top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින් ♨️

♨️අයිරීන්♨️

නොසැලෙන දියණි

( 9 වෙන කොටස )

" අපි යමු ඔෆ්ස් එක ඇතුලට කැතරින් ...මදර් සුපීරියර් කතා කරනවා ."

ග්‍රැනී සමග පල්ලි ගිය දවසට අපට හමුවුන සුදු හා ලා නිල් පාට ලෝගු ඇදගත් සිස්ටර්ස්ලා මතක් කරමින්, කන්‍යාරාමයේ එහෙ මෙහෙ සිස්ටර්ස්ලා දෙතුන් දෙනෙක් යන එනු පෙනේ. මදර් සුපීරියර්ගෙ කාමරය අසල තව සිස්ටර්ස්ලා දෙන්නෙක් කතා කරමින් අප දෙස බලා ඉදි.


"මිස්ට ෆර්නැන්ඩු ...මදර් සුපීරියල් ඇතුලට කතා කරනවා...." එක සිස්ටර් කෙනෙක් අප ලඟට විත් කීය.

මමී ඩැඩී සමග කාමරයට ඇතුල්වුන මට මදර් සුපීරියර්, ඇගේ ලොකු මේසය ඉදිරිපිට ඇති පුටු හතර, අතින් පෙන්නා වාඩි වෙන්න කීය.

ඇයගේ පෙනුම හරි ශාන්තය. ඇය අප සමග කතා කලේ ඉතා කරුණාවෙන්ය. ඇගේ නිවුනු කතා බහ,හැසිරීම මගේ හිතේ තිබු භය හෙමිහිට නැති වි යනවා මෙන් මට දැනීන.


"මොකක්ද ඩියර්.. ඔයාගෙ සම්පූර්ණ නම..."

මදර් සුපීරියර් කරුණාවෙන් එසේ ඇසුවේ මම කතා නැතුව බයවෙලා ඉන්න නිසා වෙන්න ඇති.


"අයිරින් ඩිලානි ෆර්නැන්ඩු ..."


මම ඔතෑනි ලෙස මමීගෙ අත අල්ලාගෙන කිව්වෙමි.


"ම්ම්...අයිරින් ....ලස්සන නමක්...ඔයා අලුතෙන් දැන් යන්න ඉන්න පංතියේත් තව අයිරින් කෙනෙක් ඉන්නවා ...ඔයාට ඉක්මනට හොද යාලුවො ගොඩක් හම්බවෙයි. ... මමී ඩැඩි ලඟ නෑ කියලා ඔයාට අඩුවක් දැනෙන එකක් නෑ මෙහෙ හොස්ටල් එකේ ඉන්න කොට...ඒ නිසා ඔයාට ගොඩක් සතුටින් යාළුවොත් එක්ක මෙහෙ ඉන්න පුලුවන් ..."

ඇය මගේ මුහුණ බැලුවේ සිනාසෙමින් ...


"හොදයි මදර්..."


"එහෙනම් ඔයා දැන් ඉස්සෙල්ලම මමී ඩැඩි එක්ක හොස්ටල් එකට ගිහින් ඔයාගේ ඇදුම් බෑග් එතන තියලා, හොස්ටල් එකේ මේට්ට්‍රන්වත් හම්බ වෙලා, ආයෙත් ඔෆ්ස් එකට එන්නකෝ..."


"හොදයි මදර් ..."


"සිස්ටර් මේරි...මේ අයව හොස්ටල් එකට එක්ක ගිහින් මේට්ට්‍රන්ට අදුන්නලා දීලා ආපහු ඔෆිස් එකට එක්ක එන්න.."


"හොදයි මදර් සුපීරියර්...."

ලානිල් ලෝගුවක් ඇදගෙන සිටි බොහෝම ලස්සන පැහැපත් පෙනුමැති තරුණ සිස්ටර් මේරී අප දෙස කරුණාවෙන් බලා සිනාසී කීය..."


"මම එහෙනම් අයිරින් ගේ ඇදුම් බෑග් දෙක කාර් එකෙන් ඇරන් එන්නම්..."

ඩැඩි හනිකට ඔහුගෙ වාහනය පැත්තට ගියේය.


"සිස්ටර්....මේ හොස්ටල් එකේ තව ගෑනු ළමයි ඔක්කොම කි දෙනෙක් ඉන්නවද..?

අප සමග හෙමිහිට සංයමයෙන් ඇවිද එන සිස්ටර් මේරිගෙන් මමී ඇසුවේ හෙමිහිටය.


"මෙහෙ ඔක්කොම ළමයි හතලිස් අටක් ඉන්නවා..."


"ඒ ළමයි ගෙදර එක්ක යන්නෙ ඉස්කෝලේ නිවාඩු කාලෙට විතරද...?


"ගොඩක් ළමයි එහෙම තමයි ...සමහර පේරන්ට්ස්ලා ළමයිව සිකුරාදාට එක්ක ගිහින් සදුදා උදේට ඉස්කෝලේට ආයෙත් ගෙනත් බස්සනවා...."


"මමී අන්න ඩැඩි එනවා...අපි එහෙනම් හොස්ටල් එක බලන්න යමු ..." මට මම නවාතැන් ගන්න ඉන්න හොස්ටල් එක දකිනකම් ඉවසුම් නැත.


කන්‍යාරාමයේ දිග කොරිඩෝව දිගේ අපව ඇවිද්දවගෙන සිස්ටර් මේරි අප ඉස්සරහින් ඉදිරියට යයි. ඩැඩි මගේ ඇදුම් බෑග් දෙක උස්සාගෙන අප පිටුපසින් එයි. මම මමීගෙ අත අල්ලගෙන, මගේ පාසැල් බෑගය කරේ එල්ලා ගෙන ඇය සමග වටපිට බලමින් යන්නෙමි. මමි කොන්දට අත තියාගෙන හෙමිහිට ඇවිදින්නේ ඇය තව දරු උපතකට ලෑස්ති වෙමින් සිටින නිසා අපහසුවෙනි.

අපි දිග කොරිඩෝ එක දිගෙ යන විට, කන්‍යාරාමයේ දරුවන් පාසැල් බිමේ එහෙ මෙහෙ අප පසු කරමින් යනු පෙනේ....ඔවුන් අප දෙස බලන්නේ මේ පාසැලට එන අලුත් අමුත්තන් කවුදෝ කියා අසනා ලෙසය.

දිග කොරිඩෝ එකෙන් නික්ම සිස්ටර් මේරි අපව ලස්සනට තණකොළ කපා, මල් වවා ඇති පිට්ටනියක් අද්දරින් වැටි තිබු ටෙරා කොටා ගල් ඇල්ලු පාරක් දිගේ ඇවිදගෙන එක්ක ගියේ අලුත තැනු දෙමහල් ගොඩනැගිල්ලක් තුලටය. එම ගොඩනැගිල්ලේ ඇති දිග වැරැන්ඩාවේ ඈතින් ඈතට ඇදි පුටු තියා ඇත. දිග පාළු වැරැන්ඩාවේ බිත්ති වල පරණ් තාලේ විදුරු රාමු කල පින්තූර එල්ලා ඇත.


"මේ තියෙන්නේ ... හොස්ටල් එක....මේ වෙලාවට ළමයි ඔක්කොම ඉස්කෝලේ ඉගෙන ගන්න නිසයි නේවාසිකාගාරය මේ වෙලාවට පාළු පාට.... දැන් එකහමාරට ඉස්කෝලේ ඇරුනම ඉතිං ළමයින්ගෙන් මෙතන පිරිලා යනවා ...ආ...අර ඉන්නේ හොස්ටල් එකේ මේට්ට්‍රන් ....අපි යමු එයාව හම්බවෙන්න ...."


"මේට්ට්‍රන් ෆිලිශියා මේ අපේ හොස්ටල් එකට අලුතින් ආව ගර්ල් ...මේ එයාගෙ පේරෙන්ට්ස්ලා..."


" ඔව් සිස්ටර් මේරි...මට දැන් මැඩම් සුපීරියර් කෝල් කරලා කිව්වා, අලුත් ළමයෙක් හොස්ටල් එකට එනවා, එයාගෙ දෙමව්පියන්ව හොස්ටල් එක ඇතුලට එක්ක ගිහින් දරුවට ඉන්න නියමිත කාමරය ඇද එහෙම පෙන්නන්න කියලා ..."

හොස්ටල් එකේ පාළන කටයුතු බලාගන්නා, මේට්ට්‍රන් යැයි කිව හැකි තරබාරු කොට ගවුමක් ඇද උස සපත්තු දෙකක් දමා සිටි, ටිකක් නපුරු පාට ගැහැනු කෙනා ඩැඩීට හා මමීට අතට අත දී ඉංග්‍රීසියෙන් කතා කරන්න පටන් ගත්තේය.


"හෙල්ලෝ...මම හොස්ටල් එකේ මේට්ට්‍රන් ෆිලිශියා..."


"අදුනගත්ත එක සන්තෝෂයි ...මේ අපේ ලොකු දුව, පළවෙනි පාරට තමයි ඉස්සෙල්ලම ගෙදරින් පිටවෙලා තනියම හොස්ටල් එකක නවතින්න ආවේ....මෙයාට තාම අවුරුදු දහයයි...ඒ නිසා මෙයා තාම පොඩියිනේ...ඉතිං ටිකක් බයෙන් ඉන්නේ මෙහෙ නවතින්න ..."


මමී, ටිකක් බාල්දු ලෙස මාව ඇඟට තුරුල් කරගෙන මේට්ට්‍රන්ට කීය.


"බය වෙන්න දෙයක් නෑ ඩියර් ...ඔයාගෙ වයසේ තව ගොඩක් ළමයි මෙහෙ නැවතිලා ඉන්නවා....ටික දවසක් යනකොට බය නැති වෙලා, යාළුවොත් හම්බ්වෙයි...එහෙනම් අපි යමු අයිරින්ගෙ කාමරය පෙන්නන්න...."


ඇය අපිව තරප්පු පේළියක් දිගේ ඉහළ මාළයකට කැදවා ගෙන යයි. මේට්ට්‍රන් ෆිලිශියා ඇවිදින කොට, ඇගේ උස සපත්තු දෙකේ ටොක් ටොක් හඬ, ලෑලී ගැසු බිමේ දොංකාර දෙයි.... . මමි බොහෝම අමාරුවෙන් පඩි පෙළ නැගගෙන එයි...ඩැඩි මේට්ට්‍රන් හා හරි හරියට අඩිය ඉක්මන් කරමින් යන්නේය.


පඩි පෙළ නැග අපි කොරිඩෝවක් දිගේ ඇවිද යද්දී මට හොස්ටල් එකේ ළමයින් නැවති ඉන්නා ලොකු ශාලාවක් පෙනින. එම ලොකු ශාලාවේ එක දිගට ඇදන් පේලි ආකාරයට තියා ඇත...ඒ ඇදන් උඩින් රෝස පාට මදුරු දැල් එල්ලෙයි.


"අයිරින්ට විශේෂ කාමරයක් ඉල්ලපු නිසා ලොකු ශාලාවට දැම්මේ නෑ....ළමයි තුන්දෙනෙක් ඉන්න කාමරයකට තමයි දැම්මේ...මේ කාමර වල ගාන වැඩියි..ලොකු ශාලාවේ ඉන්න ළමයින්ට වඩා....


"ඒකට කමක් නෑ...අයිරින් පහසුවට ඉන්න ඕන නිසා අපි තමයි එයාට මේ තනි කාමර ඉල්ලුවේ...


"අයිරින් මේ තියෙන්නේ ඔයාට නියමිත කාමරය....මේකේ තව ළමයි දෙන්නෙක් ඉන්නවා. ...මේ කාමරේ අයිනේ තියෙන නාන කාමරය තමයි මේ කාමරේ ඉන්න් ළමයින්ට අයිති... මේ තියෙන ඇද ඔයාගෙ...ඔයා ගෙදරින් ගෙනාපු බෙඩ් ශීට් , කොට්ට උර ඔයාට ඕන නම් පාවිච්චි කරන්න පුලුවන් ...නැත්නම් මේ තියෙන ශීට්...පාවිච්චි කරන්න පුලුවන් ....මේ ඇද ලග තියෙන කබඩ් එකේ ඔයාගෙ ඇදුම් , පොත්පත් දාගන්න ..."


"හොදයි මැඩම්..."


"එහෙනම් මිස්ට ෆර්නැන්ඩු ...අයිරින් ඉන්න කාමරය ඇඳ, තැන දැක්කනේ....දැන් අපි ආපහු ඔෆ්ස් එකට ගිහින් ලොකු සිස්ටර් හම්බවෙමු....අයිරින් මමීලා එක්ක ගිහින් කතා කරලා ආපහු එන්න. තව ටිකකින් ඉස්කෝලේ ඇරුනම ඔයාගෙ කාමරේ යාළුවො එයි....ඔයාට ඒ අය අදුනගන්න පුලුවන් ..."


"හොදයි මැඩම්..."


ඩැඩි හා මමී සමග කන්‍යාරාමයේ කාර්‍යාලයට නැවතත් ගොස් , මදර් සුපීරියර් හමු වී පාසැලේ හොස්ටල් එකේ හැම විස්තරයක්ම ඩැඩී කතා කරගත්හ.


ඉන්පසු මමී ඩැඩි ගෙදර යන්න හදනකොට, මට මහ ලොකු තනිකමක් සමග දුකක් දැනින. මගේ ඇස් දෙකේ කදුළු පිරින. මම මමීගේ ඉන බදාගෙන ඇගේ පපුවේ මුහුණ හොවා ගත්තේ මට ඇඩෙන්න ඔන්න මෙන්න තිබියදීය.


"අයිරින් අඩන්න එපා ඩියර් .....මම මේ සිකුරාදාට ඔයාව බලන්න රෝසියි, ජුඩ්වයි එක්ක එන්නම්...ඔයා කන්න කැමති කෑම ජාතිත් හදාගෙන එන්නම්..."


මමී මගේ ඔළුව ආදරෙන් අත ගාමින් මගේ ඔළුව සිප ගනිද්දී ඇගේ ඇස් රතුවී ඇහෙන් කඳුලක් වැටෙනවා මම දුටිමි .


"අයිරින්...ඩියර් දැන් ඔයා හොස්ටල් එක ඇතුලට ගිහින් ඔයාගෙ ඇදුම් කබඩ් එකට දාලා අස්කරගන්න...තව ටිකකින් ඔයාගෙ රූම් එකෙ යාලුවො එයි...ඒගොල්ලෝ ඔයාට ඉක්මනටම හොද යාලුවො වෙයි...දැන් අපිට ගෙදර යන්න පරක්කු වෙනවනේ..රෝසියි ජුඩියි මමී එනකම් බලාගෙන ඇති....."


ඩැඩි මාව බදාගෙන තදින් සිප ගෙන මට හොස්ටල් එක පැත්තට යන්න කීය. නමුත් මම හොස්ටල් එකට නොගොසින් , මමී ඩැඩි කන්‍යාරාම බිමෙන් ඇවිදගෙන ගේට්ටුව පැත්තට යන හැටි බලා සිටියේ, ඔෆිස් එකේ ඉස්සර දොර ලඟ හිටගෙනය. මගේ ඇස් දෙකේ පුංචි කදුළු බිඳු හෙමිහිට කමුළ දිගේ බේරි ඇවිත් බිමට වැටින.


අයිරින්...එන්න අපි හොස්ටල් එක පැත්තට යමු...දැන් ඔයාට හෙට ඉස්කෝලේ එන්නත් තියෙනවානේ...අපි දැන් ගිහින් අලුත් පොත් ටික කබඩ් එකට දාලා ලෑස්ති කර ගමු...තව ටිකකින් ඔයාගෙ අලුත් යාලුවො ඉස්කෝලේ ඇරිලා එයි.... සිස්ටර් මේරි මගේ කරවටේ අතදාගෙන ආදරෙන් මාව තුරුල් කරගෙන වගේ කොරිඩෝව දිගේ නැවත හොස්ටල් එක පැත්තට යන්න පටන් ගත්තේ ....මම මමී ඩැඩි යන දිහා බලාගෙන කදුළු හලනු දැක වෙන්නැති.


මාව කොන්වන්ට් එකට බස්සවා මමී ඩැඩි ගෙදර ගිය පසු මට ඇතිවුනේ ලොකු තනිකමක්, පාළුවක් හා දුකකි. මගෙ දුක තේරුම් ගත් සිස්ටර් මේරි මාව කොන්වන්ට් එකේ මගේ කාමරයට එක්ක ගෙන ගොස් මගේ ඇදුම් බෑග් අස්කරන්න මට උදව් දුන්නේ..... නේවාසිකාගාරයේ මගෙ ඇද උඩ වාඩි වි මා සමග කතා කරමින්මය.


"ඉතිං අයිරින් කියන්නකෝ ඔයාගෙ ගෙදර තව කවුද ඉන්නෙ කියලා... ...එ ගොල්ලන්ගෙ නම් එහෙම ...."


"මගෙ අය්යා තෝමස් ... මල්ලි ජූඩ්....නංගි රෝසි එයා තමයි බාලම...අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග්‍රැනී ...මමීගෙ මම්මා. එයා අපිව දාල ගියානේ ...එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනානේ...ඉතිං අපේ මමීට අපි හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසයි,.....අය්යා තෝමස් ව කොළඹ ලොකු මමීලගෙ ගෙදර නැවැත්තුවේ ,මාව හොස්ටල් එකට එව්වේ.....කොන්වන්ට් එකේ ගෑනු ළමයි හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව මෙහෙ නැවත්තුවේ....මගේ අය්යා තෝමස් කොළඹ ඉස්කොලෙකට දැන් යන්නේ ලොකු මමිගෙ ගෙදර ඉදන්..."


"එහෙමද...එතකොට අයිරින් දැන් කවුද ගෙදර ඉතිරි වෙලා ඉන්න නංගියි මල්ලියි බලාගන්නේ ..?."


"අපේ මමීගෙ ඉස්කෝලේ යාළුවෙක්... .

ජූලියා ආන්ට් ආවා රෝස්වයි ජූඩ්වයි බලාගන්න ... ඒ නිසා අපේ මමීට දැන් හරි ලේසියි. හැබැයි ජූලියා ආන්ට් ආවට පස්සේ අපේ ගෙදර ඉස්සර වැඩ කල එලිසා දැන් වැඩට එන්නෙ නෑ...ජූලියා ආන්ටිට අපේ මමී ඩැඩි ඕනෑවටත් වඩා සලකනවා කියලා ..."


"ඕනෑවට වඩා කිව්වේ..."


"ඇයි...ජුලීයා ආන්ටිට ලස්සන කාමරයක් දුන්නනේ නිදාගන්න ...එතකොට එළිසා වගේ නෙමේ ජූලියා ආන්ටි කොයිවෙලෙත් ලස්සනට ඇදලා කරලා, ලිප්ස්ටික් ගාලා, ඒප්‍රෙන් එකක් දාගෙන තමයි ගෙදර වැඩ කරන්නේ...ඒකට එළිසට ඉරිසියයි ..."


"ඉතිං ඔයගොල්ලෝ ජූලියා ආන්ටිට කැමතිද..."


"අපෝ...තෝමස් නම් පොඩ්ඩක්වත් කැමති නෑ....රෝස්, ජූඩ් නම් කැමතියි ..ඒගොල්ලන්ට ජූලියා ආන්ටි ලස්සන කතා කියලා දීලා, හවසට පාර්ක් එකට ඇවිදින්න එක්ක යන නිසා...මමත් ටිකක් එයාට කැමතියි ...එයා මගේ ඔලුව ලස්සනට පීරලා කොන්ඩ මෝස්තර දාලා ලස්සනට රිබන් ගැට ගහනවා... අපේ ග්‍රැනී ඉන්න කාලේ වගේ ...මේ බලන්න සිස්ටර් .... ඊයේ ජූලියා ආන්ටි මගේ කකුල් දෙකේ නියපොතු වල කයුටෙක්ස් ගෑවා...අත් දෙකෙ ගෑවේ නෑ,.... අද ඉස්කෝලේ ආවහම සිස්ටර්ස්ලා බනියි කියලා ...ජූලියා ආන්ට්, පස්සෙ දවසක ජුඩ්, රෝස් එක්ක මාව බලන්න හොස්ටල් එකට එනවත් කිව්වා ...මම්ට දැන් රෝසි එක්ක එන්න අමාරුයි නේ..."


"ආ...හරි...මම දැන් අයිරින්ගෙ ගෙදර අයගෙ විස්තරත් දන්නවනේ...අයිරින් දැන් මගේ හොද යාළුවෙක් ..ඔයාට කම්මැලි හිතුනම, ගෙදර මතක් උනාම, දුක හිතුනම මාව හම්බවෙන්න එන්න.... ඕනේ..හොදද..? මෙහෙ හොස්ටල් එකේ ඉන්න හැමෝම හරි හොදයි ....ඔය කියනකොටම ඉස්කෝලේ ඇරිලා ඔයාගෙ රූම් මේට්ස්ලා එන්නේ...එන්න එන්න ඔයගොල්ලෝ මෙහාට..."

සිස්ටර් මේරි ඉස්කෝලේ ඇරි පාසැල් නිළ ඇදුමෙන් පොත් බෑග් උස්සාගෙන දාඩිය දාගෙන මම හිටිය කාමරේට ආව මගේ වයසේ ගෑනු ළමයි දෙන්නව මම ඉන්න තැනට කැදවා මට හදුන්වා දෙන්න විය.


"මේ තමයි ඔය්ගොල්ලෝ රූම් එකට අලුතින් ආව අයිරින් ...මීට පස්සෙ මෙයත් මේ රූම් එකේ ඉන්නේ...ඔයගොල්ලෝ මෙයාට උදව් කරන්න ඕනේ, මෙයා අලුත් නිසා...."


"හොදයි සිස්ටර් ..."


"අයිරින්...මේ ඉන්නේ රූබි, මේ සිල්වියා...මීට පස්සෙ ඔයාගෙ රූම් මේට්ස්ලා...ඔයගොල්ලෝ දැන් වොශ් එකක් දාගෙන එන්න කෑම කන්න යන්න. පරක්කු උනොත් මේට්ට්‍රන් බනියි..."


"යමු...යමු...ඉක්මනට වොශ් දාගෙන කන්න..." සිල්වියා ඇගෙ ඇඳ ලඟ ඇති කබඩය ඇර ගවුමක් තුවායක් ඇරගෙන කළබලේ නාන කාමරයට රිංගුවාය. සිල්වියා ඇගේ ඇදුම් අතින්ගෙන බාත්රූම් එකේ දොරලග හිටගෙන ඉදී....


"එහෙනම් අයිරින් ඔයත් මේගොල්ලොත් එක්ක කෑම කන්න යන්න. මොනව හරි උවමනාවක් උනොත් මට කතා කරන්න ...මම එහෙනම් පල්ලෙහාට යනවා. ..."


"හොදයි සිස්ටර් මේරි..."


මාත් සමග එකට කාමරයේ ඉන්න අනෙක් යාළුවන් දෙදෙනාගෙ කියන්න තරම් නරකක් මම දැක්කෙ නෑ...ඔවුන් පාසැල් බෑග් තමන්ගෙ ඇද ලඟ ඇති කබඩ් එක උඩින් තියා, කළබලේම නාන කාමරයට ගොස් ඇග අතපය හෝදාගෙන අලුත් ඇදුමක් ඇදගෙන ආවාය.


"අපි එහෙනම් කෑම කාමරයට යමු කෑම කන්න..."


"යමු අයිරින් ..."

මගේ වයසම ඇති සිල්වියා මගේ අතකින් අල්ලාගෙන කෑම කාමරය පැත්තට ගියේ රූබිත් සමගයි.


අපි සිටි කාමරයෙන් එළියට ආ අපි හතර දෙනා...කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ‍යන විට හොස්ටල් එකේ විශාල ශාලාවෙ ඇදන් ලග ගැහැනු ළමයින් පිරි සිටිනවා මට දැක ගත හැකි විය. හැමෝම පාසැල ඇරී කෑම කන්න යන්න ලෑස්ති වෙනවා පෙනේ.....අපි තුන්දෙනා ඇවිදගෙන ගියේ කෑම ශාලාව දෙසටයි. කෑම ශාලාවට කිට්ටු වෙනකොටම කෑම සුවඳ නහයට දැනෙන්න විය.

කෑම ශාලාවේ පේළි ආකාරයට දිග මේස තියා, එහි ඉදිරිපසින් පුටු තියා ඇත. ඒ වනවිටත් හොස්ටල් එකේ දැනට නැවති සිටින විවිධ වයස් කාන්ඩ වල ගෑනු ළමයි මේස ඉදිරිපිට වාඩි වි කෑම කන්නට බලා ඉදියි.


"එන්න අයිරින් අපි අපේ කෑම පිඟන් තියෙන තැනින් වාඩිවෙමු...."

රූබි හා සිල්වියා ලෙස මමද කෑම ශාලාවේ කෑම පිඟන් තියා තිබුන තැනින් විත් වාඩි විය. හැම මේසයකම කෑම පිඟානට බෙදා ඒ දෙපසින් හැන්දක් ගෑරෙප්පුවක්, සර්වියට් එකක් තියා තිබුනි.

ඒ සමගම කෑම ශාලාවට බෙල් එකක් රැගෙන එය නාද කරමින් පැමිනියේ තරබාරු මේට්ට්‍රන්ය.


"ගර්ල්ස්...පටන්ගන්න දෙවියන් වහන්සේට ආහාර වලට ස්තුති කරන්න ..."

මේට්ට්‍රන් ඇගේ අතේ තියාගෙන සිටි, සීනුව නාද කරේ...හැමෝටම කෑම ගන්නට පෙර දෙවියන් වහන්සේට ස්තුති කිරිමටයි.


කෑම කාමරයේ තමන් වාඩිවී සිටින මේසය ඉදිරිපිට පුටුවේ වාඩිවි තමන්ගෙ කෑම පිඟාන ඉදිරියෙන් තියාගෙන වාඩි වී සිටින සියලු ළමෝ දෑස් පියාගෙන දෙවියන් වහන්සේට ස්තුති කරන්න පටන් ගත්තේය. ඔවුන් කරනා පරිදි , ග්‍රැනී ගෙදරදී කියා දී තිබුන පිළිවෙළට මාද ඒ දේවල් කරේ දෑස් වසාගෙනයි.

පසුව සියල්ලෝම

"ආමේන්"

කියා පපුවේ කුරිසිය ඇද තමන්ගෙ සර්වියට් එක උකුලේ උඩින් එළාගෙන හැදි ගෑරැප්පු වලින් කෑම කන්නට පටන් ගත්හ. ඒ සමගම කෑම ශාලාව තුල හැදි ගෑරැප්පු ගැටෙන ශබ්දය ආරංභ විය.


"ගර්ල්ස්...හෙමිහිට සද්ද නොකර හරියට ගෑරැප්පුව හැන්ද අල්ලගෙන කෑම කන්න....කෑම කන ගමන් ගොඩක් වතුර බොන්න එපා...තළු ගහන්න එපා...කෑම පිඟානෙ පල්ලෙ හලා ගන්න එපා....ඔක්කොම කෑම ඉතිරි නොකර කන්න ඕනේ...මේ ලෝකේ කෑම නැති ළමයි ගොඩක් ඉන්නවා...අපි ඒ නිසා තමයි මේ අපට ලැබිලා තියෙන බෝජනයට ස්තුති කරලා කන්නේ.... කෑම නාස්ති නොකර ඔක්කොම කන්න ඕනේ....මේට්ට්‍රන් කෑම ශාලාවේ ළමයින්ගේ මේස වටා "ටොක් ටොක්" ගා..සද්දෙන් ඇවිදියි.


සුදු පිරිසිදු පිඟානට, සම්බා බත්, පරිප්පු , මාළු කෑල්ලක් , බොංචි හා මැල්ලුමක් පිඟානටම බෙදා ඇත. තව පපඩම් භාගයක්ද පිඟානේ කොනේ ඇත. ළමෝ සැවොම කතාබහක් නැතුව කෑම කන්නට පටන් ගෙන ඇත. කෑම ශාලාව පුරා ළමයින්ගෙ හැදි ගෑරැප්පු පිඟන් වල ගැටෙන ශබ්දය පමනක් වටෙන්ම ඇසේ.


"අයිරීන්...කොහොමද කෑම රසද..?


"ඔව්...හරි රසයි ...හැමදාම ගෙදර කෑම කාලා ඇතිවෙලා මම හිටියේ..."

මම රස කර කර කෑම කන්නට විය.


"අපිත් මුළින්ම මෙහෙ ආව කාලේ ඔයා වගේ තමයි ආසාවෙන් කෑම කෑවා...ඒත් දැන්නම් මේ කෑම මට එපා වෙලා තියෙන්නේ ..."


"ළමයි...කෑම කනකොට, කටේ කෑම පුරවගෙන කතා කරන්න එපා...වතුර බිබි බත් කන්න එපා.....ටීශා...ඔය හැදි ගෑරැප්පුව මාරුකරලා ඔයා අල්ලගෙන ඉන්නේ....හැදි ගෑරැප්පු පිඟානේ වද්දලා සද්ද කරන්න එපා ළමයි ....සර්වියට් එක උකුල උඩ තියාගන්න කෑම කන්න ඉස්සර ...නැත්නම් ඇදුමට වැටෙනවා....හැමදාම මේ ළමයින්ට මේවා කියලා දෙන්න ඕනෙ නේ....මේට්ට්‍රන් ඉතා සැර පරුශ පාටය....ඇය කෑම ශාලාවේ එහාට මෙහාට යන්නේ ඇගේ සපත්තු දෙකේ සද්දය ටොක්..ටොක්...ගගා ඇහෙන ලෙසය. ඇය තද කොට සායක් හා කෝට් එකක් වැනි බ්ල්ව්ස් එකක් ඇද..තඩි මාලයක් කරාබු ජොඩුවක් දමා ගෙන ඉදී....කොන්ඩේ කොටට කපා ඇති ඇය ඉතා අදුරු පැහැතිය. ඒ වගේම පෙනුමද නපුරු පාටය. කොන්වන්ට් එකේ මදර් සුපිරියල්ට වඩා දරුවන් හොස්ටල් එකේ මේට්ට්‍රන්ට බය වග පෙනේ....

හැමදාම ගෙදරදී රාත්‍රීය ට ඩැඩි අපිට කෑම මේසෙට වාඩි වි හැදි ගෑරැප්පු වලින් කෑම කන්නට පුරුදු කර තිබු නිසා, මම හොද පුරුදු කාරියක් ලෙස හැදි ගෑරැප්පු පිළිවෙළට පාවිච්චි කරමින් බත් කෑවෙමි.


"අයිරීන් ලස්සනට කෑම කනවා...බිමට හලන්නෙත් නෑ..හොද ළමයා ..." මේට්ට්‍රන් මගේ ලගට විත් මගේ ඔළුවට අත තියා කීවාය. මට ඇති වුනේ සතුටකි.


අද කොන්වන්ට් එකට ආපු මුල් දිනේම මට මේට්ට්‍රන් ගෙන් හොදක් අහන්න ලැබුන එක ගැන ඇතිවුනේ සතුටකී. හේතුව මේට්ට්‍රන් ෆිලිශියා බැලු බැල්මට ගොඩක් නපුරු පාට කෙනෙක් ලෙස පෙනුන නිසා.


"මේට්ට්‍රෙන් හොදට කතා කරාට හරි සැර පාටයි වගේ නේද රූබි ..."


"අපො ඔව්...එයා ගාව වේවැලකුත් තියෙනවා වැරදි වැඩ කරන ලමයින්ට ගහන්න....

දන්නවද අයිරින් ...මේට්ට්‍රන් සමහර වෙලාවට වේවැලක් අතේ තියාන නේවාසිකාගාරයේ වටේ යනවා ළමයින්ගෙ වැඩ බලන්න , ඒවෙලාවට ළමයි ඔක්කොම නරක වැඩ නවත්වලා හොද දරුවන් වගේ ඉන්නවා...." රූබි මට හොරෙන් කීය.


"කෑම කාලා ඉවර නම් ගිහින් පිඟන් හැදි ගෑරැප්පු හෝදන තැනින් තියලා, ඩෙසර්ට් එක ඇරන් ඇවිත් වාඩි වෙන්න..."


"අද මොනවද ඩෙසර්ට් එකට තියෙන්නේ..."


"අද...පළතුරු පේන්න නෑ...."


"ආ...අද යෝගට් ...මගේ ආසම ඩෙසර්ට් එක..."


පොඩි ළමයින් බත් එළවළු කෑමට වඩා අතුරුපස කෑමට ප්‍රිය තාවයක් දක්වන නිසා, උඩින් පල්ලෙන් බත් කා අතුරුපස කන්නට බලා ඉදී.


අවුරුදු අටේ ඉදන් දහඅට වෙනකම් දැරියන් මෙම කොන්වන්ට් එකේ... ..හොස්ටල් එකේ නැවති ඉදිති. ඔවුන් සමහරක් දුර පළාත් වල දැරියන් වන අතර පෝසත් පවුල් වල ළමයින් බවද පෙනේ. සමහරුන්ගෙ දෙමව්පියන් ගෙන් අම්මා හෝ තාත්තා නැති ළමයින් මෙහි ඉදී... ඔවුන්ගේ දෙමව්පියන් නෑදෑයින් හොස්ටල් එකට හොදින් ගෙවීම් කටයුතු කරන නිසා, හොස්ටල් එකේ සිටින දැරියන්ව විශේෂ ආකාරයෙන් බලාකියා ගෙන,හොදින් ඉගැන්වීමේ කටයුතු කරනු ලැබේ....


"හරි දැන් ළමයි රූම්ස් වලට ගිහින් රෙස්ට් කරලා ...ඉස්කෝලේ හෝම් වර්ක් කරන්න පටන් ගන්න. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න යන්න ඉස්සර, හවස තේ බොන්න එන්ඩ...."

මේට්ට්‍රන් ළමයින්ට දවසේ පැය ගාන බෙදා ඉස්කෝලේ වැඩ, කෑම වෙලාවල්, සෙල්ලම් කරන වෙලාවන් මතක් කරයි.


"අපි යමු රූම් එකට....මට ගොඩක් හෝම් වර්ක් තියෙනවා ...ඒ නිසා මම රෙස්ට් කරන වෙලාවේ ඒවා කාමරේ ඉදන්ම කරලා ඉවර කරලම තේ බොන්න යනවා...."


"ඔව්...මමත් එහෙම තමයි කරන්න කැමති ..."


ළමයින් ඉස්කෝලේ ඇරිලා ඇවිත් හවස දෙකහමාර වෙනකොට දවල් කෑම ඇරගෙන ,ඉන්පසු හවස හතරහමාර වෙන කම් කන්‍යාරාමයේ දරුවන් නේවාසිකාගාරයේ ඇති මැද මිදුලේ විවේක සුවයෙන් ඉදි... සමහරු නාගෙන කරගෙන කොන්ඩ මුදා හැර පොත් පත් කියවයි..සමහරු එකට එකතු වී ගැහැනු පිරිමි මල් පළතුරු සෙල්ලම කොළවල ඇදගෙන කරයි...ලූඩො ගහයි.....හෝම් වර්ක් කරයි..... එබැවින් ළමයින් පාසැලේ ගෙදර වැඩ ඉවර කර හවස තේ වේලාවෙන් පසු සෙල්ලම් කරන්න තණපිට්ටනියට යන්න බලාගෙන ඉදී.


රූබි, හා සිල්වියා අපට නියමිත කාමරයට ගොස්, ඔවුන්ගේ ඇදලග ඉදගෙන හෝම්වර්ක් කරන්න පටන් ගත්තාය. මම මගේ ඇද උඩ වාඩිවී, හෙට අලුත් ඉස්කෝලේ අලුත් පන්තියට ගෙනියන්න ඩැඩී ලෑස්ති කරදුන් පොත්ටික එළියට ඇරගෙන අතගාමින් ,පෙරල පෙරලා ඉන්නට පටන් ගත්තෙමි.


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා*


මම ලියන නවකතා, කොටස් වල එකම දේ.... චේද වශයෙන්, වාක්‍ය වශයෙන් දෙතුන් තැනක තියෙනවා කියලා දෙතුන් දෙනෙක් කියපු නිසා, ඒ ගැනත් කියන්න හිතුනා.


අපේ ගෙවල් වලත් හතර දෙනෙක් ජීවත්ව ඉන්නවා නම්, ඒ හතර දෙනා වෙන වෙනම එකම මාතෘකාව කතා කරන වේලාවන් ඕන තරම් තියෙනවානේ....එක එක්කෙනාගෙ දැකීම ,තේරුම් ගැනීම වෙනස් නේ.... ඒ නිසයි මම මේ කතාවේදීත් ග්‍රැනී ,මමී, ඩැඩී ආදීන්, එකම මාතෘකාව වෙන වෙන විදිහට බලන ආකාරය ,කතා කරන අවස්තා එකතු කරලා එකම සිද්ධිය දෙතුන් දෙනෙක් දකින විදිහ කතාවට ඇතුලත් කලේ....එය ඔබට නැවත නැවත බැලීමේදි තේරුම් යනු ඇතැයි සිතමි.....

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page