top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින්(ඩිලානි)♨️ නොසැලෙන දියණි (49 වෙනි කොටස)

"සුදු නෝනා.....ඩිලානි නෝනා , ඉක්මනට දොර අරින්න .....පොඩි කරදරයක් ..."


"අයිරින්...අර පෙරුමාල් නේද ඇවිල්ලා දොරට ගහන්නේ....මොකද දන්නෙ නෑ මේ රෑ.....කරදරයක් කියන්නේ...ඉක්මනට ගිහින් බලන්න ...."


"අනේ දෙවියනේ ...ජුඩ්, තෝමස් තාම ගෙදර ආවේ නෑ....ඒ ගොල්ලන්ට කරදරයක් වත්ද දන්නෙ නෑ.... මම මේ බලාගෙන හිටියේ තාම ඒ දෙන්නා ගෙදර ආවේ නැත්තේ ඇයි කියලා....ඉක්මනට දොර අරින්න රෝසී...."


"ඇයි පෙරුමාල් ...? මොකක්ද හදිස්සිය...."?


"ජුඩ් මහත්තයාගේ වෑන් එක තේ වත්තේ කන්දෙන් පල්ලෙහාට පෙරලිලා.... ගමේ මිනිස්සු ඇවිල්ලා තෝමස් මහත්තයාවයි, ජුඩ් මහත්තයාවයි, වාහනයක දාගෙන ඉස්පිරිතාලේ ගෙනිච්චා ....ලොකු නෝනා කිව්වා මට ඇවිත්, නෝනට කියන්න කියලා ...."


"අනේ....පෙරුමාල් අය්යටයි මල්ලිටයි අමාරුද...? අපට දැන් බලන්න යන්න පුලුවන්ද ....?


"නෑ නෝනා, ලොකු මහත්තයා, තේ වත්තේ අනෙක් අයත් එක්ක ඉස්පිරිතාලේට ගියා...නෝනලාට මේ රෑ ඉස්පිරිතාලේට යන්න බෑ කියලා , මහත්තයා හෙට උදේට වාහනයක් එවන්නම් කිව්වා නෝනලාට ඉස්පිරිතාලේ යන්න ...."


"අනේ පෙරුමාල් ..මට බයයි...ඒ දෙන්නට අමාරුද දන්නෙ නෑ....ඒත් මම බලාගෙන හිටියේ ඇයි අද ගෙදර එන්න පරක්කු උනේ කියලා .....අනේ මගේ තෝමස් ...ජුඩ්....." මගේ දෙනෙතින් කඳුළු ගලන්නට විය.


"අද හවස ඉදන් වැස්සනේ නෝනා, පාර ලිස්සලා වෙන්න ඇති වාහනය පෙරලෙන්න ඇත්තේ....හොද වෙලාවට තේ වත්තේ වැඩ කරන දෙන්නෙක් වාහනය වැටෙන සද්දෙට, ගිහින් බලලා තියෙන්නේ.... ඒගොල්ලෝ බංගලාවට දුවලා ඇවිත් , ලොකු මහත්තයාට කියලා ...ලොකු මහත්තයා තමයි වත්තේ වැඩ කරන අය අඬගහගෙන ගිහින්, පල්ලෙමේ තිබුන වාහනයෙන් ඒ දෙන්නව එළියට ඇරන්.... දෙන්නව ඉස්පිරිතාලේට එක්ක ගිහින් තියෙන්නේ ...."


"අනේ රෝසි ...මට බයේ බෑ ජුඩ් ,තෝමස් ගැන ...අපි දැන් මොකද කරන්නේ...?

මගේ හිත බයෙන් දුකෙන් ගැහේ....මේ රෑ කොහොමද අපි ඒගොල්ලෝ බලන්න ඉස්පිරිතාලේට යන්නේ....ගියත් රෑට ලෙඩ්ඩු බලන්න දෙන්නේ නෑනේ.....අනේ දෙවියනේ මගේ අය්යට මල්ලිට මුකුත් කරදරයක් නම් වෙන්න එපා....මම හිතින් දෙවියන් යැද්දෙමි.


"අපි හෙට උදේම ඉස්පිරිතාලේට ගිහින් බලමු...අනේ පව් ඒ දෙන්නා..." රෝසිද දුක් වෙයි.


පසු දිනට එළි වෙනකම් ඉවසුමක් නැතුව සිටි රෝසි හා මම උදේ පාන්දර නැගිට ගත්තේ ඉස්පිරිතාලේට අපව රැගෙන යන්න වාහනයක් එනවයි කිව් නිසයි.....


"මට නම් ඊයේ රෑ නින්ද ගියේ නෑ...බයේ ...කොහොමද දන්නෙ නෑ ජුඩ්ටයි, තෝමස්ටයි.....පව්... ඊයේ රෑ මම ඒ දෙන්නට බෙදපු කෑම තාම මේසෙ උඩ....ඊයේ රෑ කන්න කෑම ලැබුනද දන්නෙ නෑ....."


"අයිරින්...අපි ඒගොල්ලන්ට ඇදුම් මොනව හරි ගෙනියන්න ඕනේ නේද...? මම උදේම නැගිටලා ඉව්වා ඒගොල්ලන්ට ගෙනියන්න කෑම ට්කක්.... කෑම ටික ඔතාගන්න රෝසි, වාහනය එන්න ඉස්සර "


"අයිරින් තේ වත්තේ වහනය ඈතින් එනව ඇහෙනවා....ඉක්මනට එන්න...."


අපව ඉස්පිරිතාලේට රැගෙන යන්න ආව වාහනයට අප දෙදෙනා නැග ගත්තේ නොවිසිල්ලෙන්...අය්යට මල්ලිට මොනවා හෝ ලොකු කරදරයක් වෙන්න එපා කියමින්, මම ඊයේ රෑ එලිවෙන්කම් ඔරසම් කිව්වෙ දුකෙන් බයෙන්..... වාහනයෙන් ඉස්පිරිතාලේ බලා යනකම් මම එලෙසම දෙවියන්ට කියමින් ඔවුන් වෙනුවෙන් දෙවියන් යැද්දෙමි. ...අනේ ග්‍රැනී.. මමී ....,කොහේ හරි ඉදන් අපේ දිහා බලන් ඉන්නවා නම් ඒ දෙන්නව අපට ආරක්ශා කරලා දෙන්න...."


ඉස්පිරිතාලේ උදේ ලෙඩුන් බලන වෙලාවට, එහි ඇතුලට ගොස් ,ජුඩ් හා තෝමස් ඉන්නා වාට්ටු අංක බලමින් මාත් රෝසිත් දිව ගියෙමු.


"ආ...අර ඇදේ ඉන්නේ තෝමස් නේද...අනේ එයාගෙ අත බැන්ඩේජ් කරලා....යමු ....රෝසි ඉක්මනට යමු...."


"අනේ තෝමස් ඔය දෙන්නට මොනවද උනේ....අපිට ඊයෙ රෑ ඔයදෙන්නව ඉස්පිරිතාලේට ගෙනාවා කියලා ආරංචි උනා....ඒත් රෑ ඉස්පිරිතාලේට ආවට ඔයගොල්ලන්ව බලන්න දෙන්නෙ නැති නිසා, අපි එළිවෙනකම් බලන් ඉදලා මේ වත්තේ වාහනයක ආවේ...කෝ ජුඩ්...එයාට අමාරුද..."?


"ඔව්, අයිරින් ....එයාට ටිකක් අමාරුයි , එයාගෙ කකුලට තමයි ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ ....එයාගෙ කකුලේ පොඩි ඔපරේෂන් එකකට ඊයෙ රෑම ඇතුලට ගත්තා....තාම වෝඩ් එකට ගෙනාවෙ නෑ.......මට නම් ලොකු අමාරුවක් නෑ......මට අද හවස හරි හෙට උදේ හරි ගෙදර යන්න පුලුවන් වෙයි....මගෙ මේ අතේ කකුලේ පොඩි තුවාල, හීරිම් විතරයි තියෙන්නේ ....."


"අපට ජුඩ්ව අද බලන්න බැරි වෙයිද...."


"කොහොමද දන්නෙ නෑ අයිරින් ..."


"අනේ දෙවියනේ අපට උන කරදරයක් ....දෙවියන්ට යාච්ඥා කරන්න රෝසි... ජුඩ්ට කරදරයක් වෙන්න එපා කියලා...." .


වාහන අනතුරෙන් පසු දිනක් ඉස්පිරිතාලේ නැවති ඉන්න සිදුවුන තෝමස්ට.... නැවත ගෙදර එන්න පුලුවන් උනත්, ජුඩ්ට තව දින දෙක තුනක් ඉස්පිරිතාලේ නවාතැන් ගන්න සිදු විය. වාසනාවකට ජුඩ්ගේ කකුල කැඩී නොතිබුනි. නමුත් ඔහුගෙ කකුලේ ලොකු තුවාලයක් සිදු වි තිබුන නිසා, එයට මැහුම් දමා තිබුනි. ඔහුට තනියම ඇවිද ගන්නට බැරිය.


"රණදේව සර් ඉස්පිරිතාලේට ඇවිත් ලොකු දොස්තර මහත්තයා හම්බ වෙලා කතා කරපු නිසා,තමයි අපට ඉස්පිරිතාලේදී මෙච්චර සැලකුම් ලැබුනෙ....සර්ට ඒ ගැන ස්තුති කරන්න අයිරින් ..."


"ඔව්....ඔයාට දැන් ටිකක් හොද නිසා හොදයි....ජුඩ්ව තමයි අපට දැන් පරිස්සම් කරගන්න වෙන්නේ.....එයාට දැන්ම බැරි වෙයි නේද රස්සාවට යන්න..."


"ජුඩ්ගෙ වාහනයට ගොඩක් ඩැමේජ් වෙලා කියලා ,ඔෆිස් එකෙන් කිව්වා....දැන් ඒක හදාගන්නත් වෙයි...."


"රණදේව සර් ඒ ගැන බලනවා කිව්වේ...."


"අපි නිසා ,ඒ මිනිස්සුන්ටත් කරදරේ...."


වාහනය තේ වත්තේ පල්ලමකට පෙරළි ගොස් තිබුනත්, තෝමස්ට හා ජූඩ්ට ලොකු අමාරුවක් සිදුවි නොතිබීම ගැන මම දෙවියන්ට පිං දුන්නෙමි .


අනතුරෙන් දින පහකට

පසු, ජුඩ්ට කිහිළි කරු දෙකකින් ගෙදර එන්නට හැකි විය. ඒ ගැන මට තිබුනේ සතුටකි. මම නොනවත්වා දෙවියන්ට යාච්ඥා කරමින් පිං දුන්නේ, මගේ සහෝදරයන් බේරා දීම වෙනුවෙන් .....


කාර්‍යාලයේ නත්තල් පාටියට යන්නට ඇත්තේ තව දිනකී....පහුගිය දින ටිකේ මට රැකියාව සඳහා යන්නටද බැරි විය. ඒ උදේ හවස ජුඩ් බැලීමට ඉස්පිරිතාලේ යන්න සිදු උන නිසත්, අතේ අසනීපෙන් සිටින තෝමස් බලා ගන්නට සිදුවුන නිසත්...


ලිලානී මැඩම් කල ආරාධනාව පිළිගෙන නත්තල් පාටියට යන්න ආසාව.... උඩ හිතින් කෙසේ වෙතත් ,යටි හිතේ නම් කැමැත්තක් ඇති ගානයි. ....මට පාර්ටි වලට ගොස් පුරුද්දක් නැත. ඉස්සර ග්‍රැනී, පප්පා ඉන්න කාලේ නම් , අපේ ගේදර කොයි වෙලේ බැලුවත් පාර්ටි දාගෙන හිටපු කාලයක් තිබුනි. ඒ කාලයේ නම් අපි පාර්ටි වලට කැමති උනත්, දැන් මිනිස්සුන්ට මුහුන දෙන්නට ඇති අකමැත්ත වගේම පාර්ටි වලට අදින්න හොද ඇදුම් නැති නිසා ඒවාට යන්න කැමැත්තක් මට නැත. ඒ නිසාදෝ මන්දා, ලිලානී මැඩම් මටත් රෝසිටත් පාර්ටියට අදින ගවුම් දෙකක් තෑගි දුන්නෙ,.....අපේ අසරණ කම දැකලාදෝ....? අපිත් පාර්ටියට හොදින් එනවා දැකීමට ඇය කැමති නිසා වෙන්නට ඇති......


"අයිරින් හෙට නේද ඔෆිස් එකේ නත්තල් පාටිය....ඔයා ඒකට යනවද...?


"මැඩම් කිව්ව නිසා නොගිහින් බෑ නේද..?...දැන් තෝමස්ට කොහොමද ....?


"මගේ අතේ කකුලේ තුවාල වලට බෙහෙත් දාලා තියෙන නිසා, මට හෙමිහිට යන්න පුලුවන් ....මැඩම් උත්සවයට එන්න කියලා ගෙදරටම ඇවිත් කියපු නිසා නොයා හොද නෑනේ ...."

"අපි තුන් දෙනාට නම් යන්න පුලුවන් ....ඒත් ජුඩ් තමයි ප්‍රශ්නය ....එයාට ඉතිං තව මාසයකින් වත් හරියට කකුල බිම තියලා ඇවිදින්න බැරි වෙයි..... වැඩට යන්නත් බැරි වෙයි...පාටියට නම් කොහෙත්ම යන්න බෑනේ මේ විදිහට ......"


" එහෙනම් අයිරින් අපි තුන් දෙනා විතරක් පාටියට ගිහින් එමු නේද....හරි නෑනේ මැඩම් කිව්වා නිසා...."


"අනේ අයිරින් ....මට නම් බෑ මැඩම්ලගෙ බංගලාවේ පාර්ටි එකට යන්න....මට ඔය ලොකු මිනිස්සු අතරේ ගැවසිලා පුරුදු නෑ...." රෝසි එක හෙලාම පාටියට යන්න ඇගේ අකමැත්ත පල කලාය.


"ඔව් අයිරින් මටත් දැන් යන්න බෑනේ ...ඒ නිසා එහෙනම් ඔය‍යි තෝමසුයි දෙන්නා පාටියට ගිහින් එන්න...... ඕවායේ ගිහින් ලොකු මිනිස්සු එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න මම දන්නෙ නැති නිසා, මම කොහොමත් ඔය පාටියට යන්න නෙමේ හිටියේ......ඒ හින්දා මට මේ කකුලේ අමාරුව පිටින් දාලා යන්න බැරි එක ගැන සතුටුයි......."


"මැඩ්ම් නම් අපි ඔක්කොටම එන්න කිව්වා..."


" දැන් ජුඩ්ට ඇවිදින්න බැරි නිසා, එහෙනම් අපි දෙන්නා විතරක් යමුද අයිරින් .......? එන්න කිව්වට අපි එහේ ගිහින්, ආපහු ඉක්මනට ගෙදර එමු...."


තෝමස්ගේද පාර්ටියට යන්න එතරම් කැමැත්තක් නැති ගානයි. නමුත් ඔහු මැඩම්ගෙ ආරාධනාව අහක දාන්න බැරි කමට යන්නට ලෑස්ති වි ඇත .


"එහෙමවත් කරමු තෝමස්.... ඔයාට හොද ඇදුමක් තියෙනවද සෙනසුරාදාට අදින්න....?


"මට ටවුමෙන් ටයි එකක් සල්ලි වලට ගෙනත් දෙන්න අයිරින් ......කලිසම් ශර්ට් නම් තියෙන එකක් ඇදගෙන එන්නම්...."


ඔෆිස් එකේ හැමෝම සෙනසුරාදා නත්තල් පාටියට, ලොකු සර්ගෙ බංගලාවට යන්න ලෑස්ති වෙන්නේ ආසාවෙනි..... මීට පෙර කාර්‍යාලයේ පාර්ටි වලට ගිහින් පුරුදු නීලාමනීගෙන්, මම පාර්ටි එකට යන්න උපදෙස් ගත යුතුයැයි සිතාගත්තෙමි.


" ෆැක්ටෙරි එකේ හැමෝටම පාර්ටි එක කියලා නෑ.....ඔෆිස් එකේ අයව විතරයි බංගලාවට ලොකු මැඩම් ගෙන්න ගන්නේ....ඔන්න ඔෆිස් එකේ හැමෝම හෙට නත්තල් පාටියට යන්න ලෑස්ති වෙනවා, අලුත් ඇදුම් එහෙම ඇරගෙන .....අලුතින් ආව ඔයගොල්ලන්ට පාර්ටි එක කිව්ව එකත් ලොකු දෙයක් .... රණදේව සර්ගෙ හිතේ නම් මොනව හරි තියෙනවා ඔයා ගැන.... දැන් කොහොමද ඔයාගෙ බ්‍ර්දර්ස්ලාට සනීපද....?අනූ නමයෙන් ඒගොල්ලෝ ඔය විදිහට බේරුනේ....හැමෝම ඒ ගැන කතා උනා පහුගිය දවස් වල, ලොකු සර් ඔයගොල්ලන්ට ඕනෑවටත් වඩා, ගොඩක් උදව් කරනවා කියලා වත්තේ අය කතා වෙනවා...."


" දැන් අය්යට සනීපයි.....මල්ලිට තමයි තාම කකුල අමාරු....ඇත්තටම මිස්ට රණදේව ඒ වෙලාවේ අපිට ගොඩක් උදව් කලා තමයි නීලාමනී....ලොකු මැඩම් අපේ මමීලා ග්‍රැනීලා අදුනනවා...මැඩම් පොඩිකාලේ පදිංචි වෙලා ඉදලා තියෙන්නේ වෙන්නප්පුවේ අපේ ගෙවල් කිට්ටුව ....ඒකයි මේ වෙනස...."


"ආ....ඒකද...ඒ නිසා වෙන්න ඇති....නැත්නම් ඔය තරම් ඔයගොල්ලන්ට සලන්න විදිහක් නෑ....දැන් ඔයා හෙට පාර්ටියට එනවානේ..... මොකක්ද ඔයා පාර්ටි එකට අදින්නේ...?


"මැඩම් රට ඉදලා එනකොට මටයි නංගිටයි ලස්සන ගවුම් දෙකක් තෑගි දීලා තිබුනානේ...එයින් ඒකක් අදිනවා..... අලුතින් ගවුම් ගන්න එක අපරාදේ.... ඒකට දාන්න ආභරණ මොනව හරි ටවුමෙන් ගන්න ඕනේ...ඔයා එනවද මාත් එක්ක ටවුමට යන්න.. ...පාර්ටියට යන්න අකමැති උනත් ,මැඩම් එන්න කිව්ව හින්දා යන්න එපෑ....."


" වැඩ ඇරිලා අපි යමු.....මටත් පාර්ටි එකට යන්න සෙරෙප්පු දෙකක් ගන්න ඕනේ....ඔයත් පාර්ටි එකට එන එක හොදයි ...එතකොට මට පාළු නෑ....."


පොඩිකාලේ ගියාට පසු, මතක ඇති කාලෙක නොගිහින් තිබුන පාර්ටියකට, යන්න මම හිත උඩින් අකමැත්ත පෙන්නුවත්.... හිත යටින් එයට යන්න , ආසාවෙන් ඉන්න බව මට තේරුම් ගොස් තිබුනි.....මම නීලාමනී එක්ක ටවුමට ගොස් පාටියට යන්න අඩුපාඩු බඩු ගත්තේ බොහෝම කැමැත්තෙන් ....


"මට ආසයි මැඩම්ලගෙ අලුත් බංගලාව බලන්න යන්න නම්......ඒ උනාට පාර්ටි එකට එන මිනිසුන්ට මම මුහුණ දෙන්න කැමති නෑ....ඒකයි මම පාර්ටි එකට යන්න එන්නැත්තේ ......"


සෙනසුරාදා හවස ඉදන් මම උත්සවයට යන්න ලෑස්ති වෙද්දී ......මගේ ඇදුම් පැළඳුම් අත ගගා රෝසි මගේ වටේ කැරකෙයි......ළමා මඩමෙන් ආවාට පසුත්, තාමත් රෝසි බයෙන් සැකෙන්, ලැජ්ජාවෙන් පසුවන ගානයි. තාමත් ඇය මිනිසුන්ට කෙළින් මුහුණ දී කතා කරන්න කැමති නැත.... ඇය හීනමානයකින්, බයෙන්, සැකෙන් පෙළෙන බව පෙනේ....


"අපි දවසක පෙරුමාල් එක්ක අලුත් බංගලාව බලලා එන්න යමු රෝසි...."

මට ඇය ගැන දුක හිතේ...ඇය ළමා මඩමක අවුරුදු ගානක් ජීවත් උන නිසා ඇයට සාමාන්‍ය මිනිසුන් සමග එකට එකතු වී සාමාන්‍ය විදිහට ගත කරන, ජීවිතය ගැන ඒ හැටි දැනීමක් නැත....ඇයගේ කුළෑටි කම නිසා මම තවමත් ඇයට රැකියාවක් කරන්න ඉඩ නොදී, මගේ යටතේ ඇය තියාන ඉන්නේ එබැවිනි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

3 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page