top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️ නොසැලෙන දියණි (51 වෙනි කොටස)

"අයිරින් ඔයා ලෑස්තිද පාර්ටියට යන්න ...? මේ බලන්න මගේ ඇඳුම හොදද කියලා ....අතේ ප්ලාස්ටර්ස් පේන්න නැති වෙන්න මම අත් දිගට දාලා ශර්ට් එක ඇන්දා...."


තෝමස් ජීවිතේ පළමු වරට ලස්සනට ඇඳ , ටයි එකක්ද පැළද සිටිනවා දැක මට ඇති වුනේ කියාගන්න බැරි තරම් සතුටකී. ඔහු ඒ ඇඳුමට ඉතා කඩවසම්ය.


"අප්පේ....තෝමස්ගෙ ලස්සන ....ඔයා හරිම ස්මාට් ඔය ඇදුමට...."


" ආ....ඔය ඉන්නේ.... ඔයත් අද හරි ලස්සනයිනේ අයිරින් .... ඔය සුදු රතු පාට දිග ගවුමට ඔයා තවත් ලස්සනයි ....ශා....කොන්ඩෙත් අමුතු විදිහට පීරලා, ලිප්ස්ටික් ගාලා ඉන්න කොට නම්, මට අපේ මමීව මතක් වෙනවා අයිරින් .....එයා ඉස්සර ගෙදරින් එළියට බහින්නනේ ලස්සනට ඇදලා, මේකප් දාගෙනනේ.....පල්ලියට ගියත් එයා, මඟුල් ගෙදරක යන්න වගේ අදිනවා.... ඔයා දැන් මමී වගෙමයි අයිරින් ...."


"අයිරින් මමීටත් වඩා ලස්සනයි, හැඩයි දැන්...ජුඩ්ද එයට කට දැම්මේය...."


"ම්ම්...මට නම් එච්චර මතක නෑනේ මමීව....එයා මාව නිදිකරවනවා නම් මතකයි ලස්සන ලොකු ඇදක තියාගෙන ...."


"ඔයා ඉතිං ඒ කාලේ පොඩියිනේ රෝසි....ඔයා දැන් අයිරින් දිහා බලලා, මමීව මතක් කර ගන්න...."


" අයිරින් අපි දැන් යමුද ....? පරක්කු වෙනවා..."


"යමු...යමු...දැන් හතට ලඟයි.....අලුත් බංගලාව පේන දුර නිසා අපි ඇවිදගෙන යමු......මම පෙරුමාල් හිටියොත් එයාගෙ අතේ ජුඩ්ටයි රෝසිටයි කෑම මොනව හරි එවන්නම්....එහෙනම් ඔය දෙන්නා ගෙට වෙලා ඉන්න අපි එනකම් ....අපිත් වැඩිය රෑ වෙන්නෙ නැතුව එනවා......මැඩම් එන්න කිව්ව නිසා අපි යන්නම ඕනනේ...."


තරුණ කාළයට එළඹුනාට පසු විතරක් නෙමේ, ජීවිතේ කිසි දිනක, මම මෙලෙස ලස්සන ඇදුමක් ඇදගෙන, මේකප් දාගෙන පාටියකට ගොස් නොතිබුනි....අද අලුත් බංගලාවේ , අලුත්, නොදන්න මිනිසුන් අතරේ, ගැවසෙන්න වෙන එක ගැන,මගේ හිතේ ඇත්තේ බයක් හා ලැජ්ජාවකී.......තෝමස් ලඟ ඉන්නා නිසා හිතට ටිකක් හොදයි වගේ....


අප යන පාරේ ඈතටම, බංගලාව පැත්තට එක්කෙනා දෙන්නා, උත්සවය සදහා යනවා පෙනෙයි......ඔවුන් ඉතා හොදින් ඇදුම් ඇඳ ඉන්නා බවද පෙනේ....


ඔෆිස් එකේ නීලාමනී ඇවිත් හිටියොත් හොදයි .....තව දන්න කියන ඔෆිස් එකේ අය උත්සවයට ඇවිත් ඉදියිනේ....මොකට බය වෙනවද....? මේ ලඟ තෝමස් ඉන්නේ,.... මගේ තනියට මගේ කියන්න කෙනෙක් දැන් ඉන්න එක, කොයිතරම් නම් ලොකු දෙයක්ද.....දැන් මටත් මගේ ආරක්ශාවට, කෙනෙක් ඉන්නා එක ගැන, මට ඇත්තේ ලොකු සතුටකි. මටත් දැන් මගේ කියන්න පවුලක් ඇත..... දෙවියන් වහන්සේට ස්තූති වන්ත වේවා....!මගේ පවුල එකතු කර මගේ හිතට සැනසිල්ලක්, සතුටක් ලබා දුන්නාට......,


බංගලාවට යන පාරේ ඈතටම, බංගලාව තුල ලයිට් එළි විහිදෙනවා පෙනේ.... බංගලාව ඉදිරිපස ඇති පයින් ගහ පාට පාට ලයිට් දමා නත්තල් ගසක් ලෙස සරසා ඇති අයුරු......


මට මගේ බාළ කාලේ, වෙන්නප්පුවේ නත්තල් අසිරිය සිහිපත් විය....ග්‍රැනී මමී ඩැඩි සමග අපි නත්තල් සමරපු ආකාරය.....නත්තල් ගහ ලස්සනට සරසන්න, ඩැඩී නත්තල් සැරසිලි ගෙනත් දුන් හැටි, ගෙදර අපි හැමෝම එකතු වි නත්තල් ගහ සරසපු ආකාරය....


නත්තලට තව දින දෙක තුනක් තියෙන නිසා, තෝමස් හා ජූඩ්ට කියා නත්තල් ගහක් අපේ ගේ ඇතුලෙත් හදා ගන්නට ඕනෑ බව ඒ ඇසිල්ලේ මට සිහි විය. අපි හතර දෙනා එකට එකතු උනාට පසු ලබන, පළවෙනි නත්තල, අපි පුලුවන් විදිහට එකට එකතුවි සැමරිය යුතුයි කියන හැඟීම මට ඇති විය.


"තෝමස්....අපිත් අපේ ගෙදර නත්තල් ගහක් හදමුද...?


"ඔව් අයිරින් ....මටත් අර නත්තල් ගහ දැක්ක ගමන් ඒක ඔළුවට ආවා....අපි හෙටම නත්තල් ගහක් හදලා, අපිට පුලුවන් විදිහට මේ පාර නත්තල හොදින් සමරමු.....රෝසියි , ජුඩියි ගොඩක් සතුටු වෙයි...."


අලුත් බංගලාව තුලින් නික්මෙන සියුම් සංගීත රාවයක්, අවට කඳු අතරින් ගලාගෙන යයි....බංගලාවට ලං වෙන විට, එහි ඉස්තරම් මෝස්තර ඇදුම් ඇදගත් වැදගත් , පෝසත් පෙනුමැති කට්ටිය වගේම කාර්‍යාලයේ දෙතුන් දෙනකුද එහි ගැවසෙනවා පෙනින.... උත්සවය සදහා ඇවිත් සිටින ආරාධිතයින්, එහෙ මෙහෙ යමින්, කමින්, බොමින් සතුටෙන් හැසිරේ.......සිහින් සංගීත රාවයට එකට බදාගත් වයසක ජෝඩු දෙකක් හෙමින් ,හෙමින් එහෙට මෙහෙට පැද්දෙමින් නටන හැටිද පෙනේ.... . මට අපේ වෙන්නප්පුවේ ගෙදර පාර්ටි සිහි විය.... අපේ මමී ඩැඩීද මෙලෙස, ඉස්සර අපේ ගෙදර පාර්ටි දවසට නටපු හැටි....විශේෂ කෑම, බීම, ලස්සන ඇදුම් පැලදුම් ඇදගත් අමුත්තන්, මිහිරි සංගීතයන්, සැරබීම.... අනේ අපි කොහොම හිටිය පවුලක්ද....? දැන් අනාතයෝ වගේ තැන තැන අනුන්ගේ ගෙවල් වල වැටි, ජීවත් වෙන්න සිදු වු හැටි......"


තෝමස් හා මම, උත්සවය සදහා අලුත් බංගලාව තුලට ඇතුළු උනේ, හිතේ ඇති තිගැස්මත් සමගයි.


"හෙල්ලෝ....ඩිලානි කම්...කම්..."

ඈතදීම අපව දැක මිස්ට රණ්දේව අපි ලඟට ආවේ, සිනා කටක් පුරව ගෙනය...."


ඔහු ඉතා, ජැන්ඩි පහට සැරසී තද නිල් කෝට් එකක්ද දමා හිදී.....


"හෙලෝ සර්..."


"හෙල්ලෝ තෝමස් ...අද අදුනන්නත් බෑනේ දෙන්නවම....කොහොමද දැන් තුවාල සනීපද...?ජුඩ්ට තවම සනීප මදිනේ......රෝසි ආවෙත් නැද්ද...? තව ටික දවසක් ජුඩ් විවේක ගත්තාවේ....ඔහු තෝමස්ට අතට අත දී මා ලඟට විත් ....මගේ දෙකපුළ් සිප ගත්තේ හිතා ගන්නටත් බැරි තරම් උනුසුම් ලෙසය....මට ඇතිවුනේ ලැජ්ජාවකි.....මම තරුණ වියට එළඹියාට පසු, කවදාවත් මාව, කවුරුත් මේ වගේ සිප ගෙන නැත.... ඒත් ඉස්සර අපේ ග්‍රැනී , මමීලා, අපේ ගෙදරට එන පිරිමි අය එලෙස සිප ගත් හැටි සිහි වි මගේ හිතේ ඇතිවුන, ලැජ්ජා ගතිය හිතින් අමතක කර දැම්මෙමි.


"ඩිලානි නම් අද අදුනන්නත් බෑ....එන්න එන්න ගේ ඇතුලට,....ඔෆිස් එකේ දෙතුන් දෙනකුත් ඇවිත් හිටියා අර පැත්තෙ ....වැඩිපුර ඉන්නේ අපේ පරණ වයසක යාළුවෝ....."


ඔහු අප දෙදෙනා ගේ ඇතුලට කැදවාගෙන ගියේ අනෙක් සෙනඟ අතරිනි....ජීවිතේට දැකලා නැති අලුත් අමුතු මූණු මඟ හරිමින් තෝමසුත්, මාත් මිස්ට රණදේව පසුපස ගෙදර ඇතුලට ගියේ විළියෙන් බිම බලාගෙනය......


"ලිලානි....මේ බලන්න කවුද මේ ඇවිත් ඉන්නෙ කියලා ....."

මිස්ට රණදේව ඔහුගෙ බිරිද වන ලිලානී මැඩම් ලඟට අපව, කැදවාගෙන ගියේ... අලුත් විශේෂ අමුත්තන් දෙදෙනෙකු ඇයට අදුන්වා දෙන ගානටය.


"ශා....මේ ඩිලානිනේ....අදුනන්න බැරි තරමට අද වෙනස් වෙලා....හරිම ලස්සනයි ...යමු යමු ඇතුලට ....මම ඔයාට යාළුවෝ ටිකක් අදුනලා දෙන්න....."


ලිලානී මැඩම් මගේ මූණ සිපගත්තේ ඉතා පරිස්සමටය.


"ලිලානි අපි ....ඩිලානිට ඩිල්ශාන්ව අදුනලා දෙමුද...?


රණදේව සර් හා මැඩම් එකිනෙකා කතා කරගත් දෙයක් ලෙස, කෙනෙකු මට අදුන්වා දෙන්න හදයි..... රණදේව සර්ට, ලිලානී මැඩම්ට වඩා ඒ ගැන ලොකු හදිස්සියක් ඇත.


"ඔව්...ඔව්...මම මේ ඩිලානි එනකම් බලාගෙන හිටියේ ඩිල්ශාන්ට අදුනලා දෙන්න...."


ලීලානි මැඩම් අද බොහෝ සතුටින් ඉන්නා පාටයි. ඇගේ ඇදුම් පැළඳුම් පවා ඉස්තරම්ම නවිණ පන්නයේ ඒවා වේ.....ඇගේ දියණිය ලිහිණී පේන්න නැත. මම සෙනඟ අතරින් ලිලානී මැඩම් පසුපස ගියෙ හිතේ දෙගිඩියාවෙනි. තෝමස් සෙනඟ මැද කාර්‍යාලයේ පිරිමි කට්ටිය ගොඩට එක් විය. ....ඔහු කාර්‍යාලයේ මිතුරන් සමග කතා කරනවා දැක, මෙතරම් ඉක්මනට ඔහු, ඔවුන් සමග මිත්‍ර වී සිටීම ගැන මගේ හිතට සතුටක් ඇති විය....


ලීලානී මැඩම් කවුද උස මහත සුදු පිරිමි ළමයෙකු සමග ඈත තියා කතා කරනවා පෙනේ.... ඔහු පුදුමයෙන් මෙන් මා දෙස බලමින් මැඩම් සමග කතා කරන හැටි.......මම ඔහුව නොදැක්ක ගානට අහක බලා ගත්තෙමි.


මම සිටින තැනට ඔහුව , ලිලානී මැඩම් කැදවාගෙන ආවේ සිනාමුසුවය..... ඒ සමග රණදේව සර්ද පැමිනියේය.....ඔහුගේද මුහුණ සතුටින් බරවි ඇත.


"ඩිල්ශාන් මේ අපේ අලුත් එකවුන්ට්ස් ක්ලාක් ඩිලානි"


රණදේව සර් මාව ඔහුට අදුනලා දුන්නෙ එසේය......


" ඩිලානි , මේ මගෙ අක්කගෙ පුතා ඩිල්ශාන්....ඊයේ ලංකාවට ආවේ...මෙයත් අපේ ටි බිස්නස් එකට සම්බන්ධ වෙන්න හදන්නේ ..... මගෙ බිස්නස් එක ගැන, මෙයා ඉගෙන ගන්න ලංකාවට ආවේ......"


"හෙලෝ ඩිලානි ..."


ඔහු මට අතට අත දුන්නේ මගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙනයි....බොහෝ තරුණ කඩවසම් පෙනුමැති, ඔහු මට, අතට අත දෙන ගමන්....දෙකට නැමී, ඉතා පරිස්සමට

මගේ දෙකපුළ් සිප ගත්තේ, මිස්ට රණදේව කල ආකාරයටය.....ඇත්තටම ඔහු ඉතා කඩවසම් තරුණයකු බව මට බැලූ බැල්මටම පෙනේ......ඔහු පිටරට හැදුන කෙනෙකු බවත් මට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමහල් බවත් පෙනේ....ඔහුගේ ඇදුම් ඉස්තරම් ඒවා වේ....


"අයිරින් හිටියේ අපි නිතර යන එන, මදර් තෙරේසාගේ චර්ච් එකේ.....මදර් තෙරේසා කියපු නිසා තමයි මම අයිරින්ව අපේ ලඟට වැඩට ගත්තේ.....දැන් මෙයා ගෙදර අයත් එක්ක නැවතිලා ඉන්නේ අපේ පරණ බංගලෝ එකේ...."


"එහෙමද...ඒක තමයි මම මීට ඉස්සර මෙයාව කවදාවත් දැකලා තිබුනෙ නැත්තේ..."


රණදේව සර් හා ඔහුගෙ අක්කගෙ පුතා මාත් එක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරයි. මමත් කිසි පැකිලිමකින් නැතුව බොහොම ආසාවෙන්, හොදට පැහැදිලිව ඔවුන් සමග කතා කරගෙන ගියෙමි...ඒ අතර එහේ මෙහෙ දුවමින් උත්සවයේ අඩුපාඩු බලමින් යන ලිලානී මැඩම්ද අප ළඟට විත් ඉදහිට කතා කරයි. අද ඇය සතුටින් ඉපිලි ගොස් ඇත ....


" ඩිල්ශාන්, ඊයේ උදේ රට ඉදන් ලංකාවට ආවේ......මෙයා මගෙ සිස්ටර්රින් ලෝගෙ පුතා....මෙයා අපිත් එක්ක නිව්සීලන්ඩ් වල ඉන්නේ....ලඟදි මෙයා මාස්ටර්ස් ඉවර කලේ....ඉස්සරහ කාලේ අපි, අපේ තේ වත්තේ පාලනය මෙයාට තනිකර භාර දෙන්න බලාගෙන ඉන්නේ....මෙයා එන සදුදා ඉදන් අපේ ඔෆිස් එකේ වැඩ කරන්න එනවා...."


"ඇත්තද...ගොඩක් සන්තෝෂයි දැන ගන්න ලැබීම ...."


"ඔයත් ඒ ඔෆිස් එකේම වැඩ කරන නිසා, මෙයාට ඔෆිස් ඒකේ

මොනව හරි වැඩ ගැන දැනගන්න ඕන උනොත්, ඔයා මෙයාට කියලා දෙන්න.....මෙයාගෙ සිංහල කතා කිරීම ගොඩක් අඩුයි....ඒකයි අපි ඔයාට මෙයාව අදුනලා දෙන්න හිතුවේ......ඔෆිස් එකේ අනිත් අයට වඩා, ඔයාගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් හොද නිසා....."


"මම ඕන උදව්වක් ඩිල්ශාන්ට කරන්නම් ආන්ටි...... "

මම දැන් ලිලානී මැඩම්ට කතා කරන විට, ආන්ටි කියන්නෙමි .


"ඔය දෙන්නා එහෙනම් දැන අදුනගන්න කෝ....මම අර පැත්තට යනවා. ... එහෙනම් මොනව හරි දෙන්නා එක්ක කන බොන ගමන් කතා කරන්න..."


ලිලානී මැඩම්ද රණදේව සර් ලෙසම, ඩිල්ශාන්ව මට හදුන්වා දුන්නෙ බොහොම කැමැත්තෙනි.


"ඉතිං ඩිලානි....කොහොමද ..මොනවද ඔයා බොන්නේ...."


"මට ඔරෙන්ජ් ජූස් එකක් ඇති..."


"ආ....එහෙනම් එන්න......අපි යමු අර පැත්තට ටිකක් කතා කරන්න .....මට ආන්ටි ලිලානී ඔයා ගැන ගොඩක් දේවල් කිව්වා....ඔයගොල්ලෝ ඉස්සර හිටියේ වෙන්නප්පුවේ ආන්ටිලාගෙ ගෙවල් පැත්තෙලු නේද ...?


"ඔව් අපේ මහ ගෙවල් වෙන්නප්පුවේ ....ආන්ටි අපි ගැන හොදට දන්නවා....එතකොට ඔයා ලංකාවේ කොහේද...?


මමත් සුපුරුදු ලෙස මගේ කැමතිම භාශාවෙන්, ඔහු සමග කතා කරගෙන යන්නෙමි.


"අපේ අම්මලා කැන්ඩ්....මම අවුරුදු දහයේ ඉදන් අංකල් නිශ්ශංකලා ඉන්න නිව්සීලන්ඩ් වල හිටියේ....."


"කවුද අංකල් නිශ්ශංක කිව්වේ...."


"ඔයාගෙ බොස් රණදේව .....එයාගෙ මුල් නම නිශ්ශංක ....එයා මගේ මාමා, මගෙ අම්මගෙ මල්ලි....."


"එහෙමද....එතකොට ඔයා පොඩිකාලේ ඉදන් පිටරට ඉගෙන ගත්ත කෙනෙක්....?


" මම අවුරුදු පහක් කැන්ඩ් ඉස්කෝලෙකට ගියා..., ඊට පස්සෙ අවුරුදු දහයෙදි විතර තමයි මම රට ගියේ......මම එහේ මාස්ටර්ස් කලාට පස්සෙ, අංකල්ට ඕන උනා, මම එයාගේ තේ වතු බලාගෙන ලංකාවේ ඉන්නව දකින්න ......ඒ පාර අංකල් කිව්වා මට මේ බංගලෝ එකේ නැවතිලා වත්තේ, ඔෆිස් එකේ වැඩ කරන්න කියලා ....මොකද අංකල්ලුයි ආන්ටියි කැමති වැඩිපුර ඒගොල්ලන්ගෙ දුවලා දෙන්නා එක්ක පිටරට ජීවත් වෙන්න...... ඉතිං මගේ අම්මත් කිව්වා මෙහේ නවතින්න එන්න කියලා.... මම ආයෙත් නිවාඩුවකට මිස නවතින්න පිටරට යන්නෙ නෑ...."


"එහෙමද ඒක හොදයි ....මම ඒ ඔෆිස් එකේ වැඩ කරන නිසා, ඔයාට ඕන දෙයක් මගෙන් අහගන්න පුලුවන් ... ..මම කියලා දෙන්නම්.....මම දැන් මෙහෙට ඇවිත් ටික කාලයක් උනාට මිස්ට රණදේව මට තේ වත්තේ වැඩ, එකවුන්ට්ස් වැඩ, හැම දෙයක්ම කරන හැට්, ඉගැන්වුවා....."


"ඔව්.....අංකල් ආන්ටි මට හැම දෙයක්ම කිව්වා....ඔයා ගැනත් ගොඩක් දේවල් කිව්වා....."


ඩිල්ශාන් එක දිගට කතා කරගෙන යන්නේ හරි මිත්‍රශීලී ලෙසයි. කතාව වගේම ඔහුගෙ පෙනුමද, ගතිගුණද හොද කෙනෙක් ලෙස පෙනේ...... නැතිනම් මේ කාලේ පිටරට ඉගෙන ගත්ත ළමෙක් ආයෙත්, තමාගෙ අම්මා නිසා ලංකාවේ පදිංචියට ඒවියෑ......


"අපි ගිහින් මොනව හරි කමුද...? මට දැන් බඩගිනියි .....ඔයා හිටිය එක මටත් හොදට ගියා ....මොකද මම මේ අද පාර්ටියට ඇවිත් ඉන්න කට්ටිය කවුරුත් අදුනන්නෙ නෑ...."


"මමත් එහෙමයි...හැබැයි අර... අර පැත්තෙ ඉන්නේ අපේ ඔෆිස් එකේ අය, අපි ඒ පැත්තට යමුද..?...ඔයා අපේ ඔෆිස් එකට සදුදා ඉදන් වැඩට එනවා නම් ඒ අයත් අදුනගන්න එක හොදයිනේ ...."


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page