top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ඩිලානි ♨️

නොසැලෙන දියණි

(67 වෙනි කොටස )

💥අද අවසාන කොටස 💥

නුවරඑළියේ මහ හෝටලය අවට මුළු පරිසරයම,.... මෙතකැයි කියා කියන්න බැරි තරම් සුන්දර දසුන් පිරි, නිදහස් කඳු බිම් , සුදු පුළුන් වන් මීදුම් වළාවන් ගෙන් වැසි ගොස් ඇත.....මහ හෝටලය අවට ඇති, අවුරුදු සිය ගානක් පැරැණි මහ විශාල සයිප්‍රස් ගස්, කිසි හැල හොල්මනක් නැතුව සීරුවෙන් හිදින්නේ,නිශ්ශංක අංකල්ගෙ, අවුරුදු විසි හතරක් පුරාවට දිව ගිය, අතීත පුදුම කතාව, අසා ඉවර වෙන තෙක් ඉවසුම් නැති ගානටය......ඈත අහසේ අළු පාට වළාකුළු ,දැන් දැන් මහ වැස්සක් ලඟ එන බව කියා පායි.. ...හෝටල් බිමේ ඇති ,ඇඟ හිරි වැටෙන සීතලෙන් මිදෙන්න, මහ හෝටලේ විසිත්ත කාමරය ඉතා හොදින් උනුසුම් කර ඇත....විසිත්ත කාමරය පුරා, තැන තැන තියා ඇති විශාල සුවපහසු පුටු කට්ටල වල, වාඩිවි සිටින දේශිකයන් මෙන්ම විදේශිකයන්ද, ඔවුන්ගෙ නිදහස් බව අගයමින්, බොහෝ සැහැල්ලුවෙන් උනුසුම් පානයක් තොළගාමින් ඉදින්නේ, අවට වටපිටාවේ ඉන්නන් ගැන කිසි සෙවිලක් නැතුවමය ...... අපි තුන් දෙනා මහ හෝටලේ විසිත්ත කාමරේ, ඉතා පහසු විශාල සෙටියේ වාඩිවි උනුසුම් කිරි කෝපි බොමින් කතා කරමින් හිදින්නෙමු..... .


"දැන් නම් හොදටම හවස් වෙන්නත් ආවා....මම බංගලෝ එකට යන්නත් ඕනේ...වහින්නත් වගේ....",


"ඉතිරි ටිකත් කියලම යන්න අංකල් ....අපට එතකොට අද රෑට නිදහසේ නිදාගන්න පුලුවන් ...."

"එතකොට ....දැන් කොහෙන්ද කතාව නැවත්තුවේ,.....?ආ....මම ඩිල්ශාන්ව රට එක්ක ආවට පස්සෙ, ඉදන් නේද....?


"ඔව් අංකල් හරි එතන ඉදන් තමයි ....."


" ඉතිං.... මම අන්තිමට මර්ලිට කිව්වා ,ඩිල්ශාන්ගෙ ඇත්ත අම්මා ලිලානී බවත්, ඩිල්ශාන්, ටෙරන්ස්ගෙ පුතා බවත් .....ඒ පාර මගේ අවසරය ඇතුව මර්ලි ටෙරන්ස් ගැන හොයන්න පටන් ගත්තා..... "


"ඒ කාලේ අංකල් ආයෙත් ලංකාවට ගියේ නැද්ද ...?


"ලිහිණි දුව පොඩි වැඩි නිසයි , ඔෆිස් එකේ වැඩයි එක්ක මට ලංකාවට යන්න බැරි උනා ....ඩිල්ශාන්වත් ඒ වෙනකොට මම නිව්සීලන්ඩ් ගෙන්න ගෙන එයාව ඉස්කෝලේ දාලා ,හොදින් ආදරෙන් බලා ගත්තා....හැබැයි මම ලිලානිට කිව්වෙ නෑ ඒ එයාගෙ දරුවා බව.....තමන්ට අවශ්‍ය නැති නිසා , අකාරුණික ලෙස කිරි සප්පයෙක් මඩමකට දාලා, මාව විශාල බොරුවකින් මුවා කරලා, මාව කසාද බදින්න පුලුවන් ගෑනිට....., මම මොකට ඒ ගැන කියනවාද කියලා මම හිතුවා....ලිලානීගෙන් පළි ගන්න චේතනාවක් ඒ වෙනකොට මට ඇති වෙලා තිබුනේ...මම ලිලානීට පේන්නත් එක්ක, ඕනෑවටත් වඩා ඩිල්ශාන්ට ලං උනා...ඩිල්ශාන් මගේ දරුවෙක් කියලා ලිලානිට හැඟෙන ලෙස.....මට ඩිල්ශාන් ගැන තිබුනෙ ලොකු අනුකම්පාවක් ...."


"ඉතිං ...ලිලානී ආන්ටි ඩිල්ශාන්ට වෙනස්කම් කරේ නැද්ද...?


"මොකක් හරි දේකට එහෙම උනේ නෑ.....ඉතිං මම ඩිල්ශාන්ව නිව්සීලන්ඩ් එක්ක ආවට පස්සෙ, මර්නි, ටෙරන්ස්ව හොයාගෙන තිබුනා..... කතෝලික පල්ලි හරහා, දන්න කියන අය ඔස්සෙ ගිහින් තමයි හොයාගෙන තිබුනේ....හැබැයි ඒ වෙනකොට අවුරුදු තුන හතරක් ගිහින්....."


"ඇයි එච්චර කාලයක් ...?


"ටෙරන්ස් ලංකාවේ ඉදලා නෑ....ඒ වෙනකොට එයා පදිංචි වෙලා ඉදලා තිබුනේ පිටරට ....."


"ඉතිං මර්ලි ටෙරන්ස්ට මොනවද කියලා තියෙන්නේ..."?


"එයා ටෙරන්ස්ට පහුගිය කාලේ ඔක්කොම මේ කතා කියලා....මම මගේ පුතෙක් විදිහට ඩිල්ශාන්ව හදාගන්න බවත්, එයා නිව්සීලන්ඩ් ඉන්න බවත් කියලා ..."


"ඉතිං ඊට පස්සෙ...?


"ඊට පස්සෙ එයා මට නිව්සීලන්ඩ් වලට කෝල් කලා, මර්ලි තමයි එයාට ටෙලිෆෝන් නොම්බරය දීලා තියෙන්නේ ....."


"ඉතිං එයා මොනවද අංකල්ට කිව්වේ...?


"එයා ඊට පස්සෙ නිතර නිතර මට කතා කලා, ඩිල්ශාන්ගෙ පොටෝස් ගෙන්න ගත්තා, ඩිල්ශාන්ට තෑගි බෝග එව්වා....ඒ විතරක් නෙමේ, ඩිල්ශාන්ට මතක ඇති, ඇමරිකාවේ ඉන්න අංකල් කෙනෙක් කියලා ,එයා ඩිල්ශාන් එක්කත් කතා කලා.....ඒත් අන්තිම පාරට එයා මට කතා කරලා

කිව්වා, මට ලංකාවට එන්න කියලා .....එයාට මාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා ...."


"ඉතිං අංකල් ගියාද ලංකාවට ..."


"ඔව්, ඔෆිස් එකේ නිවාඩුවක් ඇරන් මම ලංකාවට ගියා...ටෙරන්ස් මට එයාව හම්බවෙන්න එන්න කිව්වේ, නුවරඑළියේ කන්‍යාරාමයට...."


"ඉතිං...ටෙරන්ස් අංකල් මොනවද කිව්වේ....?


"එයාට ඩිල්ශාන්ව දකින්න ගොඩක් ආසයි කිව්වා....මට ගොඩක් ස්තුති කලා, ඩිල්ශාන්ව මගේ දරුවෙක් වගේ හදාගෙන , මම ඉන්න රටට ඇරන් ගිහින්, ආදරෙන් බලා ගන්නවාට....."


"එයා ලිලානී ගැන ඇහුව්වෙ නැද්ද...?


"ඇහූව්වා....පුදුමෙ කියන්නෙ, මර්ලි කියනකම් එයා නිකන් වත් දැනගෙන ඉදලා නෑ, ඒ කාලේ එයා නිසා ලිලානිට බබෙක් හම්බවෙන්න හිටපු බව.....ලිලානීයි ටෙරන්සුයි ගොඩක් ආදරෙන්, ගොඩක් හොදට ඉදලා තියෙනවා.... නිතර තනියම එහෙ මෙහෙ ගිහිනුත් තියෙනවා , ටෙරන්ස් ලිලානී එක්ක යාළුවෙලා හිටිය කාලේ....., ලිලානීගෙ අක්කා අදුනන වෙන පිරිමි ළමෙක් ලිලානීලාගෙ ගෙදර, නිතර ඇවිත් ගිහින් තියෙනවා අඳුනන කමට.......ජුලියා ලිලානිගෙ යාළුවෙක් නේ ඒ කාලේ....ඉතිං එයා ටෙරන්ස්වත් දන්න නිසා......,

ජූලියා , ටෙරන්ස්ට කියලා ලිලානීගෙ ගෙදර ආවගිය පිරිමි කෙනාගෙන් ලිලානිට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා.....

ඉතිං ටෙරන්ස් හිතල තියෙන්නේ, ජුලියා කියලා තියෙන්නේ ඇත්තම කියලා ....ලිලානී එයා එක්ක ඇත්තටම යාළුයි කියලා ටෙරන්ස් හිතලා.,.....ඒ පාර එයා, කළබලේ ලිලානීව අමතක කරලා ජූලියා කසාද බැදලා තිබුනේ ඒ කේන්තියටලු...."


"ජූලියා හැමෝගෙම ජීවිත අවුල් කරපු කෙනෙක් ....."


"ටෙරන්ස්ගෙ දැන් ඉන්න

වයිෆ්ටත් ළමයි නැති නිසා, ඒ දෙන්නා දුකෙන් ඉන්නෙ කිව්වා.....එයා ඩිල්ශාන්ව එයාගෙ රටට ගෙනියන්න කැමතියි කියලත් මට කිව්වා...."


"එතකොට කොයි කාලෙද ටෙරන්ස් අංකල් ඩිල්ශාන් ගැන හරියට දැනගත්තේ...?


"ඩිල්ශාන් අවුරුදු දහයෙදි නිව්සීලන්ඩ් අපේ ගෙදර ආවේ ...ඒ ඇවිත් අවුරුදු අටකට විතර පස්සෙ...,. මර්ලි ටෙරන්ස් ගැන අවුරුදු තුනහතරකින් හොයාගෙන තිබුනට, ටෙරන්ස් මට කතා කලේ ඊටත් අවුරුද්දකට විතර පස්සෙ....සමහර විට ටෙරන්ස් ,මර්ලිගෙ කතාව විශ්වාස කරන්න නෑ....එහෙම නැත්නම් මාත් එක්ක කතා කරන්න බය වෙන්න ඇති.....මම බනී කියලා.... කොහොමත් ටෙරන්ස් ඒ කාලේ ලංකාවේ හිටියෙ නෑනේ......ජුලියා එක්ක ප්‍රශ්න ඇවිත් ටෙරන්ස් කාටවත් නොකියා රටගිහින් හිටපු කාලේ නේ.....ඩිල්ශාන්ට අවුරුදු දහ අටක් විතර කාලේ තමයි ටෙරන්ස් ඩිල්ශාන් එයාගෙ පුතා බව හරියට තේරුම් ගෙන තිබුනේ...ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ, හිටි හැටියේ මර්ලි මට කෝල් කරලා කිව්වා,එයා දැන් නුවරඑළියේ කන්‍යාරාමයක ඉන්නෙ එහෙට මට එන්න කියලා ...ගොඩක් දේවල් කියන්න තියෙනවා කියලත් කිව්වා. ..."


"ඉතිං අංකල් ගියාද...?


"ඔව් මම ගොඩක් ආසාවෙන් ගියා, මොකද මම අවුරුදු ගානකින් මර්ලිව දැකලා තිබුනෙ නැති නිසා .....ඒත් මම කොන්වන්ට් එකට යන කොට මර්ලි හිටියෙ නෑ.....ඒ වෙනුවට, සුදු ලෝගුවක් පොරව ගත්ත, සිස්ටර් මේරි කියලා මර්ලි වගේ කෙනෙක් මාත් එක්ක කතා කලේ.... එයා මට නිශ්ශංක කියලා කතා කරාම තමයි මම අදුනගත්තේ එයා මගේ මර්ලි කියලා ...."


"ඒ කියන්නෙ එතකම් අංකල්ට සිස්ටර් මේරි හම්බවෙලා තිබුනෙ නැද්ද ...? එයා සිස්ටර් කෙනෙක් කියලා දන්නෙත් නැද්ද ...?


" නෑනේ ....මර්ලි ඩිල්ශාන් වෙනුවෙන් මට උදව් කලාට, එයා කැමති උනේම නෑ මම එයාව හම්බ වෙන්න එනවට.....ඉතිං මම දැනගෙන හිටියේ නෑ, මර්ලි ,සිස්ටර් කෙනෙක් උන බව.... එයා සිස්ටර් කෙනෙක් වෙලා තියෙන්නේ මම ලිලානී බැදලා රට ගිය අලුත..... එයා සිස්ටර් කෙනෙක් බව නොකියා තමයි මට උදව් කරලා තියෙන්නේ ......මර්ලි මම ලංකාවට ගිය වෙලේ , ටෙරන්ස්ටත් ලංකාවට එන්න කියලා තිබුනා..... මට වේලාසන කිව්වා, ටෙරන්ස්වත් හම්බවෙන්නත් එක්ක ලංකාවට එන්න කියලා.... ඉතිං අවුරුදු ගානකට මර්ලිව මම දැකලා තිබුනෙ නෑනේ.... පස්සෙ මර්ලි හම්බවෙන්න තිබුන ආසාවට, මම ලංකාවට ගි‍යා....ඒත් සිස්ටර් මේරි දැක්කහම මට හරියට දුක හිතුනා...."


"ඉතිං ඇයි සිස්ටර් මේරි අංකල්ට ලංකාවට එන්න කියලා තිබුනේ....?


"එදා නුවරඑළියේ , මන්දාරම් නුවර පල්ලියේදි, මට මර්ලි ටෙරන්ස්ව අදුන්නලා දුන්නා...ඊට ඉස්සර ටෙරන්ස් මාත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරලා තිබුනට ,හරියට ටෙරන්ස්ව මම දැක්කෙ එදා තමයි .....කොහොම හරි සිස්ටර් මේරි, ටෙරන්ස් එක්ක ටෙලිෆෝන් එකෙන් පහුගිය කාලේ කතා කරලා යාලු වෙලා තිබුන නිසා, ටෙරන්ස් තමයි සිස්ටර් මේරිට ,නුවරඑළියේ ඒගොල්ලන්ගෙ තේ වත්ත කිට්ටුව තිබුන කන්‍යාරාමයට යන්න උදව් කරලා තිබුනෙ .....දෙන්නම කැතලික් නිසා, ඒ දෙන්නා ඒවා ගැන කතා කරගෙන තියෙන බව මට තේරුනා... "


"ඉතිං..ටෙරන්ස්ට විශ්වාසයක් තිබුනද ඩිල්ශාන් එයාගෙ පුතා කියලා ....?


"ඔව්....ඒ වෙලවේ සිස්ටර් මේරි ,ඒ කියන්නෙ මර්ලි , අපි දෙන්නට ඩිල්ශාන්ගෙ ඉපදුන වෙලාවේ ඇත්ත උප්පැන්න සහතිකේ පෙන්නුවා...."


"ඒකේ මොනවද තිබුනේ....?


"ඩිල්ශාන්ගෙ තාත්තා ටෙරන්ස් ජෑන්ස් කියලා තිබුනා...අම්මා ලිලානි ජයනෙත්ති කියලා තිබුනා..... ඒක දැකලා ටෙරන්ස්ට ඇඩෙන්න ආවා...."


"ඒ කියන්නේ, ටෙරන්ස් අංකල් ,ඩිල්ශාන් එයාගෙම පුතා කියලා අඳුන ගත්තා..."


"ඔව්.....ඊට පස්සෙ ටෙරන්ස් මාව ඒගොල්ලන්ගෙ නුවරඑළියේ තේ වත්තට එක්ක ගෙන ගියා....දැන් ඔය ඩිලානිලා නැවතිලා ඉන්න ගෙදරට ...."


"ඉතිං...ඊට පස්සෙ..."?


"ටෙරන්ස් කිව්වා, එයාට ලංකාවේ තියෙන කිසිම දෙයක් දැන් වැඩක් නෑ...එයාගෙ දේපළ දෙන්න කිසි කෙනෙක් එයාට නෑ...., ඒ නිසා, එයා හැම දෙයක්ම පල්ලියට ලියලා දීලා ඇමරිකාවටම වෙලා ඉන්නයි ආසාව කියලා ...."


"ඉතිං ඊට පස්සෙ....?


"එයා කිව්වා, එයාට තියෙන ඔක්කොම දේපළ , තේ වත්ත ඩිල්ශාන්ගෙ නමට ලියනවා, එයාට ඇවිත් ඒවා භාර ගන්න කියන්න කියලා ...."


"මම කිව්වා, ඩිල්ශාන් තාම පිටරට යුනිවර්සිටි එකක ඉගෙන ගන්නවා, ඒ නිසා ලංකාවට ඇවිත් ඉන්න කැමති වෙන එකක් නෑ කියලා......ඒ පාර එයා කිව්වා ...ඩිල්ශාන්

ඉගෙන ගෙන ඉවර වෙනකම් මේ තේ වත්ත භාර ගෙන මට කරන්න කියලා ...."


"ඉතිං අංකල් කැමති උනාද...?


"අකැමති වෙන්න දෙයක් තිබුනෙ නෑ....ඒක එහෙමම වෙන්න ඕනේ කියලා ,.... ටෙරන්ස් ඊට දවස් දෙකකට විතර පස්සෙ ගොඩක් ප්‍රසිද්ධ "ලෝයර් ඉන්දු වනසේකර" ගාවා ඩිල්ශාන් නමට, ඔක්කොම ඔප්පු ටික ලියලා දාලා ඒවා මට දුන්නා ඩිල්ශාන්ට දෙන්න කියලා . ..."

"ඉතිං, අංකල් ඒක ඩිල්ශාන්ට කිව්වෙ නැද්ද...?


"එතකොට, ඩිල්ශාන් යුනිවර්සිටි ගිය මුල් කාලේ, මම එයාට ඒවා කිව්වෙ නෑ...."


"එතකොට තේ වත්ත....?


"ටෙරන්ස් ඒවා ඔක්කොම ඩිල්ශාන්ගෙ නමට ලියලා, මට භාරගෙන කරන්න කිව්වනේ, ඩිල්ශාන් ඉගෙන ගෙන ඉවර වෙලා එනකම්...."


"ඉතිං අංකල් ඕවා ලිලානී ආන්ටිට කිව්වද....?


" ටිකක් ඉන්නකෝ....එදා,ටෙරන්ස් ඔප්පු ඔක්කොම මට භාර දීලා, එයාගෙ තේ වත්තේ ඔෆිස් එකට මාව එක්ක ගිහින්, එහෙ අයට මාව අදුනලා දුන්නා, මේ තේ වතු ඔක්කොම මම සල්ලි දීලා ඇරගත්ත විදිහට ....., මිස්ට රණදේව එක්ක මීට පස්සෙ ඔයගොල්ලෝ ඔක්කොම වැඩ කරන්න කියලා ,එයාගෙ ස්ටාෆ් එකේ අයට කිව්වා......"


"ඉතිං අංකල් ,ලිලානී ආන්ටිට ඒ ගැන කිව්වද....?


"මට තේ වත්ත, බංගලාව ඔක්කොම භාර දීලා, ටෙරන්ස් දවස් දෙකකට පස්සෙ ආයෙත් රට ගියානේ....හැබැයි යන්න ඉස්සර කිව්වා, එයාට ඩිල්ශාන් කසාද බදින දවසක වෙඩින් එක කියන්න කියල.... ඒ වගේම එයාට තේ වත්ත භාර දෙන්නත් කියලා ....එතකම් හොයලා බලලා මට තේ වත්ත කරගෙන යන්න කියලා ...."


"කොයි තරම් හොද කෙනෙක්ද ටෙරන්ස් අංකල් ...නෑ...නෑ ටෙරන්ස් ඩැඩි...."


"ඉතිං ලිලානී ආන්ටි ඕවා දැනගත්තද....?


"මම ඒ කාලේ නිව්සීලන්ඩ් වල ඔෆිස් එකක වැඩ කරනවානේ....ලිලානිත් එහෙමයි......මම ටෙරන්ස් ආයෙත් රට ගියාට පස්සෙ, ලංකාවේ ඉදන් ,ලිලානිට කෝල් කරලා කිව්වා, හදිස්සියක් පුලුවන් ඉක්මනට ලංකාවට එන්න කියලා ....."


"ඉතිං ආන්ටි ආවද..?


"ඔව්...ලිලානී ,ලිහිණි එක්කම කළබලේ ලංකාවට ආවා..."


"ඒගොල්ලො ලංකාවට ආව දවසට පස්සෙන්දා, මම ඒ දෙන්නත් එක්ක නුවරඑළියේ බංගලාවට ගියා...දැන් ඩිලානිලා ඉන්න ගෙදර .... "


"ඉතිං...ඉතිං ...?


"එක්ක ගිහින්, ඩිල්ශාන්ව මම හොයා ගත්ත විදිහෙ ඉදන් , ටෙරන්ස් ඩිල්ශාන්ට නුවරඑළියේ තේ වත්ත ලියලා දුන්න දවස වෙනකම් මුළු කතාවම එයාට කිව්වා, එදා තමයි මම ලිලානිට කිව්වෙ, ඩිල්ශාන් එයාගෙ පුතා බව......එයා හරියට ඇඩුවා ඒක අහලා,..... මට වැන්දා, ඩිල්ශාන්ව හොයාගෙන , රට ගෙනත්, මගේ ළමයෙක් වගේ බලා ගත්තට...."


"ඒත් එතකොට සිස්ටර් මේරි කොහොමද නුවරඑළියට ගියේ....


" ඔය....ඩිලානි මුළින්ම ඇවිත් නැවතිලා හිටිය තේ වත්තෙ පල්ලිය මිස්ට ටෙරන්ස්ලාගෙ අම්මලා තාත්තලා පවා නිතර ගිය පල්ලියක්ලු.....ඒ පල්ලියට යන්න කියලා සිස්ටර් මේරිට කියලා තියෙන්නේ ටෙරන්ස් ....සිස්ටර් මේරි මීගමුවේ කොන්වන්ට් එකේ ඉදලා නුවරඑළි ගිහින් තියෙන්නේ ඒ නිසා.... සිස්ටර් මේරි නිසා තමයි අපට ඩිල්ශාන්ව හොයාගන්න පුලුවන් උනේ....නැත්නම් ඩිල්ශාන් මඩමේම හැදිලා, මේ වෙනකොට කොහේ ඉන්නවාද කියලා අපට හොයාගන්න බැරි වෙනවා...."


"ලිලානි ආන්ටි , ටෙරන්ස් අංකල්ගෙ තේ වත්ත, නිශ්ශංක අංකල් භාර ගත්තට කැමති උනාද...?


"ඔව්...හොදටම කැමති උනා....ලිලානී කිව්වා ඩිල්ශාන් ඉගෙන ගෙන ඉවර උනාම ලංකාවට ඇවිත් එයාට තේවත්තේ වැඩ ඉගෙන ගන්න කියමු, එතකම් එයා ඩිල්ශාන්ගෙ අම්මා බව ඩිල්ශාන්ට කියන්න එපා කියලා ....ඊට පස්සෙ ඒ සුමානෙම, ලිලානී දුව එක්ක ආපහු රට ගියා....මම ලංකාවේ නැවතිලා , තේ වත්ත භාරගෙන ඒකෙ වැඩ පටන් ගත්තා...."


"එතකොට, සිස්ටර් මේරිට සනීප නෑ කියලා ,අංකල් දැනගත්තේ කොයි කාලෙද...?


"ඒ ආව පාර තමයි මට මදර් තෙරේසා කිව්වෙ,.... සිස්ටර් මේරිට කැන්සර් එකක් තියෙනවා , එයා ඔය හොදට පේන්න හිටියට, එයා දැන් ගොඩක් අමාරුවෙන් ඉන්නෙ කියලා ....ඒක ඇහුව්වාම මට හරියට දුක හිතුනා...ඒත් මට කරන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නෑ....."


"එතකොට සිස්ටර් මේරි නැති වෙනකොට, අංකල් ලංකාවේද හිටියේ...?


"ඒක තමයි මට දුක, මම කළබලේ ලංකාවට ඇවිත්, ටෙරන්ස්ගෙ තේ වත්ත භාරගෙන වැඩ කරන්න ගත්තට, මට නිව්සීලන්ඩ් වල, මගේ ඔෆිස් එකට මම ඒකෙන් අස්වෙන බව දැනුම් දෙන්න, තව ගොඩක් වැඩ ඉවර කරගන්න තිබුනා. මම මාස දෙකක් ලංකාවේ ඉදලා, තේ වත්තේ වැඩ පිලිවෙලක් කරලා රට ගියා. මම ඒ ගිය වෙලේ තමයි සිස්ටර් මේරි ආන්ත්‍ර වෙලා තිබුනේ...."


"ඉතිං අංකල් මරණෙට ආවද...?


"නෑ....තේරුමක් නෑනේ කළබලේ එන එක....ඊට පස්සෙ මම නිව්සීලන්ඩ් රස්සාවෙන් අස්වෙලා, දිගටම තේ වත්තෙ වැඩයි, අනෙක් තේ වත්ත සම්බන්ධ ව්‍යාපාර කටයුතුයි එහෙමයි පටන් ගත්තේ...."


"එතකොට, අර මම බදුල්ලේ බාලිකා නිවාසයෙන් පැනලා එනකොට, ටෙරන්ස් අංකල් කොහොමද බදුල්ලේ බාලිකා නිවාසයට ඇවිත් හිටියේ...."


"ඒක පුදුම කතාවක් කියන්නෙ...., ටෙරන්ස් දැනගෙන ,සිස්ටර් මේරි ආන්ත්‍ර උන එක ගැන , එයා ඒ නිසා ලංකාවට ආපු වෙලේ,..... එයාගෙ කොළඹ යාළුවෙක්ට කියලා ,එයාට බදුල්ලේ බාලිකා නිවාසය බලන්න යන්න ආසයි කියලා ....මොකද ඩිල්ශාන් පොඩි කාලේ හිටිය තැන නිසා, ඒ පාර ඒ යාළුවා, එයා අදුනන වෙන යාලුවො දෙන්නෙක්ව ටෙරන්ස්ට අඳුනලා දීලා, බාලිකා නිවාසයට යවලා.... ඒ ගිය දවසෙ තමයි ,ඩිලානිට බාලිකා නිවාසයෙන් පැනලා යන්න කියලා ටෙරන්ස් කියලා තියෙන්නේ ......ඒ වගේම කොල්ලා කාලේ ටෙරන්ස්ගෙ තිබුන ඔක්කොම නරක ගතිගුණ දැන් එයා අත ඇරලා, එයා දැන් ගොඩක් හොද කෙනෙක් වෙලා, වයිෆ් එක්ක නිදහසේ ඇමරිකාවට වෙලා ඉන්නවා.... "

"නිශ්ශංක අංකල් උනත් ගොඩක් හොද කෙනෙක් නිසා තමයි මේ හැම දේම අංකල්ට ලැබුනේ..."


"ඒක තමයි කියන්නේ...අපි හොද විදිහට, සාදාරණව, අනෙක් අයටත් උදව් කරගෙන, හොර බොරු නැතුව ජීවත් වෙනවා නම් උඩ ඉන්න දෙවියොත් අපට උදව් කරනවා කියන්නේ...."


"ඔව්....ඒ කතාව ඇත්ත, අංකල් හැමදාම හොද දේවල් කරපු කෙනෙක් , ඩිල්ශාන්ගෙ ජීවිතය බේරලා, එයාට හොද අනාගතයක් උදාකරපු නිසා තමයි අංකල්ට මේ හැම දෙයක්ම ලැබුනේ....අනේ සිස්ටර් මේරි අපට කොයිතරම් උදව් කරපු කෙනෙක්ද...මට නම් දුකේ බෑ එයා නැති වෙන්න ඉස්සර එක පාරක් මට එයාව හම්බවෙන්න බැරි උනානෙ... ...."


"ඔව් මටත් ඒ ගැන හරි දුකයි.....ලිලානී ආන්ටිට වඩා සිස්ටර් මේරිට තමයි මම කවදත් ආදරෙ කලේ......එයා මගෙ අම්මා කියලා මම පොඩිකාලේ හිතාගෙන හිටියෙ....මට මතක ඇති කාලේ මට ආදරෙන් බත් කටක් කැව්වනම්, මාව උකුලේ තියාගෙන මගේ ඔළුව අත ගෑවා නම්, ඒ සිස්ටර් මේරි විතරයි, එයා මගේ අම්මා කියලමයි මට ඒ කාලේ හිතුනේ, .... ඉස්සරහ කාලෙත් එහෙමම තමයි ....සිස්ටර් මේරි තමයි මගේ අම්මා....., ලිලානී ආන්ටිට මම, මගේ ආන්ටි විදිහට තමයි ඉස්සරහ කාලෙත් සලකන්නේ.....මගේ තාත්තා නිශ්ශංක අංකල් කියලා ඒ කාලේ ඉදන් මම හිතන් හිටියේ....මම දැන් ඉස්සරටත් වඩා නිශ්ශංක අංකල්ට ආදරෙයි....නිශ්ශංක අංකල් නැත්නම් මම අද කොහේ ඉදීද කියලා මට හිතාගන්න බෑ...."


ඩිල්ශාන් එයාගෙ අත් දෙකින්ම නිශ්ශංක අංකල්ගෙ අත අල්ලා ගත්තේය.


"ඩිලානි අර....ටෙරන්ස් අංකල් ඇවිත්...අර දොර ගාව, ගිහින් මෙහෙට අඬ ගහගෙන එන්න...."


"ඉන්න මම එක්ක එන්නම්....මම දැනගෙන හිටියෙ නෑ ටෙරන්ස් අංකල් දැන් මෙහෙට එයි කියලා ....එතකොට ලිලානී ආන්ටිත් දැන් මෙහෙට එනවද...?


"ඔව් ඩිලානි ....ලිලානීත් අද හොටෙල් එකෙන් ඩිනර් ගන්න එනවා කිව්වා, යන්න ...ටෙරන්ස් අංකල් එක්ක එන්න...."


මම ටෙරන්ස් අංකල් ඉන්න දිහාවට ගිය විට, ඔහු මා දැක ගොඩක් සතුටින් , ආදරෙන් මගේ මුණ සිප ගත්තේය..... ටෙරන්ස් අංකල් රත්තරං පාට ලස්සනට ඔතපු පුංචි පෙට්ට් දෙකක් ගෙනවිත් එකක් මගේ අතේද තිබ්බේය.


"කොහොමද අයිරින් ....? මම කැමති ඔයාගෙ ඩිලානි නමට වඩා, අයිරින් නමට....ඔයා මේ ලංකාවට නෙමේ ඇමරිකාවටයි ගැලපෙන්නේ..."


ඔහු සිනා සෙමින් එසේ, කියා ඔහු අතේ තිබුන පුංචි දිලිසෙන පෙට්ටියක් මගේ අතේ තැබුවේය.


"හායි....රෝවන් කොහෝමද...?


"හොදයි ඩැඩි...." ඩිල්ශාන් හෙමිහිට කීය .


ඔහු ඩිල්ශාන් ඉන්න තැනට ගොස්, ඔහුව ආදරෙන් සිප ගෙන, ඔහුගෙ අතින් අල්ලගෙන ඩිල්ශාන් ලඟින්ම වාඩි විය..... මම ඩිල්ශාන් දිහාත්, ටෙරන්ස් අංකල් දිහාත්, මාරුවෙන් මාරුවට බලමින් ඔවුන් දෙදෙනාගෙ මුණෙ හැඩ රුව සම කරන්නට හැදුවෙමි.


"ලිලානිත් තව ටිකකින් එයි....එතකොට අපි ඩිනර් ගමු...."


"එළියෙ හොදටම වහිනවා.....පාරේ එන්න බැරි තරමට මීදුම වැටිලා...."


"දැන් කවද්ද ටෙරන්ස් ඇමරිකා යන්නේ...?


" මේ පාර සුමාන දෙකක් විතර ඉන්න බලාගෙන මම ආවේ ....මට ආසයි ඒ දවස් ටිකේ ඩිල්ශානුයි, ඩිලානියි එක්ක ඉන්න...."


"එහෙනම් තුන් දෙනා එක්ක ලංකාව වටේ රවුමක් ගිහින් එන්න....මේ දෙන්නගෙ හනිමූන් එකටත් එක්ක කොහේ හරි යන්න ඕනේ කිය කිය හිටියේ...."


"සන්" ඔයා ඉස්සරහ කාලේ මොනවද කරන්න කැමති ....?


"මම කැමතියි , ඩිලානිත් එක්ක ඩැඩි ඉන්න ඇමරිකාවට යන්න ..."


"කිසි ප්‍රශ්නයක් නෑ, "සන්, ඕන වෙලාවක ඔයාගෙ මණමාලිත් එක්ක එහෙ එන්න....මම එහෙ හැම දෙයක්ම ඔය දෙන්නට ලෑස්ති කරලා තියන්නම්.....එතකොට තේ වත්ත....?


"ඒක නිශ්ශංක අංකල් කරගෙන ගියාවේ....මම කැමතියි ,මම ඉගෙන ගත්ත දෙයකින් රස්සාවක් කරගෙන ඩිලානි එක්ක නිදහසේ ඉන්න...."


"ඒක හොදයි "සන්" ...ඔයා හොදටම කකුල සනීප වෙලා දෙන්නත් එක්ක ඇමරිකා එන්න....එතකම් තේ වත්තේ බංගලාවෙ මේ දවස්වල ඉන්න...."


"ඩිලානි අන්න ලිලානී ආන්ටි ඇවිත්....ගිහින් අඬගහගෙන එන්න....."


ලිලානී ආන්ට් ඇවිත් තිබුනේ තද රතු රෝස මල් පොකුරක් අතේ ඇතුවයි....ඇගේ මුහුනේ ඇත්තේ බය, සැක පිරුනු කුතුහලයක් බව ,බැලු බැල්මට පෙනේ..... ලිලානී ආන්ට් රෝස මල් පොකුර ඩිල්ශාන් අතේ තබා ආදරෙන් ඩිල්ශාන්ගෙ මුහුණ සිප ගත්තේය. ඩිල්ශාන් කිසි වෙනස්කමක් නැතුව මල් පොකුර අතට ගෙන.....


"හායි ...ලිලානී ආන්ටි "

කිවේ කිසි වෙනසක් නැතුවමය.

💥අයිරින් නවකතාව අදින් සමාප්ත වෙයි...💥


මාස තුනකට කිට්ටු කාලයක් මගේ අයිරින් නවකතාව කියවමින් ,එයට කැමත්ත පළ කරමින් හා අදහස් දක්වමින්, මා සමග දිගටම සිටි මගේ ආදර පාඨක ඔබ සැමට බොහෝමත් ස්තුතියි !!.❤️💕❤️💕

මගේ "අයිරින් නවකතාව" එකදිගට රස විදි ඔබ සැමගෙන්, ඒ ගැන වචනයක, දෙකක අදහසක් දැනගන්න මම බෝහෝ කැමැත්තෙන් සිටිමි. මගේ ලේඛන දිවිය, තව දුරටත් දියුනු කරගනිමින් ඉදිරියට යන්නට ,මෙම අයිරින් නවකතාවේ හොද නරක ගැන පොඩි විග්‍රහයක් ඔබ සියලු දෙනා විසින් කරනවා නම්, ඒ ගැන මම ඔබට බොහෝ කෘතඥ වෙමි.


💥ප්‍රිසිලා ගොඩහේවා💥


තවත් අලුත් නවකතාවක් සමග ඔබ ,අපි ඉක්මනින් හමුවෙමු ....ඔබ සියලු දෙනාට සාමය සතුට පිරි නිරෝගීමත් කාලයක් වේවා.....!!❤️💕❤️💕❤️

6 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page