top of page
  • Writer's picturePrisila Godahewa

✈️(එතෙරින් එතෙරට )✈️

💥ඔස්ට්‍රේලියාවේ 2018 SAFAL සම්මාන උළෙලේදී , ලේඛන සම්මානයෙන් පිදුම් ලැබු ප්‍රිසිලා ගොඩහේවා ලේඛිකාවගේ අලුත්ම නවකතාවක් අද සිට 2020/04/26💥


( ඈත පිටිසර ගම්මානයක දුප්පත් පිරිමි දරුවකු වු විසල්..., ඔහුගේ ළමා කාලය ගෙවා නිම කිරිමට පෙර, ගෙදර ඇති අඟහිඟ කම් නිසා, ඔහුට සසුන් ගත විමට සිදු විය...., පසු කලෙක විපස්සී තෙරුන් නමින් සංසාර ගමන කෙටි කරගෙන යන ගමනේදී......අතරමග හමුවු මර දූතියකු නිසා,

උන්වහන්සේගේ සංසාර ගමන දික් වි එතෙරින් එතරටම ගොස්ම නැවතින.....)

අදින් පටන් ගන්නා අලුත්ම නවකතාව

✈️එතෙරින් එතෙරට✈️

💥 (1)පළවන කොටස

"අපි දැන් මේ කොහේද මේ යන්නේ.... ?


එක අතක් මගේ අත උඩින් තියාන අනිත් අතින් වාහනය පදවන "සුමුදු" ගෙන් මම ඇසුවේ පන්සලෙන් පිටවුන වෙලේ සිට නොනැවතී ගැහෙනා මගේ පපුවේ අතක් තියාගෙනමය.....

"ඔන්න ඔහේ කොහේ හරි යමු....." එසේ කියා ඇය සිනාසෙන්නේ පොඩි ළමෙක් ගානටය.... සුමුදුට මාවවත්, මගේ සිතවත් තේරුම් ගැනීමට අවශ්‍ය නැති ගානය.. ඇය සිනා සෙන්නේ සතුටින් උදම්වය.

අවුරුදු විසිතුනක කාලයක් පන්සල් හත අටක මහණදම් පුරමින් ජීවත් උන මා..... අද මොන හිතකින් මෙලෙස පන්සලෙන් එලියට බැස්සා දැයි සිතා ගන්නට බැරුව තවමත් මම ලත වන්නෙමි.

"අද රෑට අපි මෙතන ඉදන් 100km විතර දුරක තියෙන "ගෙස්ට් හවුස්" එකක නවතින්න මේ යන්නේ..... ඒ ගෙස්ට් හවුස් එක තියෙන්නේ කැලෑවක් මැදට වෙන්න. මම හොයලා බැලුවා.... හරිම ලස්සන තැනක් .., ඔයාට තපසට යන්න හිතෙයිද දන්නෑ…. සුමුදු හිනා වෙන්නේ මට සමච්චලයට මෙන්‍ ය.

" හෙට පෝය වෙන්න ඇති අර.. අර..ඈත අහසෙන් හද පායාගෙන එන්නේ."

"ඔව් හෙට පෝයනේ."


" උපාසක ඇත්තෝ හෙට ඔයාව හොයයිද දන්නෑ".....


සුමුදු තවත් හිනා වෙයි. තවමත් මාව තේරුම් ගන්න මේ ගෑනිට බැරි හැටි..… හිතේ ඇතිවුන කේන්තියෙන් වේගයෙන් පියබා යන වාහනයේ ජනෙල් කවුලුවෙන් මා එලිය බැලුවේ සුමුදු ගේ හිනාවෙන් බේරෙන්නයි.....


"ඔයාට බඩගිනිද? මම සැන්ඩ්විච් වගයක් හදලා ගෙනාවා...තේ බෝතලයකුත් තියෙනවා... . අපි තව ටිකක් දුරට ගිහින් වාහනය නවත්තලා තේ බොමු."


සුමුදු වාහනය එලවන ගමන් එක දිගට කතා කරයි. ඇගේ කතාවට ඇහුම්කන් දෙන්න වත්, ඒවට උත්තර දෙන්නවත් උවමනාවක් මට නැත.... මම ඇස් දෙක පියාන සීටි එකේ පිටුපසට හිස ඇල කර ගත්තෙමි.

අම්මා ,තාත්තා පවුලේ අය , ලොකු හාමුදුරුවෝ, පන්සල්, දායකයෝ, උපසක උපාසිකාවෝ මගේ ඇස් ඉදිරිපිට පෙනි පෙනි නොපෙනී යයි. මම කාගේ කවුද ? කොහේද මම හිටියේ , මම මොනවාද කරේ....දැන් මේ කොහේද යන්නේ….මටම තෙරුම් ගත නොහැකි අවුල් ගොඩක මා පැටලී ඇතැයි සිතේ….


මීට අවුරුදු 36 කට පෙර මම ජීවත්ව සිටි ගමට, මගේ දෙමව්පියන් ,සහෝදර සහොදරියන් සිටි දුප්පත් පැලට, මගේ කියන්න නෑදෑයින් හිටි ගම වෙත මගේ මතකය දුවගෙන යයි....


💥 ඇඟ හිරි වැටෙමින් සීත හුලං හමායන කදුකරය...… හෙල් මලු ක්‍රමයට එළවළු වගා කර ඇති නුවරඑළි දිස්ත්‍රික්කය.....දරුවන් පස් දෙනකුගේ බඩ කට පුරවන්න ගරා වැටුන මැට් පැලේ, දර ලිපට දුම් පිබින අම්මා...හවසට පරන එලවලු බෑගයක් උස්සාගෙන කඳු පාමුලේ සිට කන්ද නැගගෙන එන දුප්පත් තාත්තා...... තාත්තා එන පෙර මඟට, හැල්මේ දුවන පුංචි අපි....අය්යා අක්කා, නංගි ,මල්ලි හා මම...කෝ...අද ඔවුන්..කොහේ කොතනද...?

ළමයින් පස්දෙනෙකුගෙන් යුතු පවුලක මම තුන්වෙනියා වුවෙමි. අවුරුද්දක දෙකක පරතරයක් ඇතිව ඉපදුන අප පස්දෙනාම අවුරුදු දහයට අඩු දරුවන්ය. තාත්තා ගමේ කඩ මණ්ඩියේ එළවලූ මුදලාලි කෙනෙකු ලඟ වැඩ කරන අතර ඔහු උපයන මුදල දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලට නොසෑහෙයි..... දරුවන්ට දැඩි ආදරයක් දැක්වූ තාත්තා කොතෙක් අඟහිඟකම් මධ්‍යයේ වුව ද අප පාසල් යවන්නට උත්සාහයක් ගන්නේය. වැඩිමහල් දරුවන් තිදෙනා පාසල් යන අතර බාල දරුවන් දෙදෙනා තවමත් අවුරුදු පහට අඩු ය. අම්මා අප බලා කියාගෙන ගෙදර වැඩපල කරමින් හිදියි.... වැඩි උගත් කමක් නොතිබුණු අම්මා...., තාත්තා ගෙනත් දෙන දෙයක් උයා පිහා දරුවන්ගෙ බඩ කට පුරවනවා හැර ඇයට පවුලේ දියුණුවක් මෙන්ම දරුවන්ට හොඳ කළක් යා යුතු බව ගැන ඒ හැටි දැනීමක් නැත....

අයියත්, අක්කත් සමඟ උදේට පාසල් යන මම හවසට ගෙදර එන්නෙ අම්මා උයා තිබෙන දෙයක් කා බී ගමේ ගොඩේ දරුවන් සමඟ සෙල්ලමට යන්නටය..... මම නම් වැඩියෙන් ම කැමති කොල්ලො කුරුට්ටෝ සමඟ කැලේ පැන සෙල්ලම් කිරීමට හා ගඩා ගෙඩි කඩා කෑමටය....පාසැල් ගොස් ආපසු, කොල්ලෝ කුරුට්ටො සමඟ කැලේ පනින මම නැවත ගෙදර එන්නෙ හොඳටම හවස්වි තාත්තාද ගෙදර ආපසුය....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *


0 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page