නොසැලෙන දියණි
(6 වන කොටස)
දරුවන් හතර දෙනෙක් ඉන්නා අපේ මමීගෙ දකුන අත උන, ඇගේ මම්මා නොහොත් අපේ ආදර ග්‍රැනී .....පුංච් අපේ මුළු ලොවම එළිය කරමින් අපගෙ කැත කුණු අතගාමින් අප හතර දෙනා ලොකු මහත් කරගන්නට වෙහෙස මහන්සි උන අපේ ග්‍රැනී ....අපේ මමීට අපි හතර දෙනා හදාවඩා ගන්න උදව් කල, අප වෙනුවෙන් කැපකිරීම් කල අපේ ආදර ග්‍රැනී ....ඇගේ ආදරය කරුණාව හා දැන උගත් කම් හමුවේ ලොකු මහත් උන අපි... ආදර ග්‍රැනීගේ තුරුලේ හැදි වැඩුන පුංච් අපට ග්‍රැනීගේ හදිසියේ ආන්ත්‍ර වීම ගැන හිතා ගැනිමට බැරි තරම් ශෝකජනක අවස්තාවක් විය.
අපි මොනවද කරන්නේ, කියන්නේ කියා හිතා ගැනිමට නොහැකිව මළගෙදර ඇවිත් ඉන්නා මිනිසුන් දෙස බලමින් අප හතර දෙනා අන්දමන්ද වී උන්නෙමු.
දරුවෝ හතර දෙනෙක් අවුරුදු දෙකින් දෙකට බිහි කරමින්, කම්මැලි කමට ග්‍රැනීගේ ඇප උපස්ථාන ලබමින් සැපට හිටිය අපේ මමී.....ග්‍රැනීගේ මිනී පෙට්ටි ඉදිරියේ නොනවත්වා කදුළු සලයි.
" අපේ මම්මා තමයි කැතීව එන්න එන්නම කම්මැලි කලේ.....කැතී මම්මගෙන් ඉවරයක් නැති වැඩ ගත්තා.....පව් කවදාවත් මම්මා එයාගෙ අසනිපයක් ,අමාරුවක් කාටවත් කිව්වෙ නෑ....මම්මා එයාගෙ අමාරු වලට බෙහෙත් ගන්න තනියම තමයි ඩොක්ටර් ගාවට ගියෙත්....කැතී එයාගෙන් වැඩ ගත්තා විතරයි. මම්මා ගැන බැලුවේ නෑ....කැති ළමයි ටික මම්මට භාර දීලා කම්මැලි කමට හිටියා.....ඒ මදිවට පොඩ්ඩ බැරි වෙනකොට මමීට බැන්නා එයාගෙ ළමයිගෙ වැරදි වලටත්....මම්මා කොච්චර කලත්, මහන්සි උනත් කවදාවත්, මම්මගෙ හොදක් දැක්කේ නෑ...මම්මා කැතීගෙ වැඩපිලිවෙළ ගැන කළකිරිලා හිටියේ....ඒත් කවදාවත් කැතීගෙ මූණ්ට මොනවත් කිව්වේ නෑ....මම්මා හරි අහිංසකයි.... ලොකු මමී ග්‍රැනීගේ මරණය දැනගෙන අපේ ගෙදර ආ සැනින් අපේ මමීට බැනගෙන බැනගෙන ගියේ එළෙසයි. ග්‍රැනී ජීවත්ව ඉන්න කාලෙත් ග්‍රැනී ඉස්සරහම, ලොකු මමී, අපේ මමීට නිතර බැන වැදපු හැටිත් මට තාමත් මතකයි.
"කැතී ඔයා මම්මාගෙන් වැඩ ගන්නවා වැඩියි...දැන් එයාගෙ වයසට එයා රෙස්ට් කරන්න ඕනේ කාලේ..."
"මම මම්මට වැඩ කියන්නෑ ග්‍රේස් ....එයාගෙ උවමනාවෙන්ම තමයි කඩේ යන්නෙත්, ළමයි බලාගන්නෙත්, උයන්නෙත්....බොරුවට මට බනින්න එපා ග්‍රේස් ..." අපේ මමි කියයි.
කෙසේ වෙතත් තනියම බස් එකේ කොළඹ ගිය ග්‍රැනී... හදිසියේ ඇතිවුන පපුවේ අමාරුවකින් කොළඹ ඇගේ අක්කා කෙනෙක්ගෙ ගෙදරදී ආන්ත්‍ර වන විට ඇයගෙ වයස අවුරුදු 74ක් විය. අපේ ඩැඩි, මමී, ලොකු මමී සමග කොළඹ මහ ඉස්පිරිතාලේට ගොස් ඇයගෙ මිනිය භාර ගෙන වෙන්නප්පුවේ අපේ ගෙදරට ගෙන එන විට මහ ගොඩක් රෑ වි තිබුනි.
ග්‍රැනීගේ මීනි පෙට්ටිය අපේ ගෙදර ගෙනවිත් එහි සියලු කටයුතු කතෝලික ක්‍රමයට , පල්ලියේ පාදිලි උන්නාන්සේ පැමින කරන දේවල් දිහා අපි බලා සිටියෙ කිසි තේරුමක් නැතුවය. හොදට හිටි ග්‍රැනීට මේ මොනවද උනේ කියා සිතා ගැනිමට අපට නොහැකිය. කොටින්ම අපිට ග්‍රැනී වෙනුවෙන් අඩන්නවත්, දැනීමක් නැත. ග්‍රැනීගේ මීනි පෙට්ටිය ලඟ මාත් තෝමසුත් භිරන්තෙට්ටු වි බලා උන්නෙ කොයි මොහොතේ හෝ ග්‍රැනී පෙට්ටියෙන් නැගිට විත් අපට බල කරමින් බත් කවමින්, ඔරසම් කියමින්, කතා කියා දෙමින් නිදි කරවන්න, නැවත එනකම් ය.
ග්‍රැනී ජීවත්ව ඉදිද්දී පුංච් අපව වටකරගෙන හැමදාම රෑට බයිබලේ, ලස්සන කතා කියවු හැටි මට නිතර මතක් වෙයි...එයින් එක කතාවක් මට මතකයට එන්නට පටන් ගත්තේ...ග්‍රැනී මිනි පෙට්ටියේ නිදාගෙන ඉන්නා දිහා බලන් ඉදිද්දීය.
"ඔයගොල්ලෝ දන්නවද අයිරින් .....බයිබලේ ලියවිලා තියෙන විදිහට ලාසරුස් කියන්නේ යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්වපු කෙනෙක්..... මළවුන්ගෙන් ලාසරුස් නැගිට්ටවපු ජේසුස් වහන්සේට පුලුවන්නේ ඉතිං ..... අපේ ග්‍රැනීවත් මිනී පෙට්ටියෙන් නැගිට්ටවලා ආයෙත් අප ලඟට එවන්න. ග්‍රැනී ඒ තරමට ජේසුස් වහන්සේට ආදරෙන් භක්තියෙන් හිටි කෙනෙක්නේ.... මම ග්‍රැනීගේ මිනි පෙට්ටිය ලඟ නැවති ඇයගේ මූණ දෙස බලාගෙන හිටියේ කොයි මොහොතේ හෝ ජේසුස් වහන්සේ ලාසරුස් වගේ අපේ ග්‍රැනී වත් නැගිට්ටුවා එවයි කියායි.
අපේ ගමේ මොනයම් නිවසක හෝ මරණයක් සිදුවූ විට එම නිවසට මුලින්ම යන "මරිය නෝනක්කාද"" ග්‍රැනීගෙ මළගම ආරංචි වි අපේ ගෙදරට ආවේ....
ඉණ වටා ඔතාගත් කළු කම්බායකින් සැරසිය...අපේ ගෙදර ගේට්ටුව ලඟ ඉදගෙනම දෙඅත් ඉහළට ඔසවා පවුවට ගසා ගනිමින්
“අනේ මගෙ සුදු නෝනේ....තව කොච්චර කාලයක් ජීවත් වෙලා ඉන්න හිටිය කෙනෙක්ද නෝනේ..... ඇයි මේ ගමන මෙච්චර ඉක්මනට, මේ ළමයින් දාලා වේලාසනම යන්න ගියේ....”
යනුවෙන් කියමින් "මරියා නෝනක්කා" මුළු පළාතම දෙදරවන අන්දමේ විලාපයක් නඟමින් අපේ ගෙට ගොඩවිය .....
ග්‍රැනීගේ මළගමින් අන්ද මන්ද වි සිටි පුංචි අපි, ඇගේ ඇඬුමත් සමග ඉකි ගසමින් අඬන්න පටන් ගත්තෙ එවෙලෙයි.....අපේ මමීත්, ලොකු මමීත් ආයෙත් කදුළු අලුත් කරමින් අඩන්න පටන් ගත්තෙ....මරියා නෝනක්කාගෙ කෑගැසිමත් සමගය.
උන්දෑගේ විලාප තැබීම එතැනින් නතර වුනෙම නැත..... ගෙට ගොඩවදුන ඇය දේහය තැන්පත් කර ඇති තැන පොළොවේ වැතිර දෙඅත්ලෙන් පොළොවට ගසමින් නැවත විලාප තබන්න පටන් ගත්තාය......ඒ සමග අපේ මමී හා ලොකු මමි තව තවත් පුංචි අපි බදාගෙන අඬන්න පටන් ගත්තේ ඇත්තටමය.
ග්‍රැනීගේ මිනිය අපේ ගෙදර මැද සාලේ තිබෙනකම් ඒ ලග වාඩි වි උන් අපේ මමී....ග්‍රැනීගේ මිනීය උස්සන වෙලේ ග්‍රේස් ලොකු මමී හා පෙට්ටිය බදාගෙන අඬන කොට පුංච් අපිත් කෑගසමින් ඇඩුවේ ඔවුන් අඬනා නිසයි.
"අනේ මම්මා...ඔයා නැතුව කවුද දැන් මේ ගෙදර පොඩි දරුවන් ටික බලා ගන්නේ....ඇයි මම්මේ අපිව දාලා යන්න ගියේ....අනේ මම්මේ... ඇයි අපට කියලා ගියේ නැත්තේ ....කියමින් ලොකු මමීත් අපේ මමීත් තරඟයට ඇඩුවෙ මළ ගෙදර ඇවිත් හිටිය අනෙක් ගැහැනු අයද අඬවමින්....
ග්‍රැනී මිය ගිය දින අපේ ගෙදරට ආ "මරියා නෝනක්කා ....අපේ නිවසින් නැවත යන්න ගියේ, ග්‍රැනීගේ හත් දොහේ දානයෙන්ද පසුවය..... ඒ ග්‍රැනීගේ දානයට ඉයු වෑංජන හට්ටි, මුට්ටි, වළං පිඟන් ඇය අතින්ම සේදීමෙන්ද පසුවය.
මළගෙදර ආ වේලේ සිට "මරියා නෝනක්කා".... අවමඟුල් සිරිත් විරිත් මමීට හා ලොකු මමීට කියා දුන්නාය. ඇය හවස් වෙනකොට කසිප්පු භාගයක් ද බිව් බව ලොකු මමී අපේ මමී එක්ක කිව්වේ කේන්තියෙනි.... .අන්තිමේ....ග්‍රැනීගේ හත් දොහේ දානයෙන් පසුව "මරිය නෝනක්කා" ගෙදරින් බැහැරව ගියේ හිස් අතින්මද නොවේ..... ග්‍රැනීගේ පරණ ඇදුම් පැළඳුම් රෙදි පොට්ටනියක් හා ඉතුරු කෑමබීමද රැගෙනය. මමී දුන් මුදලද ඇය අතමිට මොළවාගෙන හැට්ටය අස්සේ ගහ ගත්තේ අනේ එපා කියමින.....
" මරිය නෝනක්කා" අපේ ගමේ උපන් ගැහැනියක් නොවේ යැයිද...උන්දෑ දෙතුන් දවසකට වඩා ග්‍රැනී සමග කතා බස් කර නැති කෙනෙක් බවද.... ඇය ග්‍රැනීගේ මල ගම වෙලේ මෙතරම් ඇඩුවේ ඇයිද කියන ප්‍රශ්නය පුංච් මගේ හිතේ තදින්ම කාවැවි තිබුන දෙයක් විය.....අන්තිමේ එයට උත්තරය ලොකු මමී දුන් විට මට ඇතිවුනේ පුදුමයකි...
ඇය මීගමු ප්‍රදේශයේ කුළියට මළ ගෙවල් වල අඩන කාන්තාවක් බව කිව්වේ ලොකු මමීයි....
මීගමු මුහුදු වෙරළ ආසන්නයේම ජීවත්වන බොහෝ දෙනෙකුගේ කටහඬ බෙහෙවින් උස් ය... ඒ සාගර ඝෝෂාව පරයා කතා කළ යුතු නිසාය. ග්‍රැනීගේ මළ ගෙදර ආ මරියා නෝනක්කාගේද කට හඬ හරි සැරය. කුළියට අඬන කාන්තාවන්ට මහා හයියෙන් කෑගසා හැඬීමට එය පිටිවහලක් වි ඇති බවත්,මහ හඬින් කෑගසා හැඬීමට හැකිවීම මීගමුව කාන්තාවන්ගේ වෘත්තීය සුදුසුකමක්ද බව මට පසුව දැනගන්නට ලැබුනි.
ග්‍රැනීගෙ මිණිය ගෙදර තියෙනකම් රෑට ගමේ මිනිසුන් එකතුවී "පසන් පොත" එළිවෙනක්ම කියවිය... එහි අඩංගු වූයේ ජේසු තුමන්ගේ මරණය සහ එහිදී උන්වහන්සේ වින්ද දුක් වේදනා පිළිබඳවය. ....ග්‍රැනීගේ මළ ගෙදර පාළු කැපුණේ "පසන්" ගායනයෙනි.
එහෙම පසන් පොත කියනවා අහගෙන ඉදිද්දී මට ග්‍රැනී මතක් වී ඇත්තටම ඇඬුණාය.
අපේ ග්‍රැනීගේ මළගෙදර වැඩ ඉවර වෙනකම් මමීගෙ ඉස්කෝලේ හොදම යාළුවෙක් උන ජූලියා ආන්ටි ඇවිත් අම්මාට උදව් කලේ පුංච් අපි හතර දෙනා බලාගනිමින් ය. ඒ දිනවල ජූලියා ආන්ටි පුංච් අපටද කළු ඇදුම් අන්දවා ජූඩ්ට හා රෝසිට බත්ද කැවීය....හැමදාම කපුටන්ට මෙන් බඩගිනි වන මටත් තෝමස්ටත් ග්‍රැනීගේ මිනිය ගෙදර තියෙනකම් බඩගිනි නොවුන එක පුදුමයක් විය.
ග්‍රැනීගේ මළගම ඉවර වී නෑදෑයින් යාළුවන් සියල්ල අපේ ගෙදරින් යන්න ගිය විට,අපේ මමීට ග්‍රැනී නැති අඩුව විශාල ලෙස දැනෙන්න් පටන් ගෙන ඇත. ...මළගෙදර වැඩ කටයුතු ඉවර වෙනකම් මළගෙදර ඇවිත් සිටි ජූලියා ආන්ටි හා ගමේ ගෑනු පුංච් අපගේ අඩුපාඩු කෑම බීම ගැන බලා අපව සොදා ඇදුම් අන්දවා කන්න බොන්න දී, ඒ රාජකාරි කල නිසා මමී ග්‍රැනී වෙනුවෙන් අඩමින් දුක් වෙමින් සිටියත්.... මළ ගෙදර ඇවිත් නැවති හිටි අය එකින් එකා යන්න පටන් ගත් පසු මමීට... රෝසි හා ජූඩ් ගැන බලන්න සිදුවිය. ඒ වගේම ලොකු මමී කොළඹ නොයා තවමත් අපේ ගෙදර නැවති සිටිම මමීට පොඩි අස්වැසිල්ලකි විය.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *
Comentarios