top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරීන්♨️

♨️අයිරීන්♨️

(නොසැලෙන දියණි)

5 වෙනි කොටස



"අනේ ග්‍රැනී දැන් කවද්ද නත්තල එන්නේ කියන්නකෝ......මට ඉවසිල්ලක් නෑ නත්තල එනකම්....අපි දැන් කවද්ද නත්තල් සීයට ලියුම් අරින්නේ...?


" නත්තලට තව කල් තියෙනවා දරුවෝ...."


"ග්‍රැනී...මොකක්ද මේ ආගමන කාලය කියන්නේ...."


"ආගමන කාලය" කියන්නේ.... ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්ති මංගල්‍යය වන නත්තල් දිනට පෙර සති 4 ක් පුරා සිදු කරන ආධ්‍යාත්මික සූදානම්වීමේ කාලයයි....."


නත්තල් කාලය පුංච් අපට වගේම ග්‍රැනිටද ඉතා වටිනා සතුටු උද්‍යෝගමත් කාලයක් වේ....පල්ලියේ

දේව මෙහෙයවල් වලට සහභාගි වීමට යෑම වගේම නත්තල් අවුරුදු වෙනුවෙන් කෑම බීම හදන්න ගෙවල් පිරිසිදු කරන්න ග්‍රැනී දක්වන්නේ ලොකු උනන්දුවකී. නත්තල් කාලය තරම් ග්‍රැනී සතුටින් සිටිනා කාලයක් තවත් නැත. ග්‍රැනී ඒ වෙනුවෙන් අපවත් ලෑස්ති කරයි.

නත්තල් මාසය ආරංභ වන්නට පෙර සිට පුංච් අපට හා, ගෙදර හැමෝටම අලුත් ඇදුම් මසා තබන්න ග්‍රැනී ගන්නේ ලොකු වෙහෙසකී. ඇය ඇගේ කකුලෙන් පාගන රෙදි මැශිමෙන් ඇදුම් මසනා කල , මාත් රෝසිත් ඉතිරි වන රෙදි කෑලි වලින් අපේ බෝනික්කන්ටද ගවුම් මහන්න උත්සහ ගන්නෙමු.


"ග්‍රැනී....දැන් අපි අපේ ගෙදර , නත්තල් ගහ හදන්නෙ කවද්ද...?


"ඩැඩි නත්තල් ගහ සරසන්න දිලිසෙන බෝල තරු, තෑගි පෙට්ටි ගෙනාම අපි නත්තල් ගහ හදමු..."


"අපි ඊට ඉස්සර මේ ගෙදර ඉස්සරහ දොරේ මේන්න මේ ආගමන සැරසිල්ල එල්ලමු...."


මේ පළාතේ බොහෝ කතෝලික නිවෙස් වල උළුවහු, ‍දොර, ‍ජනේල, බිත්ති හා සිවිලිම් වල හරිත වර්ණ මල් කළඹවල්, ඉටි පහන් ආදියෙන් අලංකාර සැරසිළි කිරීම් කරයි. මෙය වැඩි වශයෙන් මේ මීගමුව, හලාවත අවට කතෝලික නිවෙස් වල සදා හරිත වර්ණ මල් කළඹ දැකිය හැකිය. මෙහි අර්ථය වන්නේ ඉදිරියේ දී උදාවන නත්තල හෙවත් ක්‍රිස්තු උප්පත්තිය මගින් එම නිවසට, එහි සාමාජිකයන්ට හා එම ප්‍රදේශයට ‍ක්‍රිස්තු සෞභාග්‍යය හා දිව්‍ය වරප්‍රසාද හිමි වීමටයි.


"ඒ උනාට අයිරීන් මේ ලංකාවේ මිනිසුන් ගොඩක් දෙනෙක් මේවා කරන්නේ එහි සැබෑ අර්ථය හඳුනා ගෙන නෙමේ.... ගෙවල් අලංකාරය පදනම් කර ගෙන පමණයි.


"එතකොට ඇයි ග්‍රැනී මේ කෑම මේසය මතත් මේ සදා හරිත සැරසිල්ල සමග ඉටිපන්දම් තබන්නේ.... ?


" ඉටි පහන්, සදාහරිත තුරු වැල් වලින් කෑම මේසය සැරසීම කරන්නෙත් චාරිත්‍රයකට....මේවා මේ ලංකාවේ කතෝලිකයන් හරියට දැනගෙන කරන දෙයක් නෙමේ.... මෙහි අර්ථය නම් ජේසුස් වහන්සේව පිළිගැනීමට එකහිතින් භක්තියෙන් හා යාච්ඤාවෙන් සූදානම් විය යුතු බව පසක් කර දීමයි..."


"අපේ ළමයින්ට නත්තල ගැන දන්නෙ නැති දේවල් මම්මා කියලා දෙන එක නම් ගොඩක් වටිනවා නේද කැතරින් ....." ග්‍රැනී අපට නත්තල ගැන කියා දෙන විස්තර අසාගෙන සිටින ඩැඩි ග්‍රැනීට ස්තුති කලේය.


" ඒ වගේම තමයි අයිරින් ,තෝමස් දැන ගන්න මේකත්..... පෙර සඳහන් කළ එම ආගමන ඉටි පහන් ආහාර ගැනීමට පෙර මේසය උඩ දල්වා තබා... දේව වචනයෙන් කොටසක් කියවා, යාච්ඤා කර ආහාර පාන බෙදා ගෙන අනුභව කිරීමේ චාරිත්‍රය අපි කල යුතුම දෙයක් ..."


ක්‍රිස්තුස්වහන්සේ ගැන, පැරණි ලස්සන නත්තල් කතා අසන්න පුංච් අපි නිවාඩු කාලයට ග්‍රැනී වටකරගෙන ඇගේ කාමරයේ ඇඳේ දිගාවි අසා සිටින්නේ ආසාවෙනි.


නත්තල් දවසට අපේ පවුලේ සියලු සාමාජිකයන් අපේ ගෙදරට ගෙන්නා ගැනිමට ග්‍රැනී උත්සහ කරයි. පවුලේ සියල්ල එකතු වි නත්තල සැමරීම බොහො කාලයක සිට ග්‍රැනී කරන දෙයක් බවත් එය සම්ප්‍රදායක මිහිරි මතකයක් තබාගත හැකි බවත් ග්‍රැනී කියයි. ග්‍රැනී අපේ පවුලේ අය සමග නත්තල් කාලය ගතකිරීමට ලොකු මමීට ආරාධනා කිරීමට අවශ්‍ය නැත... ඇය ඇගේ දරුවන්ගේ දෙසැම්බර් පාසැල් නිවාඩුව ලැබුන සැනෙන් අපේ ගෙදර විත් නැවති ඉද, අලුත් අවුරුද්ද ලැබුවාට පසු නැවත කොළඹ යයි. ඇය අපේ ගෙදර හැමෝටම තෑගි බෝගද රැගෙන එන තෙක් අපි නම් ඉන්නේ නොවිසිල්ලෙනි.. ... ඒ වගේම අපේ මමී, ග්‍රැනී ද ඒ පවුලේ අයට හා අපටද තෑගි ගෙනවිත් නත්තල් ගහ පාමුල තියන්නට අමතක නොකරයි. නත්තල් කාලය තරම් වැදගත් කාලයක් ග්‍රැනීට අපට තවත් නැත.


"ළමයි දැන් නත්තල් කාලේ විනෝද උනා ඇති....දැන් දෙසැම්බර් නිවාඩුව ඉවරයි ..අලුත් අවුරුද්දේ අලුත් පංති වලට යන්න පාඩම් වැඩ පටන් ගන්න ඕනේ....ඩැඩිට කියලා පොත් වලට පිටකවර දාගන්න..."

මගේ අය්යා තෝමස් හා මම හැමදාම උදේට පාසැල් යන්නේ ඩැඩිගෙ වාහනයෙනි. අප දෙදෙනාගෙ පාසැල් දෙකම ඇත්තේ වෙන්නප්පුවේ එක ලඟය. අපව පාසැල් වලට බස්සවා ඩැඩි ඔහුගෙ වෙන්නප්පුවේ රෙදි සාප්පුවට යයි. ඩැඩිගෙ අනෙක් මීගමුවේ රෙදි සාප්පුවේ තව ගැහැනු දෙදෙනෙකු වැඩ කරයි. ඩැඩි දහවලට ඔහුගෙ වාහනයෙන් ඒ සාප්පුවට ගොස් එහි ගිනුම් කටයුතුද බලන බව අපි දනිමු.

උදේට පාසැලට අපව බස්සා යන ඩැඩි ආපසු ගෙදර එන්නේ රෙදි සාප්පු වසා හොදටම හවස් උනයින් පසුයි.

පාසැල ඇරුනු පසු දහවලට අපව පාසැලෙන් ගෙදර එක්ක ගෙන යෑමට පාසැලට එන්නේ අපේ ආදරනීය ග්‍රැනීයි. ඇය සමග බස් හෝල්ට් තුනක් බසයෙන් පැමින, පසුව අපි පයින් ගෙදර දක්වා ඇවිදගෙන එන්නෙමු. ඒ එන අතරමග, සිල්වාගෙ සිල්ලර කඩේ නැවති ටොපියක් , බීම පැකට් එකක් ඉල්ලා නහයෙන් අඩන මටත් තෝමස්ටත්, ග්‍රැනී බැන බැන යමක් ඇරන් දෙන්නටද අමතක නොකරයි. අයිස් පැකට් උර උරා පාර දිගේ ගාට ගාට එන අපි දෙදෙනා ඉක්මන් කරවන ග්‍රැනී .....සමහර දවසට මගේ පාසැල් බෑගයත් උස්සාගෙන එයි.

පාසැල් ඇරී ගෙදර ආ සැනින් බත් කන්නට අපට උවමනාව තිබුනත්, මමීගෙන් අපට එයට ඉඩක් නැත. පාසැල ඇරී ගෙදර ආපසු ඇඟපත හෝදාගෙන කෑම මේසයට වාඩිවී අපි කෑම කෑ යුතු යැයි ඩැඩිගේ නීතියකී..... නමුත් ඩැඩි දහවලට ගෙදර නැති නිසා එය අපට වාසියක් වේ.... තෝමස් හා මම පාසැල් ඇරී ගෙදර විත් ඇඟපත සෝදාගෙන ආපසු , ග්‍රැනී අප දෙදෙනාට ලොකු බත් පිඟානක් බෙදාගෙන විත් කවන්නේ, කුස්සියට යන මැද මිදුලේ දිග ලෑලි පුටුවේ, වාඩි වී ගෙනය.


"මොනවද මම්මා මේ කරන්නේ......විකී කියලා තියෙනවා නේද, ළමයින්ට මේසෙට වාඩි වෙලා කෑම කන්න පුරුදු කරන්න කියලා .....මේ ලමයින්ට මේසෙට වාඩි වෙලා අතින් කන්න උගන්වන්නේ නැතුව මොනවද මම්මා, මේ හැමදාම මෙතන ඉදන් බත් කවන්නේ....? මමී ග්‍රැනීට කෑ ගසයි.


"පව්නේ කැතී.....ළමයි දෙන්නා ඉස්කෝලේ ගිහින් ඇවිත් බඩ ගින්නේ ඉන්නේ.....රෑට කෑම මේසයේ වාඩි වෙලා හැමෝම එක්ක එකට කෑම කනවනේ..."


"මම්මා තමයි මේ ළමයි දෙන්නා නරක් කරන්නේ...."


තෝමස් හා මම මැද මිදුලේ දුවමින් ...ග්‍රැනී ලඟට විටින් විට පැමින, බත් කටවල් කවා ගනිමින් සෙල්ලම් කරමින් බත් කන්නෙමු . ඒ වෙලාවට රෝසි හා ජූඩ්ද විත් ග්‍රැනීගෙන් බත් කවා ගනියි.


"බත් කාලා, අයිරින් තෝමස් එන්න හෝම් වර්ක් කරන්න ..."

මමී කියයි.


මමී එක්ක හවස් වරුවේ ඉස්කෝලේ "හොම් වර්ක්" කරන්න තරම් අකමැති දෙයක් මටත් තෝමස්ටත් තවත් නැත. ඒ අපි වැරදි කරන විට, ඇයගෙන් අපට ගුටි පාටවල්ද නොමදව ලැබෙන බැවිනි.

මමීගෙන් ගුටි පාරවල් කා බාගෙට අඬ අඬා ඉන්නා වෙලාවට ග්‍රැනී අපිව ලං කරගෙන බයිබලයේ ඇති පාඨ හා කතා කියා දෙයි. .... ලෝකය ආලෝකමත් කිරීම සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ

උපත සිදුවු අන්දම, උන්වහන්සේ මුළු ලෝකයටම ආලෝකය බෙදා දෙමින් මිනිසුන්ට දේවසේවය කිරීම ගැන ග්‍රැනී කියනා ලස්සන කතා අසන්න පුංච් අපි හතර දෙනා ඇය වටකරගෙන ඇගේ කාමරයේ ඇගේ ඇඳේ දිගාවි අසා සිටින්නේ ආසාවෙනි.

"අයිරින්, තෝමස් දැන් ඉස්කෝලේ නිවාඩු කාලෙ වැඩිපුර ඔරසම් කියන්න ඉගෙන ගන්න ඕනේ...හැමදාම රෑට නිදාගන්න ඉස්සර බයිබලයේ පාඨ කියන්නත් ඉගෙන ගන්න ඕනේ....කතෝලික අය හරි විදිහට දෙවියන් වහන්සේට යාච්ඥා කරන්න ඉගෙන ගෙන තිබීම හරි වැදගත්....."


ග්‍රැනී හැමදාම රෑට මාත් අය්යත් ඇගේ කාමරයට අඩගසාගෙන , ඇගේ ඇද ලග,දණ ගසාගෙන අපට යේසුස් වහන්සේට යාච්ඥා කරන හැටි පව් කමා කරගන්නා හැටි, උන්නාසෙට ස්තුති කරන හැටි, පිලිවෙලට කියා දෙයි. බයිබලේ පාඨ කියා දෙමින් අපව තව තවත් යේසුස් වහන්සේ කෙරේ බදවා තබන්නට ග්‍රැනී ලොකු වෙහෙසක් දරයි.

ඒවා අපට කිරිමද අනිවාර්ය දේ වේ. ජේසුස් වහන්සේ වෙත අප යොමු කරමින් ජිවිතයට හොද ගුණදර්ම ඉගැන්වීම ඇගේ පරමාර්ථය වේ.ඇගේ උනන්දුව නිසා, මමි ඩැඩීට අපිට ආගම ගැන කියා දීමට මහන්සි වීමට අවශ්‍යතාවයක් නැත ....


අපේ මමී කසාද බැද අවුරුදු දෙකෙන් දෙකට ළමයි හම්බ වෙන්න පටන් ගත්තාට පස්සේ.....අපේ පප්පා ආන්ත්‍රා වීමෙන් පසු ග්‍රැනී අපේ ගෙදරම නැවති හිඳින්නේ, මමීගේ හා අපේ දුක සැප බලන්නේ, දරුවන්ට ඇති ආදරය නිසාමය. කවුරු ගෙදර වැඩට හිටියත්, මම්මා.....මම්මා කියා කෑගසනා අපේ මමීට, ග්‍රැනී නැතුවම බැරිය. වැඩට හොර අපේ මමී ග්‍රැනී ගෙන් නොයෙකුත් වැඩ ගත්තත්....කිසි දේකට තරහා නොවන ග්‍රැනී මමී කියනා හැම වැඩක්ම කර දෙයි.


"අන්න මමී.... ලොකු මමිලා එනවා...ශෙනෙල් ,ශාමිනිත් එනවා.... අපට දැන් ඇති වෙනකම් ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ...."


" ඔන්න ඔය නම් ග්‍රේස් එන්නේ...... සෑම් එක්ක රංඩු වෙලා, තරහ වෙලා.... දවස් තුන හතරක් ළමයි එක්ක මෙහෙ ඉන්න බලාගෙන එන්නේ....අපොයි ඉතිං අපට තමා වැඩ වැඩි වෙන්නේ....ඔන්න අයිරින් තෝමස් ඔය දෙන්නට මම කියන්නේ, පිස්සො දෙන්නෙක් වගේ දවසම ඒගොල්ලෝ එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව....ලොකු මමි ගැන ඇහැ ගහගෙන ඉන්න... ලොකු මමීට ග්‍රැනීගේ අල්මාරිය අරින්න දෙන්න එපා...දන්නවනේ ලොකු මමී ආවම ග්‍රැනීගේ, ඔක්කොම හොද ඇදුම් මාල වළලු උස්සන් යනවා....කිසි දෙයක් මට ඉතුරු කරන්නෙ නෑ...."

ලොකු මමි අපේ ගෙදර එනවා දකින කල, අපේ මමී වේලාසන අපට ඇය ගැන පරික්ශාවෙන් ඉන්න කියයි.


මමීගෙ අක්කා වන ග්‍රේස් ආන්ට්, මමීට නොදෙවෙනි නොවේ..... කොළඹ පදිංචිව හිදින ග්‍රේස් ආන්ට් ඇගේ සැමියා සමග නිතර රංඩු සරුවල් කරගෙන, දරු දෙදෙනා සමග අපේ ගෙදර එන්නේ දින දෙක තුනක් ,අපේ ගෙදර නැවති හිදින්නටය. අංකල් සෑම් ඇවිත් ඇයවත් දරු දෙදෙනාවත් නැවත කොළඹ ගෙදර එක්ක යන කම් ඇය අපේ ගෙදර නැවති ඉදීම ගැන නම්,... අපේ මමී එතරම් කැමත්තක් නොදක්වයි.... ඒ ලොකු මමී අපේ ගෙදර ආවිට අපේ ගෙදර තිබෙන පරණ වටිනා ක්‍රිරිස්ටල් බඩු, පිත්තල බඩු, හා ග්‍රැනීගේ ඇදුම් පැලදුම් පවා නැවත යන විට ගෙනියන්න ලෑස්ති කර ගැනීමයි. ඊට අමතරව ඇය ග්‍රැනී ගේ අතේ තියෙන සියලු මුදල්ද වියදමට කියා ඉල්ලා ගනි. ඔවුන් අපේ ගෙදර ආ දවසට අපි ලොකු මමීගෙ පුතා ශෙනෙල් හා ශාමිනි සමග ඇතිවෙනකම් ආසාවෙන් සෙල්වම් කරන්නෙමු.


මොනව උනත් ග්‍රේස් ලොකු මමී, අපේ ගෙදර එනවාට ග්‍රැනී නම් කැමතිය. ඇය තව තවත් මහන්සි වී ලොකු මමී ශෙනෙල් ශාමිනි කන්න කැමති කෑම හදමින් ඔවුන්ට ආදරෙන් සලකයි. අපේ මමීට එතකොට ඇතිවන්නේ ඉරිසියාවක් බව ග්‍රැනීම කියයි.


"අනේ අපේ මම්මා පව් කැතී..... ඔයා මම්මගෙන් ඕනෑවටත් වඩා වැඩ ගන්නවා....මම කොච්චර කිව්වද මම්මට ඔස්ට්‍රේලියාවේ එයාගෙ බ්‍රදර් ලගට යන්න කියලා....කොහේද කැතීගෙ ළමයි බලාගන්න තියෙනවා කියලා මෙහේ ඉදන් දුක් විදිනවා....කොච්චර සැපට ඉන්න පුලුවන් කෙනෙක්ද අපේ මම්මා...."


පප්පාගෙ පෙන්ශන් එක ග්‍රැනීට ලැබුනත් ඇය ඒ මුදල් වලින් ඇයට කියන්න අලුත් ඇදුමක් පැලදුම්ක් වත් නොගනී. ග්‍රැනී, පප්පාගෙ පෙන්ශන් එකෙන් ඇගේ ලමයින්ට හා ලමයින්ගෙ ළමයින්ටත් වියදම් කිරීම පමනක්ම කරයි. ඉස්සර හොද සැපවත් ජීවිතයක් ගත කල ඇය, දැන් අපේ ගෙදර වැඩකාරකම් කරනවා යැයි ලොකු මමී අපේ මමීට නිතර බනින්නේ ඒ නිසයි. ඒ නිසා අපේ මමී... ලොකු මමී නැතහොත් ග්‍රේස් මමී අපේ ගෙදර එනවාට කැමති නැත.


"මම මේ ළමයි බලාගන්නේ කැමැත්තෙන් ග්‍රේස් ......මේ ළමයි ටිකක් ලොකු උනාම මම මගෙ ඔස්ට්‍රේලියාවේ බ්‍රදර් ලගට යනවා....ළමයි හතර දෙනෙක් කොහොමද කැතී තනියම බලාගන්නේ...ඒකයි මම එයාට උදව් කරන්නේ...."


දරුවන් හතර දෙනෙක් ඉන්න අපේ මමීගෙ දකුන අත උන, අපේ ග්‍රැනී නිසා, පුංච් අපේ මුළු ලොවම එළිය වී හැඩ වැඩ වි ඇත. අප හතර දෙනා ලොකු මහත් උනේ ග්‍රැනීගේ තුරුලේ ඇගේ රස කතා අසමින් ඇගේ ඇප උපස්ථාන ලබමින්‍ය. දරුවො එක ලග බිහි කරමින් කම්මැලි කමට ග්‍රැනීගේ ඇප උපස්ථාන ලබන මමී, එන්න එන්නම් කම්මැලි වන්නේ ග්‍රැනී නිසා යැයි ලොකු මමී ග්‍රැනී ඉස්සරහම අපේ මමීට බැන වදියි....


"ඔව්...මේ ග්‍රේස් කියනවා, වගේ මට දැන් වැඩ කරලා හරි මහන්සියි තමයි කැතී....මේ ළමයින්ගෙ වැඩ නිසා මගෙ ප්‍රෙශර් එකත් වෙලාවකට නගිනවා...ඩොක්ටර් කිව්වා දැන් මගේ ශුගර්ත් වැඩි වෙලා කියලා ...."


"ශුගර් නම් වැඩි වෙන්නේ මම්මා පැණි රස කෑම කන නිසයි...."


"උඹලා කන විදිහට තමයි මමත් කන්නේ....මම සීනි කන එකමයි ඔක්කොටම පේන්නේ..."

සීනි කතාවට හැමදාම ග්‍රැනීට කේන්ති යයි.


"මගේ ඈතින් අක්කා කෙනෙක් වෙන ලුසියා අක්කා අසනීප වෙලා ඉස්පිරිතාලේලු....මට එයාව බලලා එන්න යන්න ඕනේ කැතීරින්...."


"මම්මට තනියම කොළඹ යන්න බෑනේ...මේ තියෙන අසනීපත් එක්ක...මටත් ඉතිං මේ ළමයි ටික දාලා මම්මා එක්ක යන්න එන්න විදිහකුත් නෑනේ....."


"නෑ ..නෑ... ඒකට කමක් නෑ.... මට උඹලා ඕන නෑ...මට තනියම යන්න පුලුවන් ...පප්පා නැතිවුන දවසේ ඉදන් මම තනියම තමයි මගේ ගමන් බිමන් ගියේ...කොහේද ඉතිං කොල්ලෙක් වත් මට නෑනේ මම ගැන හොයලා බලන්න.. ...කෙල්ලො හැදුවොත් ඉතිං ඔහොම තමයි.. ..කෙල්ලො කසාද බැදලා ළමයි හදාගෙන එන එන ගානේ අම්මලාට තමයි කරදරේ, උදව් කරලා, බලාගන්න වෙන්නේ.....ඒත් ඉතිං කොච්චර කලත් හොදක් අහන්න ලැබෙන්නෙත් නෑ....උබලා කවුරුත් ඕනේ නෑ මම තනියම ගිහින් අක්කා බලලා එනවා...."


"මමී දැන් කොහොමද කොළඹ යන්නේ..."


"මම බස් එකේ යනවා....මොකෝ උඹලට වාහන තිබුනයි කියලා මාව එක්ක යන්න වෙලාවක් තියෙන එකක්‍ යෑ..."


"අනේ මම්මේ එහෙනම් මම්මා පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න.....මට මේ ළමයි ටික තනියම බලාගන්න බැරි බව මම්මා දන්නවනේ...."


"මට මගේ ගමනක් යන්න විදිහක් නෑ...ගෙයින් එළියට බහිනකොට අහන්නේ කවද්ද එන්නෙ කියලා ...උඹලට මම ගෙදර ඉන්න කම් අගයක් නෑ... මම ගමනක් ගියාම ගෙදර එනකම් ඉවසුමක් නෑ....කොච්චර කරත් හොදක් කියනවද.....?


ග්‍රැනී ඇගේ ඈතින් නෑයා වන අක්කා කෙනෙක් බලන්න කොළඹ ගියේ ඇය ඉතා රෝගාතුරව ඉන්නා බව ආරංචි වය. ගෙදරින් යන්න ඉස්සර අපව සිප වැලද, මමීට කරදර කරන්න එපා, හොදින් ඉන්න කියා ගෙදර හැමෝටම "ඔරසම්" කියා ගිය ග්‍රැනී .....බස් එකේ තනියම කොළඹ ගිය ග්‍රැනී....අනේ අපේ ආදර අහිංසක ග්‍රැනී .... නැවත අපේ ගෙදර ආවේ දවස් තුනකට පසුයි....එත් ඒ බස් එකේ ඇවිදගෙන නෙමේ.....හතර පස් දෙනෙක් උස්සාගෙන ආ......මීනීපෙට්ටියක දිග ගවුමක් ඇද අතට කකුලට සුදු මේස් දාගෙනය...😓.


කළු කුරුසය සහිත කොඩියක් ගෙදර ඉස්සරහ මිදුලේ ගහක එල්ලෙද්දි....ගමේ මිනිසුන් කළු සුදු ඇදුම් ඇදගෙන අපේ ගෙදරට ආවේ සූදු ඇදගෙන පෙට්ටියේ නිදා ඉන්නා ග්‍රැනී බලන්නයි. ග්‍රැනීගේ මීනි පෙට්ටිය ලග නොනවත්වා අඩන මමීව වත්තන් කරගෙන ඩැඩි ඇගේ ලගින් ඉදී.....


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

9 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page