත් කියන්නේ පුදුමාකාර ප්‍රශ්නය..... ඒවාට විසඳුම් නැතත්, මම ඔහේ ඔවුන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්නෙමි.


‘‘අනේ හාමුදුරුවනේ අපේ මහත්තයා ඔෆිස් එකේ චයිනිස් කෙල්ලෙක් එක්ක යාළු වෙලා..... දැන් අපි ගැන හරියට හොයන්නෙ බලන්නෙත් නෑ..... මම මොනවා කරන්නද මන්දා.....‘‘.


‘‘අපේ පුතා ඉන්දියන් කෙල්ලෙක් එක්ක යාළු වෙලා....‘‘ තව කෙනෙක් කියයි.


‘‘අර අපේ ගෙවල් ළඟ ඉන්න ගෑනු කෙනා මං ගැන හරි වැරදි කතා වගයක් කියලා තියෙනවනේ..... මම දැන් එයාගේ මුණ බලන්නෙ නෑ.....‘‘


“‘අපි මේ රටට ආව වෙලේ අපිව ගෙදර ගිහින් තියාගෙන අර කට්ටිය අපට හරියට උදවු කළා..., හරි හොඳ කට්ටිය. ඒ වුණාට ඒගොල්ලො දැන් කැමැති නෑ අපි වෙන කාවවත් ආශ්‍රය කරනවට..... අපටත් කියලා ආශ්‍රය කරන්න හඳුන ගන්න මිනිස්සු අවශ්‍යනෙ...., ඒ අය ඒක තේරුම් ගන්නෙ නෑ... ඒ අයම අපට හඳුන්වා දුන් අය එක්ක අපි කතා කරන කොට, අශ්‍රය කරන කොට අපිත් එක්ක එච්චර හිත හොඳ නෑ.....‘‘


“අපි බොහොම අමාරුවෙන් තමයි මේ රටට ඇවිත් දියුණු වුණේ.... අපි අමාරුවෙන් ඉන්න කාලෙ අපි ගැන හොයලා බලපු යාළුවො දැන් අපිත් එක්ක එච්චර හිත හොඳ නෑ..... මම හිතන්නෙ ඒ අයට ඉහළින් අපි යයි කියලා ඉරිසියාවෙන්ද කොහෙද? ....


ගිහියන්ට ඇත්තේ පුදුමාකාර ප්‍රශ්න ය. ඔවුන්ගේ හිත හැදෙන්නට මම ඔහේ ඒවා අසාගෙන ඉන්නෙමි..... පුළුවන් විදිහට හිත හදාගන්නට උදවු ද කරන්නෙමි.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page