top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥(28 වෙනි කොටස)


සුමේධ මහත්මා අඳුනන කොරියානු බෞද්ධ පන්සලක, භික්ෂූන් වහන්සේ නමකට මාව අඳුන්වාදි...., මට ටික දිනකට නවාතැන් ගන්නට තැනක් ලෑස්ති කර දීම, මෙවැනි නිදහස් තැනක් මට නවතින්න ලැබීම, හිතා ගන්නත් බැරි විය.....මට මෙම පන්සලේ ටික දිනකට නවාතැන් ගන්නට සියලු දේ ලෑස්ති කල සුමේධ මහත්තයා, නැවත කන්ද බැස ගොස්, ඔහුගෙ වාහනයට නැඟ යන හැටි මම කන්ද උඩ පන්සලේ සිට බලා සිටියෙමි.....


කොරියානු ලොකු හාමුදුරුවෝ, පන්සලේ ඈත සිට මට කතා කර අතින් අඩ ගසනවා පෙනින..... මම පය ඉක්මන් කරමින් ඒ පැත්තට ගියෙ සතුටින් .... .


උන්නාන්සේ මාව අඬගසාගෙන පන්සලේ ඉස්සරහ මිදුල හරහා, ආවස ගෙයි පිටිපස මිදුලට කැදවා ගෙන ගියේය..... පන්සල් භූමිය කොනක තිබූ ආරුක්කු බූරුක්ක සහිත පුංච් කාමරයක දොර ඇර ඒ තුලට යන්න කියා උන්වහන්සේ මට අතින් පෙන්වූයේ කතා බහකින් තොරවය...


කතා බහ නොකලත්, උන්නාන්සේගේ මුණේ ඇති සිරියාවන්ත, අහිංසක පෙනුමට මගේ හිත ගියේ උන්නාන්සේ දුටු මොහොතේමය.......

ලොකු හාමුදුරුවෝ කිව් ලෙස, කාමරය ඇතුලට ගිය මට , මගේ ඇදුම් බෑගය ඒ කාමරය තුල තියා ගන්න යැයි උන්නාන්සේ අතින් සන් කලේය ..... මින් පසු මම නැවාතැන් ගත යුත්තේ මේ ස්තානයේ යැයිද ගොළු භාශාවෙන් ඔහු කීය.


මම අත්දෙක එකට එකතු කර උන්වහන්සේට දෙකට නැමී ස්තූති පූර්වකව වැන්දෙමි.....

පෙරේදා මම ගිය පන්සලේ සිටි හාමුදුරුවන්ට වඩා මේ භික්ෂූන් වහන්සේ බොහෝ කාරුණාවන්ත බව පෙනෙයි.


"කෑම කෑව ද? කියා උන්වහන්සේ අතින් කට පෙන්නා මගෙන් ඇසීය..


‘‘ තවම නෑ.... මම ළඟ කෑම තියෙනවා...."


මම ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙ මගේ බෑගය අතින් උන්නාන්සේට පෙන්වමින්‍...


“එහෙනම් කෑම කාල එළියට එන්න.... "

කියා අතින් සන් කල උන්නාන්සේ ..... පන්සලේ ඉස්සරහ පැත්තට හෙමිහිට වැඩියේය......


වේලාව දවල් දොළහට කිට්ටු කර තිබූ බැවින්, මම ඉර හැරෙන්න ප්‍රථම සුමේධගේ නෝනා දුන් බත් මුල, කාමරයේ ඇතුළත තිබු කොට මේසය උඩ තියා, ඒ ලඟ බිම ඉඳගෙනම කෑවෙමි..... එය ශ්‍රී ලංකාවේ උපාසක උපාසිකාවන්ගේ දානය ලෙසම රසවත්‍..... එහි මාළු, පරිප්පු, අල හා ගෝවා තෙල් දමා තිබුණි..... බඩ පිරෙන්න බත් මුළ වළදා අහවර කල මම , මගේ සිවුරු බෑගය කාමරය පැත්තකින් තබා ඇරියෙමි....මේ කාමරය තුල මට නවාතැන් ගන්නට අවශ්‍ය අත්‍යවශ්‍ය සරළ බඩුමුට්ටු පමණක් ඇති බව පෙනේ.... පිරිසුදු පුංචි කාමරය තුල නිදහස් නිස්කලංක බවක් ඇත..... නිදා ගන්නට උණ බටවලින් තනන ලද පැදුරකුත්, සීතලට පොරවා ගන්නට ඝනකම මෙට්ටයකුත් කාමරයේ කොනක පේන්න ඇත..... බඩුමුට්ටු දමා ගැනීමට පුංචි කබඩ් එකක්, ආහාර ගැනීමට හා ලියන කියන දෙය කිරිම සඳහා කොට මේසයක් හා ඒ අසල හිඳ ගැනීමට පුංචි හතරැස් කොට්ටයක්ද තිබුණ. මේසය ලඟ ලොකු හාමුදුරුවන්ගේ කාමරයේ තිබූ ලෙසම තේ හදාගන්න කේතලයක්, කෝප්පයක් , පුංච් ලිපක් ඇත....


කාමරයේ තිබුන එකම පුංචි ජනේලය හුළං එන්නට කියා ඇර බැලු මට, එයින් එළියේ ඇති දේ දැක පුදුම සිතිනි........


මට හිතා ගැනීමටවත් බැරි තරම් සුන්දර දසුනක් කාමරයෙන් එළියේ සිට, බොහෝ ඈතට වෙනකම් පෙනේ.... කන්දක් උඩ පිහිටා තිබූ මෙම පන්සලේ, කොතැනක සිට ඈත පහළ බැලූවත්, පෙනෙන්න ඇත්තේ මීදුම සහිත ගම්බඳ කඳුකර ප්‍රදේශයකුයි..... හෙල්මළු ක්‍රමයට කඳු කපා වගා කර ඇති වගාවන්ද, ඈත මුළු කඳුකරයම මගේ කාමරයට හොඳින්ම පෙනේ..... කොයිතරම් සුන්දර දසුනක් ඇති තැනකද මට අවසානයේ නවාතැන් ගන්නට ලැබුනේ.... මට හිතා ගන්න බැරි තරම් නිහඬ නිස්කලංක සුන්දර කඳුකරයක, ටික දිනකට හෝ නවාතැන් ගන්න ලැබීම මගේ හිතට සතුටක් ඇති කලේය....

ආහාර ගෙන මට කාමරයෙන් එළියට එන්න කියා ලොකු හාමුදුරුවන් කිව් නිසා මට නවාතැන් ගන්නට ලැබුන කාමරයේ දොර වසා දමා නැවත එළියට ගියෙමි....ලොකු හාමුදුරුවෝ පැරැණි පන්සල් බිමේ ඈත සිට මට කතා කලේය.

‘‘ඕදා...."


කොරියානු භාශාවෙන් උන්වහන්සේ කීය. ලංකාවේදි මම ඉගෙන ගත් කොරියානු භාශාවේ පළවෙනි වචනය මට දැන් සිහි විය.....එන්න.....ඔව්... "ඕදා" කියන්නේ එන්න කියා මට මතකය....තව තැනක "නාඕදා" කියාද තිබුනා මතකය .... හිතේ තිබු බය සැක නැතිවි හිතට සැනසුමක් සැහැල්ලුවක් ලැබු තැන, නිදහස් ශාන්ත පරිසරය තුල මට...., මම ඉගෙන ගත් කොරියානු භාශාවේ වචන එකක් දෙකක් දැන් සිහිපත් වෙමින් තිබේ.....


උන්වහන්සේ මට හිසෙන්ද කතා කලේය....


උන්වහන්සේ මා කැඳවා ගෙන පන්සලේ තැන් තැන්වල ඇති විවිධ කුටිවලට එක්ක ගියේය..... බුදුගෙය යැයි සිතිය හැකි පැරැණි ශාලාවේ බුදුරජාණන් වහන්සේගේ රත්තරං පාට පිළිමයක් තබා ඇත. එය දෙපැත්තේ පුංචි බුදු පිළිම පේළියට තට්ටු ආකාරයට පිළිවෙළට අසුරා ඇත .... එහි පුංචි බුදු පිළිම දහසකට වඩා ඇතැයි මම සිතෙන් ගනන් බැලුවෙමි....මුළින් මම ගිය පන්සලේද ඒ ආකාරයටම බුදු පිළිම තියා තිබු හැටි මට සිහි විය. බුදුගෙය ඇතුළට ඇතුළු උන පසු, එහි ඇති නිදහස් , නිහඬ බව නිසා....., මගේ හිතේ ඇති උනේ සැහැල්ලුව පිරි ශාන්ත හැඟීමකි.... බුදුරජාණන් වහන්සේගේ පිළිමය ඉදිරිපිට දොඩම්, ඇපල්, කොමඩු පිරුණු විශාල භාජන පූජා කර ඇත.

ශ්‍රී ලාංකික බෞද්ධ පන්සලක හා කොරියන් පන්සලක අතර සාමාන්‍ය ප්‍රමානයට ඇති වෙනස්කම් හැරෙන්න, අපි සියල්ලෝම මේ වැදුම් පිදුම් කරන්නේ තුන්ලෝකයටම මහා කරුණාවෙන් දම්දෙසු අපේ තිලෝගුරු සම්මා සම්බුදුන් වහන්සේටය....

මූලික බුදුදහමේ සම්ප‍්‍රදායන් දෙකක් ලෙස බෙදී තිබෙන මහායාන හා ථෙරවාදි බුදුදහම ලෝකයේ රටවල් අනුව වෙනස් වේ..... ලංකාව බුරුමය, තායිලන්තය, කාම්බෝජය,ලාඕසය වැනි රටවල් ථෙරවාදි බෞද්ධ දර්ශනය පිළිපදින අතර, කොරියාව, චීනය, ජපානය, මොංගොලියාව වගේ රටවල් මහායාන බුදු දහම පිළිගෙන ඇත.

මහායාන හා ථේරවාදී ලෙස බුදුදහම කොටස් දෙකකට බෙදී තිබුණත්, අප සියල්ලන් ම අදහන්නේ එක ම ශාස්තෘවරයෙකුගේ ධර්මයකි.... එබැවින් මම ලංකාවේ පන්සලක වැඩ හිටියත්, කොරියාවේ පන්සලක වැඩ හිටියත් මට රටවල් දෙකේම වෙනසක් නැත.... මම භක්තියෙන් ගෞරවයෙන් බුදුරජානන් වහන්සේ සරණ ගොස්, බුදුන්ගෙ ධර්මය මඟ යන අනුගාමිකයෙක්‍ වෙමි......


බුදුගෙය ඇතුලත මට පෙන්වා ඉන් පසුව උන්වහන්සේ මාව පන්සල් වත්ත පුරා ම එක්ක ගියේය.... උන්වහන්සේ කාරුණික යැයි මට සිතේ.... අතින් පයින් උන්වහන්සේ මට කිව යුතු දේවල් විස්තර කර දෙයි..... ගොළු භාෂාවෙන් උන්වහන්සේ කියන්නේ අද මට විවේක ගන්න, හෙට ඉදන් වැඩ කරන්න පුළුවන් බවකි.. ...

පන්සල් වත්තේ ඇවිද යන කළ එහි කඳු බෑවුම් වල රාබු, කැරට්, ගෝවා, ලීක්ස් ආදිය එක දිගට වගා කර ඇති හැටි පෙනේ...... තවත් භික්ෂූන් දෙනමක් පන්සලේ වැඩ වෙසෙන බවත් මට දැක ගන්නට ලැබින... . උන්වහන්සේලා එළවළු වගාවට සාත්තු කරමින් හිදියි....

අළු පාට ජම්පරයක් වන් දිග කලිසමක් හා අළු පාට ටීශර්ටයක් ඇඳ උන්වහන්සේලා වගා කටයුතුවල යෙදෙති. බූට් සපත්තු දමා, ඔළුවට වේවැල්වලින් කිරි ගොට්ටක හැඩයට තනන ලද තොප්පිද දමා ඇත.... ඔවුන් එළවළු පාත්තිවල එහෙට මෙහෙට යමින් වල් ගලවමින් සාත්තු කරති.


‘‘මේ අපේ පන්සලට අලුතින් නවාතැන් ගන්න ආ ලංකාවේ ස්වාමීන් වහන්සේ.....‘‘


ලොකු හාමුදුරුවෝ ඔවුන්ට කියන්න ඇත්තේ එය යැයි මම අනුමාන කලෙමි....

ලොකු හාමුදුරුවෝ මාව උන්වහන්සේලා දෙදෙනාට හඳුන්වා දුන්නේ එළවළු පාත්ති අතරට යමින්ය....


උන්වහන්සේලා කරමින් සිටි වැඩය වහා නවත්වා, ඉන ළඟින් පහත් වී අත්දෙක එකතු කර, ඔළුවද නමා මාව පිළිගත්තේ බොහෝම ගරුසරු ඇතුවය. උන්වහන්සේලා කළ ආකාරයටම මම ද ඔවුන්ට ආචාර කළෙමි.

වත්තේ ඇවිදිමින් වටපිට පෙන් වූ ලොකු හාමුදුරුවෝ මාව උයන ගෙය යැයි සිතිය හැකි ස්ථානයකට ගෙන ගියේය. එය කබොක් වැනි ගල්වර්ගයකින් බිත්ති බැඳ..., වහලය වේලුනු හණ වැනි තෘණ වර්ගයකින් සෙවිලි කර ඇත....බිත්ති පුරා කළු දුම් බැදී ඇත. මෙම උයන ගෙය, කොරියාවේ සාම්ප්‍රදායික ක්‍රම අනුව නිමකර තිබු පැරැණි කුස්සියක් බව පෙනේ...... එහි පැත්තක විශාල මැටි බඳුන් වගයක් ගොඩ ගසා ඇත. දර ලිපක් හා සමාන විශාල ලිපක, වතුර භාජනයක් දුම් දමමින් නටයි..... මොවුන් දර උපයෝගි කරගෙන ඉවුම්පිහුම් කරන බව පෙනේ..... කුස්සියේ පැත්තක හාල් බෑග් වගයක් ද, රාබු, ගෝවා ආදී එළවළු වට්ටි ද තිබිණි. කුස්සියේ ඒ තරම් ලොකු පිලිවෙලක් පිරිසිදු කමක් නැත.


කුස්සිය ඇතුලට ගිය ලොකු හාමුදුරුවෝ එහි තිබු අලුත් එලවලු වට්ටියෙන් විශාල රාබු අලයක් ගෙන මාගේ අතේ තබා රාබු අලය සුද්දකර සෝදා තබන්න කියා හස්ත මුදාවෙන් කීය..... අලුත් සලාද කොළ වගයක් පෙන්වා ඒවාද සෝදා කපන්න යැයි ගොළු බසින් කීහ.


‘‘එහෙමයි...‘‘


මම එම වැඩය බොහෝ කැමැත්තෙන් භාරගත්තෙමි.


සිමෙන්තියෙන් බැඳි බක්කියක් ආකාරයේ ජල කරාමය තිබෙන තැනට ගිය මම රාබු අලය,පෙරන් ගාමින් සුද්ද කලෙමි. ලංකාවේ පන්සල් වල වැඩ වෙසෙන කල, පාත්තරයට හෝ පිඟානට ලැබුන දානය වැළදු මම....තායිලන්තයේ හා ඇමරිකාවේ පදිංචිව සිටි කල, ඉවුම්පිහුම් කර ලැබ තිබු දැනුම ගැන සතුටට පත් විය.


ලොකු හාමුදුරුවෝ හාල් ටිකක් භාජනයකට දමා, සෝදා ලිප තබන්න උත්සාහ ගන්නා හැටිද පෙනේ..... මම උන්නාන්සේ ලඟට ගොස් ලිපේ ඇති විශාල දර කොටන් එහෙට මෙහෙට කර, දුම් බටයෙන් එයට පිඹ, ලිප පත්තු කර ගිනි හොඳින් අවුලා දුන්නෙමි.


උන්වහන්සේ මම සුද්දකර සෝදපු රාබු අලය කොළ කපන ලෑල්ලක් උඩ තබා දිග අතට තීරූ කපා පෙන්විය..... ඒ ලෙසට දිග තීරු හැඩයට රාබු අලය කපා තබන්න කියා මට කිව් උන්නාන්සේ, උයනගෙයින් එළියට ගියේය.

එලවලු සුද්දකර කපා පැත්තකින් තැබු මම, දර ලිපේ ඉදෙන බතට ගින්දරද එකතු කෙරුවෙමි. ඒ අතරම, කුස්සියේ බඩු මුට්ටු පිලිවෙලට අස් කරමින්, දූවිලි පිහිදමින් කුස්සිය හොදින් පිළිවෙලට ලස්සනට අතුගා දැම්මෙමි......මම සිටින කුමණ තැනක් හෝ පිරිසිදු කර අස්පස් කරගෙන සිටීම මගේ පුරුද්දකි......කොරියානු පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට නිමවි තිබුන කුස්සියේ, ඇති සීමිත ආම්පන්න ප්‍රමාණය නිසා හරි ඉක්මනට කුස්සිය ලස්සනට අස්කර, පිරිසිදු කරන්න මට හැකි විය.


මම කුස්සිය අස් කල පසු නැවත එහි ආ ලොකු ස්වාමීන් වහන්සේ අවට බලමින් එය අස්කර තිබෙනවා දැක හීනා මූනෙන් අතේ මාපට ඇගිල්ල උස්සා එය ඉතා හොඳ බව කියමින් සතුට ප්‍රාකාශ කලේය...... නැවත ඔහු කුස්සියේ දර ලිපේ ඉදෙන බත පරික්ශාකර බලා ලිපේ ගින්දර ඇද බත් මුට්ටිය වසා දැම්මේය.

අප දෙදෙනා රෑට කුස්සියේ උයමින් ඉන්නා අතර එළවළු පාත්තිවල වැඩ කළ අනිත් භික්ෂූන් දෙනම වැඩ ඉවර කර ඇවිත් කුස්සියට කරපොවා බැලීය.....ඔවුන්ගේද මුහුණු වෙනස් උනේ බලා ඉදියදීමය.....නමුත් එයට අකමැත්තක් නොපෙන්නු ඔවුන් අතින් මාපට ඇඟිල්ල උස්සා සතුට ප්‍රකාශ කලේය. පසුව ඔවුන් ඇඟ සෝදා ගෙන එන්නම් කියා අතින් පෙන්නා, කුස්සිය පැත්තෙන් එළියෙ ඇති නාන කාමරය දෙසට යනවා මම බලා උන්නෙමි.

බත උයා පසෙක තබා, කපාපු එළවළු ද එසේම තියන්න කියූ ලොකු හාමුදුරුවෝ, මට බුදුන් වඳින්න යන්න ඇඟපත සෝදා ලෑස්ති වී එන්න කීයා කිවේය.

මම මගේ කාමරයට ගොස් අලුත් සිවුරක් තුවායක් රැගෙන ඇඟපත දොවාගන්න..., කාමරයෙන් පිට තිබුන පොදු නාන කාමරයට ගියෙමි.


හොදින් ඇඟපත සෝදා, අලුත් සිවුරක් ඇඳගෙන මම බුදුගෙය වෙත යන විටත් අනෙක් භික්ෂූන් වහන්සේලා ද බුදුගෙය තුළ වාඩි වී මා එනතෙක් බලා ඉන්නා හැටි පෙනින.

බොහෝ නිශ්කලංක අඳුරු පැරණි ශාලාවේ බුදුරජාණන් වහන්සේගේ පිළිමය ඉදිරිපිට, හතරැස් හීනි කොට්ට වගයක් බිමට දමා, ඒ මත හිඳ ගෙන ඔවුහු බුදුන් වැඳීමට ලක ලෑස්ති වී හිදිති....ඔවුන් මෙලෙස කොට්ට උඩ වාඩි ගන්නේ, සිමෙන්ති බිමේ ඇති සීතලෙන් මිදෙන්න බව මම තායිලන්තයේදී හා ඇමරිකාවේදි දැන උන්නෙමි.


භික්ෂූන් වහන්සේ දෙනම, වත්තේ වැඩ කරන විට අඳින ඇඳුමට වඩා ටිකක් වෙනස්, අළු පාට විශාල කමිසයක් හා ජම්පරයක් ඇඳ ගෙන බුදුන් වැඳීමට ලෑස්ති වී ඇත..... ලොකු හාමුදුරුවෝ එවැනි අලුපාට ඇඳුමට උඩින් දුඹුරු පාට සිවුරක් වැනි රෙද්දක් දමාගෙන ඉදී.....


ලොකු හාමුදුරුවෝ බුදුපිළිමය ඉදිරිපිට පහනක් දල්වා, සුවඳ නැති හඳුන් කූරු ද පත්තු කලේය.... පැන් භාජනයක්ද ද එහි තැබූ උන්වහන්සේ නැවත පැමිණ මෙට්ටය උඩින් වාඩි වී, අනෙක් භික්ෂූන් දෙනම සමඟ බුදුන් වැඳීමට ගාථා කියන්න පටන් ගත්තේය ....


ඒ සමගම එක භික්ෂූන් වහන්සේ නමක් පුංචි බෙරයක් වැනි දෙයක් "ටක "ටක ගා තාලයට වැනීය.....

“‘ඉතිපි... සෝ... භ... ගවා...‘‘ අරහං සම්මා සම්බුද්ධෝ…….


බොහෝම දිගට ඇදලා.... අපි කියනවාට වඩා හෙමිහිට මිහිරි ලෙස ඔවුන් බුදුන් වඳින ගාථාව කියන්න පටන් ගත්තේය.....

මමත් වෙනදාට වඩා වෙනස් විදිහට , ඔවුන් බුදුන් වඳින්න ගාථා කියන ආකාරයටම...., ගාථා කියමින් වදින්න පටන් ගත්තෙමි...... හිස බිම තියමින්...., අත් දෙක ඔසවමින්...., වාඩිවෙමින් නැගිටමින්....., දොහොත් මුදුන් තියමින්....., බිම බලමින්, නැවත හිස කෙළින් කරමින් ඔවුන් බුදුන් වඳින ආකාරය මම මුලින් බලා උන්නෙ පුදුමවය..... පසුව මමත් උන්වහන්සේලා අනුගමනය කරමින් උන්වහන්සේලා කියන ලෙස ගාථා කියමින් පැයකට ආසන්න කාලයක් එක් ඉරියව්වක නොසිට හිට ගනිමින්, බිම වාඩි වෙමින්, හිස බිම තියමින් ගාථා කියන්න පුරුදු වුණෙමි..... එම වන්දනා ක්‍රමය මට අලුත්ම අත්දැකීමක් විය..... මම ද ඔවුන් සේ එය අනුගමනය කරමින් බුදුන් වැන්දේ අප ලංකාවේ දී කියනා බුදුන් වදින ගාථා වෙනස් ආකාරයකට ඇද ඇද, කඩකඩා කියමින්‍ය..... අප ලංකාවේ දී හෝ කොරියාවේ දී හෝ ගාථා දෙවිදියකට කිව්වත් වඳින ආකාරය දෙවිදියක් වුවත්, වඳින්නේ අපේ ලොව්තුරා බුදුන් වහන්සේට කියා සිතමින්, සතුටින් ගෞරවයෙන් භක්තියෙන් බුදුන් වැන්දෙමි......

උන්වහන්සේලා එලෙස හිටගනිමින්, වාඩිවෙමින්, අත් ඔසවමින්, පහත දමමින් වඳින්නේ, සීත දේශගුණයක් ඇති කොරියාවේ එකම විදියට වැඳගෙන සිටි විට ඇඟට වැඩියෙන් සීතල දැනෙන නිසාත්, ඒ අවස්තාවේ ඇඟට ව්‍යායාමයක් සිදුවන නිසා බවත් පසුව මම තේරුම් ගත්තෙමි........


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා*

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page