top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරීන් ♨️

නොසැලෙන දියණි

(7 වන කොටස )

ලොකු මමී නොහොත් ග්‍රේස් ආන්ට්, සෑම් අංකල් හා ඇයගෙ පුතාත් දුවත් සමග ග්‍රැනීගේ මළගෙදර ඇවිත්, එය ඉවරවී තව දවස් තුනක් පමණ, අපේ ගෙදර නැවතී හිද අප ගැන බැලුවේ.... අපේ මමී, ග්‍රැනීගේ මළගම නිසා බොහෝ දුක් වෙමින්, අසරණව කාලය ගත කල හෙයිනි. අපේ මමී හිටියේ ග්‍රැනී නැතුව කිසිම දෙයක් කල නොහැකි ගානටය.... ග්‍රැනීගේ මළ ගම දැනගෙන, මමීගෙ පරණ ඉස්කෝලේ යාළුවෙක් වන ජූලියා ආන්ටිත් අපේ ගෙදර ඇවිත් නැවතී සිටිම අපේ මමීට හා ලොකු මමීට පොඩි අස්වැසිල්ලක් විය.


"අනේ මන්දා කැතී.... ළමයින්ට මොනව කරන්නද කියලා ...ඔයා ඉස්සරහා කාලයේ මේ ළමයි හතර දෙනා කොහොමද තනියම බලගන්නේ....ඒ මදිවට ආයෙත් ළමෙක් හම්බ වෙන්න....මම්මා ඔයාට කොච්චර කිව්වද ඔය ළමයි හැදිල්ල නවත්ත ගන්න කියලා....දැන් තෝමස්ටත් අවුරුදු දොළහක්නේ.....මේ ළමයි දැන් ලොකුයි.... මේ තෝමසුයි, අයිරින්නුයි බලාගත්ත අත බලාගෙන ඉන්නවා ආයෙත් ග්‍රැනී එයිද කියලා හිතාගෙනද මන්දා... මේ ලොකු ළමයි දෙන්නා ගැන තමයි අපි වැඩියෙන්ම දැන් බලන්න ඕනේ....ඒ ළමයි දෙන්නනේ මම්මට ගොඩක් ලඟින් හිටියේ....මේ ළමයි හතර දෙනාගෙන් මට තෝමස්ව නම් කොළඹ එක්ක ගිහින් එහේ ඉස්කෝලෙකට දාලා හදා ගන්න පුලුවන් ...ඒත් මේ පොඩි ළමයින් තුන් දෙනාව ඔයා තනියම කොහොමද බලාගන්නේ..... ? මොකද අපි දැන් මේකට කරන්නේ බ්‍රදර්......."


ලොකු මමී අපේ ඩැඩිට බ්‍රදර් කියා කවදත් අමතයි.... ඇය අපේ ඩැඩිට වඩා අවුරුදු දෙකක් බාල කෙනෙක්ලු.....


"මටත් තේරෙන්නේ නෑ ග්‍රේස්.... මේ ළමයි ටික කැතීට වඩා ග්‍රැනීටනේ වැඩිය එකතු වෙලා හිටියේ....දැන් මොකද කරන්නේ කියලා.. ...මගේ ඔළුවත් අවුල් වෙලා තියෙන්නේ ..."


"මට පුලුවන් කැතීරින්ට උදව්වක් විදිහට තව ටික දවසක් මෙහෙ නැවතිලා ළමයි ටික බලාගන්න ..."ජූලියා ආන්ටි කීය.


"අනේ...එහෙම නම් ලොකු උදව්වක් ජූලියා ...මටත් ඉතිං මෙහෙ දිගටම නැවතිලා ඉන්න බෑනේ...."

ලොකු මමී නැවත කොළඹ යන්නේ කවද්ද කියා බලමින් සිටි නිසා..., ජූලියා ආන්ටිගෙ කටින් ඒ වචනය පිට වීමත් ඇයට සතුටක් විය.


"කැතී‍රින්, ග්‍රේස් දන්නවනේ....මම ජොබ් එකක් විදිහට කරන්නේ කොළඹ ලොකු පවුල් වල ළමයින්ට ඉංග්‍රීසි උගන්වමින් ඒ ගෙවල් වල නැවතිලා වැඩ කරන කෙනෙක් කියලා...මම අන්තිමට වැඩ කල ගෙදර අය පිටරට පදිංචියට ගිය නිසා, මම මේ දවස්වල අලුත් ජොබ් එකක් හොය හොයා හිටියේ....මට ඕන නම් ඒ විදිහට මෙහෙ නැවතිලා ,ළමයි බලාගෙන පාඩම් වැඩ කරලා දෙන ගමන් ගෙදර වැඩත් කරලා දෙන්න පුලුවන් ....,ඔයාටත් උදව්වක් විදිහට ...හැබැයි ඉතිං මට පඩියක් නම් ඕන වෙනවා මගේ වියදමට ..."


"කමක් නෑ ජූලියා ...ඔයා එහෙනම් මෙහෙ නැවතිලා මේ ළමයි ටික බලාගෙන කැතීට ගෙදර වැඩට උදව් කරන්න...මොකද ඔයා කැතීගෙ හොදම යාළුවෙක් නිසා, මේ මොහොතේ කවුරු හරි කැතී කැමති කෙනෙක් ගෙදර හිටියොත් තමයි වැඩිය හොද ...."


"එතකොට එළිසට මොකද කරන්නේ...? ඩැඩී ඇසීය.


"එළිසට දෙන පඩිය තව ටිකක් වැඩි කරලා මම ඔයාට දෙන්නම් ජූලීයා ...එළිසට වගේ නෙමේනේ ඔයාට පුලුවන්නේ ළමයින්ගෙ ඉස්කෝලේ වැඩ වලටත් උදව් කරන්න..."


"ඔයාලා කැමති නම් මම මගේ බෝඩිමට ගිහින් මගේ ඇදුම් ඇරන් ඇවිත් මෙහෙ නවතින්නම්....මගේ මිමීත් නැතිවුනාට පස්සේ මම තනියම තමයි බෝඩිමේ ඉන්නේ...මටත් එහෙ පාලුයි...මෙහෙ හිටියොත් මට බෝඩිම් ගාස්තු යන්නෙත් නෑ....කැතී මගේ යාළුවා නිසා එයාටත් උදව්වක් විදිහට එයාගෙ ළමයි බලාගෙන ගෙදර වැඩත් කරගෙන ඉන්න පුලුවන් ..."


" අපි එහෙනම් එහෙම කරමුද...? ලොකු මමී ඩැඩිගෙන් ඇසීය.


"ඔව් ඒක හොදයි මම හිතන්නේ......" ඩැඩි කීය.


"මම කොහොමත් තෝමස්ව කොළඹ එක්ක ගිහින් එහේ ඉස්කෝලෙකට දාන්නම්....එතකොට අයිරින් ගැන තමයි විශේශයෙන් බලන්න ඕනේ..... මොකක්ද අපි දැන් අයිරින්ට කරන්නේ......? මේ ළමයි දෙන්නා ග්‍රැනී නැතිවුන දවසේ ඉදන් ලොකු හිතේ අමාරුවෙන් ඉන්නේ...මේගොල්ලෝ ග්‍රැනීටනේ වැඩියම එකතු වෙලා හිටියේ...."


"ඒක තමයි මමත් කල්පනා කලේ...දැන් අපි හැමොම මේ ගෙදරින් ගියාට පස්සේ අයිරින්ට ගොඩක් පාළු වෙයි ග්‍රැනී නැතුව ....අපි ඒ ගැනත් බලන්න ඕනේ...."


" අයිරින් දැන් ටිකක් ලොකුයිනේ.... අපි එයාව හොස්ටල් එකක නවත්වමු...එතකොට එයාට ග්‍රැනී නැති අඩුපාඩුවත්, තෝමස් නැති අඩුපාඩුවත් දැනෙන්නෙ නැතුව යයි.... අපට පුලුවන්නේ නිවාඩු තියෙන වෙලාවට ගිහින් අයිරින්ව, තෝමස්ව බලලා එන්න. නිවාඩු කාලෙට ගෙදර එක්කගෙන එන්නත් පුලුවන්නේ.... කොන්වන්ට් වල ඉන්න ළමයි හොදට පිලිවෙලට හැදෙනවා...."


"ඔව්.... ග්‍රැනී නැතිවුන සුමානෙට මේ ළමයි දෙන්නා ඈලීමෑලී වෙලා, හරියට කන්නෙත් නෑ පාලුවෙන් සාංකාවෙන් ඉන්නේ.....ඒ හින්දා මම තෝමස්ව කොළඹ එක්ක ගෙන ගිහින් එහේ ගෙවන ඉස්කෝලෙකට දාන්නම්....අයිරින්ව කොන්වන්ට් එකකට දාමු....එතකොට ඒගොල්ලන්ගෙ පාළුව නැති වෙලා යයි... එතකොට රෝසියි, ජූඩුයි විතරනේ ගෙදර ඉතුරු වෙන්නෙ.....කැතීට පුලුවන් ජූලියා එක්ක ඒ ළමයි දෙන්නව අමාරුවක් නැතුව බලාගන්න. ඒක කැතීටත් පහසුවක්...."


"ඔව් ...ග්‍රේස් ඔයා කියන කතාව ඇත්ත...ඒ යෝජනාව හොදයි .අපි ළමයින්ගෙ මානසික තත්ත්වය ගැනත් හිතන්න ඕන නේ...."


"හොස්ටල් වල ගාන ටිකක් වැඩි නිසා වියදම් සැර වෙයි....ඒ උනාට ළමයි පිළිවෙළට හැදෙනවනෙ...."


"ඔව් ග්‍රේස්... ඒත් අපි එහෙම කරමු...වියදම විතරක් බලලා බෑනේ....කොහොමත් මම කාලයක ඉදන්, හිතන් ඉන්නේ, මගේ කදානේ තියෙන හිස් ඉඩම විකුනන්න කියලා .....අපි ඒක විකුනලා ඒ සල්ලි තියාගමු අයිරින් ගෙත් තෝමස්ගෙත් ඉගෙනීමෙ කටයුතු වෙනුවෙන්...."


" ඒක හොදයි විකී......අපි අයිරින්ව මීගමුවේ කොන්වන්ට් එකට දාලා ඒකේ හොස්ටල් එකේ නවත්වමු...එතකොට ග්‍රේස් ඔයා තෝමස්ව කොළඹ එක්ක යනවද...?"


"ඔව් මම පුලුවන් ඉක්මනට , තෝමස්ට කොළඹ ගෙවන ඉස්කෝලයක් බලලා ඇවිත් තෝමස් කොළඹ එක්ක යන්නම්... ....ඔයගොල්ලෝ මට මාස තුනකට සැරයක් තෝමස් ගේ ස්කූල් ෆීස් එවන්න එතකොට ...."


"ඒක ලොකු දෙයක් ග්‍රේස් .....අපි කදානේ ඉඩම විකුනුවාහම ඔයාට තෝමස්ගෙ ස්කූල් ෆීස් ගෙවන්න සල්ලි බැංකුවට දාන්නම්...."


"අපි එහෙනම් දැන්ම අයිරින්ට මීගමුවේ කොන්වන්ට් එකක් බලමුද එයාව හොස්ටල් එකේ නවත්වන්න...."


ග්‍රැනීගේ ගෙ මරණින් පසු මාසයක විතර කාලයක් ගෙදර තනිවුන පුංච් අපිව බලාගත්තෙ ජූලියා ආන්ටි හා අහල පහල ගෙවල් වල අයයි. මමී ආයෙත් දරුවෙක් ලැබෙන්න සිටි නිසත්, ග්‍රැනීගේ මරණින් පසු ඇය බොහෝම දුර්වල තත්ත්වයක් පෙන්නුම් කරමින් ඉදීමත් නිසා ඇය නිතර නිදාගෙන තනියම කදුළු සලමින් අඩන්නේ ග්‍රැනී නැති අඩු පාඩුව ගැන කියමින්‍ය. ඇය මානසික ව වැටී සිට්න නිසා ගෙදර වැඩ කිසිත් ඇයට කරන්න පුලුවන් තත්වයක නොවීය.


අපේ මමී දැන් නිතර ඇදට වෙලා දුකෙන් අඬන නිසා,... ගෙදර හැම වැඩක්ම වගේ කරන්නේ ජූලියා ආන්ට්යි. ග්‍රැනීගේ මළගම ඉවර උනාට පසු සුමානයක් දෙකක් වටපිට ගෙවල් වල අය අපේ ගෙදර නිතර ආවා ගියා උනත්... දැන් ඔවුන්ගෙ ගමන් බිමන් පවා අඩුවි ඇත. ඒ ජුලියා ආන්ටි නිසා වන්නට ඇතැයි සිතේ....දැන් දැන් ජූලියා ආන්ටිගේ කීමට අනුව අපේ ගෙදර සියලු දෙනාටද ජීවත් වීමට සිදුවි ඇතිවි අතර, ලඟ පාත ගෙවල් වල අයද ජූලියා ආන්ටිටම අපිව බලාගන්න භාර දී අපේ ගෙවල් පැත්තෙ යන එන එක නතර කර ඇත. ජූලියා ආන්ටි අපේ ගෙදර වැඩ කරමින් අප බලාගන්නට පටන් ගත් පසු එළිසාද අපේ ගේදර එන එක එහෙන් පිටින්ම නවතා දමා ඇත. ජූලියා ආන්ටි හරි පිළිවෙළට ගෙදර වැඩකටයුතු සියල්ල කරමින් පූංච් රෝසි හා ජූඩ් බලාගනී. ගෙදර කෑම බීම සාදන වැඩ අරපිරිමැස්මෙන් ඇය කරන්නේ ග්‍රැනීට වඩා පිළිවෙළටය. එය අපේ මමීට බොහෝ පහසුවක් හා හිතට සතුටක් ගෙන දෙන කාරණයක් වී ඇත. ගෙදර වැඩට කවදත් කම්මැලි අපේ මමී ග්‍රැනී ඉන්නා කාලේ මෙන් ගෙදර වැඩ සියල්ල ජූලියා ආන්ටිට බලාගන්නට දී සැහැල්ලුවෙන් ඉදී. දැන් අපේ මමී ඇයගේ පස් වෙනි දරු උපතට ලෑස්ති වෙමින් ඉදී.....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page