top of page
  • Writer's picturePrisila Godahewa

✈️එතෙරින් එතෙරට✈️ 💥(27 වන කොටස )


සුමේධ මාව තකහනියේ එක්ක ආ, ගම්මානයක, කන්දක් උඩ පිහිටා තිබුන පන්සල....,දුටු සැනෙකින් මට මුළින්ම කොරියාවට ආ දින ගිය පන්සල සිහිපත් විය......පන්සලේ ඇතුලට හෙමිහිට ඇවිද යන කල මට පළවෙනි දවස නැවත නැවත සිහිවිය....පන්සල් බිමේ තැන තැන පැරැණි කැටයම් වර්ග , පිළිම වර්ග, තනි සුදු පාට ගල් වර්ගයකින් අඹා, පන්සල් වත්තේ තැන තැන තියා ඇත. මම මුළින්ම කොරියාවට ආ දිනයේ ගිය පන්සලට බොහෝ සමානකම් මේ පන්සලේද ඇත.


පන්සලේ පඩිපෙළ නැග ඉහළට ආ විට, අවට පහළ භූමිය හොඳින් පෙනෙයි. පන්සලේ ඉදිරිපසට ආ විට කන්ද පාමුල දක්වා ඇති අපි නැග ආ පඩිපෙළ රවුම් ආකාරයට පහළට යනකම් විහිදි යයි....හෙල්මළු ක්‍රමයට කඳු බෑවුමේ වගා කර ඇති එළවළු පාත්ති ...... අවට පේනතෙක් මානයට විහිදි යන කඳු වළල්ල......ඒවායේ ඈතට වෙනකම් පේන කොළ පාට, කහ පාට ගස් කොළන්, වගා බිම් වල වැඩ කරන ගොවියන් ද නිහඬ භූමිය තුළ දක්නට ලැබෙන සුන්දර දසුන් අතර වේ......


බලන බලන අත දිස් වුනු දසුන් සියල්ල මට, අලුත් දසුන් නොවුනා වගේම, මීට පෙර තායිලන්තයේදී දුටු වගාබිම්ද සිහිපත් කරයි...... ඒවා දකින කල හිතට ලොකු සතුටක් මිශ්‍ර සැහැල්ලු බවක් දැනේ....මුල්ම දින මම ගිය පන්සලේ හැඩහුරුකම් ඇති මෙම පන්සල....., එම පන්සලට වඩා විශාලත්වයෙන් අඩු විය.....බොහෝ නිස්කලංක නිදහස් පරිසරය තුල ඇත්තේ පුදුමාකාර නිශ්ශබ්ද තාවයකි.....


විහාරස්ථානය තුලට ඇතුළු උන අප දෙදෙනා විහාර ගෙය යයි සිතිය හැකි ශාලාවට පිවිසියේය.... විහාරගෙය ඇතුලත බුදුරජාණන් වහන්සේගේ පිළිම කොරියානු ක්‍රමයට අඹා ඇත ... කොරියානු මිනිසුන්ගේ පෙනුමේ හැඩරුව ඇති බුදු පිළිම රත්තරං පැහැතිය...


‘‘අපි යමු ආවාස ගේ පැත්තේ……... ලොකු හාමුදුරුවෝ මේ වෙලාවට ආවාස ගෙයි ගිමන් අරින වෙලාව...."


බුදු ගෙය, ආවාස ගෙය, උයනගෙය, අමුත්තන් පිළිගන්නා තැන හැම කාමරයක්ම පන්සල් භූමිය පුරාම වෙන වෙනම තනා ඇත.... හැම ගොඩනැගිල්ලක් ම එකිනෙකට වෙනස් කැටයම් හා රූපවලින් නිම කර ඇත.... ලංකාවේ පන්සල්වල ඇති ශාන්ත බව මෙහි ද ඇත.... නමුත් පාට පාට බිත්ති, කණු, වහල, ගොඩනැගිලි වෛර්ණ පාට යොදා නිම වී ඇත.


‘‘ලොකු හාමුදුරුවෝ, උන්නාන්සේගෙ කුටියේ වැඩ වෙසෙනවා..... සෙරෙප්පු ගලවලා ඇතුලට වඩින්න විපස්සි හාමුදුරුවනේ...‘‘

අමුත්තන් පැලැදි සෙරෙප්පු පිළිවෙළට ගලවා ආවාස ගෙයි ඉදිරිපිට තබා ඇත.... මමත්, සුමේධත් සෙරෙප්පු සපත්තු ගලවා එතන පිළිවෙළට තැබුවෙමි. මට ඉස්සර වි සුමේධ ආවාස ගෙය තුලට ඇතුළු විය....


‘‘ලොකු හාමුදුරුවනේ.‘‘....

සුමේධ කොරියන් බසින් ඇතුළත හිටි ලොකු හාමුදුරුවන්ට කතා කළේය.


"ආ... ඔබ ආවද...? උන්වහන්සේ කොරියන් භාෂාවෙන් ඇසීය.


"අපි ටිකක් පරක්කු වුණා හාමුදුරුවනේ ට්‍රැෆික් නිසා......කොරියන් හාමුදුරුවෝ සමග සුමේධ ඉතා චතුර ලෙස කොරියන් භාෂාවෙන් කතා කරයි.....සුමේධ තව මොන මොනවාදෝ උන්නාන්සේ සමග කතා කරයි.....උන්නාන්සේ මහළු පෙනුමැතිය. ඉතා කාරුණික පාටය......බොහෝම හෙමින් උන්නාන්සේ සුබෝධ සමඟ කතා කරන්නේය .... .


කොරියන් හාමුදුරුවෝ මාව ඈතදීම දැක , ඔළුව ඉන ළඟ ඉඳන් පහත් කර අත් දෙක එකතු කර මට වැන්දේය..... උන්වහන්සේ කළ පරිදිම, මම ද අත් දෙක එකතු කර දෙකට නැමී උන්වහන්සේට වැන්දෙමි.


“‘මම අද උදේ මේ හාමුදුරුවන්ට කතා කළා..... උන්වහන්සේ කිව්වා ඔබවහන්සේව එක්ක එන්න කියලා..... ඒකයි මම අද නිවාඩු දාලා විපස්සි හාමුදුරුවන්ව මෙහේ එක්ක ආවේ..... මම මේ හාමුදුරුවන්ට කිව්වා ටික දවසකට මේ පන්සලේ ඔබවහන්සේට නවාතැන් පහසුකම් දෙන්න කියලා..... උන්වහන්සේ දැන් ඒකට කැමැති වුණා.....‘‘


‘‘අනේ ලොකු උදව්වක් සුමේධ .....බෙහොම පිං සුමේධට......‘‘


"හැබැයි කොරියානු භාෂාව පුළුවන් ඉක්මනට ඉගෙන ගන්න වෙයි..... මේ හාමුදුරුවන්ටත් ඉංගිරිසි කතා කරන්න බෑ…... ඒ වගේම අපේ ලංකාවේ පන්සල්වල වගේ නිකං නම් ඉන්න බෑ මේ පන්සල් වල….... පන්සල අතුපතු ගාන වැඩ වලට අමතරව, උයන පිහන වැඩ වගේම , එළවළු වගාවටත් උදව් කරන ඒවා අනිවාර්යයෙන්ම කරන්න වෙනවා.....‘‘


‘‘ඒකට මොකද...., මං කොහොමත් ඒ වැඩවලට කැමැතියි...‘‘


මම සමඟ සුමේධ කතා බහ කල දෑ සියල්ල ....සුමේධ කොරියන් හාමුදුරුවන්ට පෙරලා කොරියන් බසින් පරිවර්තනය කරන්නේය . උන්වහන්සේගේ මුහුණේ සතුටු පාටක් දිස් විය.


"අපි තේ බොන ගමන් කතා කරමු....‘‘


ආවස ගෙයි ඇතුළත හිටිය අපට, උන්වහන්සේගේ කාමරයට එන්න යැයි ඔහු අතින් කීය..... සුමේධත් මමත් උන්වහන්සේගේ කාමරයට ඇතුළු විය. එහි නිදන කාමරයක් හා අමුත්තන් පිළිගන්නා කාමරයක් ඇති බව පෙනේ....

කාමරය ඇතුළත පැත්තක, කොට මේසයක් ඇත..... ඒ මේසය ළඟ බිම හීනි මෙට්ට වගයක් දමා ඇති තැනක සුමේධ එරමිණියා ගොතාගෙන වාඩි වුනේය.. ....මමත් ඔහු කල ලෙසම ඒ අසළින් වාඩි විය.


කොට මේසය උඩ පුංචි කෝප්ප වගයක් ඇත. ලොකු හාමුදුරුවෝ කොට මේසයේ අනෙක් පැත්තෙන් බිම වාඩි වුනේය. උන්නාන්සේ වාඩි වි ඉන්න පැත්තේ බිම පුංචි ලිපක් උඩ , කේතලයක වතුර දුම් දමමින් නටයි ..... එය ලී කුඩු වර්ගයකින් තැනු පත්තුවෙන ලිපකි …. එයින් පිටවෙන දුම, කාමරයේ පුංචි චිමිනියෙන් ඉහලට යයි.....මේසය උඩ ඇති තවත් පුංචි කේතලයකට, ලා කොළ පාට තේ කොළ දමා,එයට නටන උණු වතුර දැමූ ලොකු හාමුදුරුවෝ..... සුමේධ හා මා සමඟ කතා කරන ගමන්, බිම වාඩි වී, තේ සෑදූවේය.....

කොට මේසය ළඟබිම ඇති මෙට්ට උඩ වාඩි වී උන්වහන්සේ සමඟ කතා බහ කරමින් අපි, උන්නාන්සේ තේ හදන හැටි බලා සිටියෙමු. නටන උනුවතුර දැමු පුංචි කේතලයේ, තේ කොළ තැම්බුණු පසු, උන්වහන්සේ අප ළඟ තිබූ පුංචි අල්ලක් විතර කෝප්ප වලට, තේ වතුර දමා අප දෙසට කලේය..... තේ වතුර ලා කොළ පැහැති ය.


‘‘බොන්න මේ ග්‍රීන් ටී, සීතල යන්නත් එක්ක හොඳයි."

මම එය අතට ගෙන හෙමිහිට බොන්න පටන් ගත්තේය. අවට පරිසරයේ තිබූ සීතලෙන් මිදෙන්න මෙය යස පානයක් යැයි මට සිතිණි. සුමේධ අත් දෙකින්ම කෝප්පය බදා අල්ල ගෙන තේ එක බොයි....


‘‘කොහොමද හාමුදුරුවනේ ග්‍රීන් ටී හොඳ ද?


“‘ඔව්... රසයි කහටයි උනු නිසා ඇඟේ සීතලත් නැතුව යනවා .‘‘


“‘මේ ග්‍රීන් ටී ඇඟට ගොඩක් හොඳයි.... මේ අය කන තෙල් කෑම දිරවනවා මේ ග්‍රීන් ටී වලට..... ඒ වගේම මේ පුංච් අඬුවක් නැති කෝප්පය අත් දෙකෙන්ම තද කරලා අල්ලා ගෙන මේ තේ බොන්න ඕනේ.... එතකොට අත් දෙකත් ඇඟත් උනුසුම් වනවා..... මේ ක්‍රම මේ රටේ සීතල නැති වෙන්න හදාගත් ක්‍රම …."

සුමේධ සහ කොරියන් ලොකු හාමුදුරුවෝ කොරියන් භාෂාවෙන් කතා කරන දෙස මම උනන්දුවෙන් බලා උන්නෙමි .... සුමේධ ඉතා දක්‍ෂ ලෙස කොරියන් භාෂාව කතා කරන්නේ කොහොමද ..?. ඔහු කොරියන් රටට ඇවිත් තාම අවුරුදු තුනහමාරක් වුණත්, ඔහු චතුර ලෙස කොරියන් භාෂාව කතා කරන එක මට ප්‍රහේලිකාවකි.


“‘විපස්සි හාමුදුරුවනේ, ඔබවහන්සේට මේ පන්සලේ, ටික කාලයක් වැඩ වෙසෙන්න පුලුවන් ...... මං ඔබවහන්සේගේ තොරතුරු ලොකු හාමුදුරුවන්ට කිව්වා.... මේ හිමියන් බොහෝම හොඳ කෙනෙක් මටත් මේ තත්ත්වයට එන්න උදවු කළේ මේ හාමුදුරුවෝ තමයි.....ඔබ වහන්සේ කීකරුව, පන්සලේ වැඩටත් උදවු කරගෙන මෙහෙ ඉන්න බලන්න ....නිවාඩු පාඩුවේ රටේ තොටේ ඇවිදලා කොරියාව දැක බලා ගන්නත් පුලුවන් ..... මම විවේකයක් ලැබුණ වෙලාවට එන්නම් ඔබවහන්සේ බලලා යන්න..... මගෙන් කෙරෙන්න ඕන යුතුකම් කොටස මම කළා..... ඔබවහන්සේ ලොකු හාමුදුරුවො කියන විදිහට කීකරුව මෙහෙ වැඩ වෙසෙන්න.....”


“සුමේධ මහත්තයාට බොහොම පිං මට නවාතැන් ගන්න තැනක් හොයල දුන්නට......‘‘


‘‘අපි ඉස්සරහට මොනවද කරන්න පුලුවන් කියලා බලමු...... ඔබවහන්සේ ලොකු හාමුදුරුවන්ගෙ හිත දිනාගෙන මෙහේ වැඩ වෙසෙන්න……...මං එහෙනම් ගිහින් එන්නම්….. මං ඔබවහන්සේගේ ඇඳුම් බෑගය වාහනයෙන් ගෙනත් දෙන්නම්....

එහෙනම් ඔබවහන්සේ ලොකු හාමුදුරුවෝ පෙන්වන තැනක නවාතැන් ගන්න.....‘‘

සුමේධ මහත්තයා කඩිමුඩියේ කන්ද පල්ලමට ඇවිද ගියේය . ඔහු වාහනයේ තිබූ මගේ ඇඳුම් බෑගයද රැගෙන නැවත කන්දේ පන්සලට විත් මගේ අතට බෑගය දී මට දෙකට නැමී වැන්දාය.


"බොහෝම පිං සුමේධ මහත්තයාට...."

සුමේධ කන්ද බැස ගෙන යන හැටි මම කන්දේ උඩ සිට බලා උන්නේ ඔහුට හිතෙන් පිං දෙන ගමන්‍ ය......


කන්ද පාමුලට ගිය සුමේධ ඔහුගේ වාහනයේ නැග ඈතට යනවා, කන්දේ මුදුනේ, පන්සල් වත්තේ සිට මම බලා උන්නෙමි


ඔහු අදුනන කොරියානු බෞද්ධ පන්සලක ස්වාමින් වහන්සේ නමකට මාව භාර දී නැවත වාහනයේ නැග යන හැටි මම බලාසිටියෙමි.


කොරියන් ලොකු හාමුදුරුවෝ පන්සලේ ඈත සිට මට අතින් අඩ ගසනවා පෙනේ..... මම ඒ පැත්තට යන්න පය ඉක්මන් කලෙමි.


උන්නාන්සේ මාව අඬගසාගෙන පන්සලේ ඉස්සරහ මිදුල හරහා, ආවස ගෙයි පිටිපස මිදුලට කැදවා ගෙන ගියේය. පන්සල් භූමිය කොනක තිබූ ආරුක්කු බූරුක්ක සහිත පුංච් කාමරයක දොර ඇර ඒ තුලට යන්න කියා උන්වහන්සේ මට අතින් පෙන්වූයේ කතා බහකින් තොරවය...


කතා බහ නොකලත්, උන්නාන්සේගේ මුණේ ඇති සිරියාවන්ත අහිංසක පෙනුමට මගේ හිත ගියේ නිතැතින්මය ....

උන්නාන්සේ කිව් ලෙස, කාමරය ඇතුලට ගිය මට, බෑගය ඒ තුල තියා ගන්න යැයි උන්නාන්සේ අතින් සන් කළ මට කීය..... මින් පසු මම නැවාතැන් ගත යුත්තේ මෙතන යැයි ගොළු භාශාවෙන් කීය.


මම අත්දෙක එකට එකතු කර උන්වහන්සේට දෙකට නැමී ස්තූති පූර්වකව වැන්දෙමි.

පෙරේදා මම ගිය පන්සලේ සිටි හාමුදුරුවන්ට වඩා මේ ස්වාමින් වහන්සේ බොහෝ කාරුණික බව පෙනෙයි.


"කෑම කෑව ද? කියා උන්වහන්සේ අතින් කට පෙන්නා මගෙන් ඇසීය..


‘‘ තවම නෑ.... මම ළඟ කෑම තියෙනවා...."


මම ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙ මගේ බෑගය අතින් උන්නාන්සේට පෙන්වමින්‍ය.


“එහෙනම් කාල එළියට එන්න " කියා අතින් සන් කල උන්නාන්සේ ..... පන්සලේ ඉස්සරහ පැත්තට හෙමිහිට වැඩියේය......


වේලාව දවල් දොළහමාරට කිට්ටු කර තිබූ බැවින්, මම ඉර හැරෙන්න ප්‍රථම සුමේධගේ නෝනා දුන් බත් මුල දිග ඇරගෙන කාමරයේ ඇතුළත ඉඳගෙනම කෑවෙමි..... එය ශ්‍රී ලංකාවේ උපාසක උපාසිකාවන්ගේ දානය ලෙසම රසවත්‍ය..... එහි මාළු, පරිප්පු, අල හා ගෝවා තෙල් දමා තිබුණි. බඩ පිරෙන්න බත් මුළ වළදා අහවර වි මම , මගේ සිවුරු බෑගය කාමරය පැත්තකින් තබා ඇරියෙමි ....මේ කාමරය තුල මට නවාතැන් ගන්නට අවශ්‍ය සියලු බඩුමුට්ටු තියෙන බව පෙනේ..... ඉතා සරල අත්‍යවශ්‍ය බඩු පමණක් ඇති පිරිසුදු පුංචි කාමරය තුල නිදහස් නිස්කලංක බවක් ඇත..... නිදා ගන්නට උණ බටවලින් තනන ලද පැදුරකුත්, සීතලට පොරවා ගන්නට ඝනකම මෙට්ටයකුත් කාමරයේ කොනක ඇත..... බඩුමුට්ටු දමා ගැනීමට පුංචි කබඩ් එකක්, ආහාර ගැනීමට හා ලියන කියන දෙය කිරිම සඳහා කොට මේසයක් හා ඒ අසල හිඳ ගැනීමට පුංචි හතරැස් කොට්ටයක්ද තිබුණ. මේසය ලඟ ලොකු හාමුදුරුවන්ගේ කාමරයේ තිබූ ලෙසම තේ හදාගන්න කේතලයක්, කෝප්පයක් , පුංච් ලිපක් ඇත....


කාමරයේ තිබුන එකම පුංචි ජනේලය හුළං එන්නට ඇර තැබු මම එයින් එළිය බැලුවෙමි.......


මට හිතා ගැනීමටවත් බැරි තරම් සුන්දර දසුනක් කාමරයෙන් එළියේ පෙනේ.... කන්දක් උඩ පිහිටා තිබූ පන්සලේ, කොතැනක ඉඳන් ඈත බැලූවත් පෙනෙන්නෙ ඈත පෙනෙන මීදුම සහිත කඳුකර ප්‍රදේශයයි..... හෙල්මළු ක්‍රමයට කඳු කපා වගා කර ඇති වගාවන්ද, ඈත කඳුකරයේ ඇති විශාල ගස් සියල්ලම මගේ කාමරයට හොඳින් ම පෙනේ..... කොයිතරම් සුන්දර දසුනක් ඇති තැනකද මට අවසානයේ නවාතැන් ගන්නට ලැබුනේ.... මට හිතා ගන්න බැරි තරම් නිහඬ නිස්කලංක සුන්දර කඳුකරයක, ටික දිනකට හෝ නවාතැන් ගන්න ලැබීම මගේ හිතට සතුටක් ඇති කලේය....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page