top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරින්

♨️අයිරීන්♨️

නොසැලෙන දියණී

(හතරවෙනි කොටස)


ග්‍රැනී නිතර වෙන්නප්පුවේ වැල්ලට ගොස් ගෙනෙනා අලුත් මුහුදු මාළු, කරවල, වලින් අඩුවක් කවදාවත් අපේ ගෙදර නැත. ඇය අලුත් මාළු වලින් විවිධ රසට කෑම සදයි. මාළු ඇඹුල් තියල්, විනාකිරි මාළු, මාළු කරවෙන්න බැදලා, සුදට උයලා, බේක් කරලා හැම විදිහටම විවිධ රසට හදන කෑම , අපි කාබි අහවර උන විට ඉතිරි වෙන සියල්ල , ගෙදර වැඩට එන එළිසා හවසට ඇගේ ගෙදරට ගෙන යයි.


"මට මේ දවස් ටිකේ මාළු කාලා ඇති වෙලා ඉන්නේ...හොද පෝක් කෑල්ලක් ගෙනත් උයන්න කියලා මම්මට කියන්න කැතරින් . ...."


"අප්පේ...මගේ ආසම කෑම ...මම්මා හොදට බැදපු තුනපහ දාලා කළුවට උයන ඌරු මස් කරිය තිබුනොත් ඉතිං ...වෙන මොනවත් ඕනේ නෑ..."


"මම නම් ආස, දෙල් තම්බලා ඌරු මස් කරියත් එක්ක පොල්සම්බෝල තියෙන දාට.... බඩ පැලෙන්න කන්න පුලුවන් ඉතිං ..."


"ඔව්...මටත් ඔයා කියපු විදිහට කන්න ආස හිතුනා...මම මම්මට කියන්නම් ඌරු මස් කිලෝ දෙක තුනක් ගේන්න කියලා...මේ පලාතේ මිනිස්සුන්ගෙ ආසම කෑමක් නේ ඕක. ..."


"මොනව උනත් කැතරින් ඔයාගෙ මම්මා අපිත් එක්ක එකට ඉන්න එක නම් අපට ලොකු හයියක්...ගෙදර කෑම බීම ගැන එයා බලනවා වගේම, මේ ළමයි හතර දෙනා ගැන බලන එකම ඇති......"


"අනේ ඔව්...පව් අපේ මම්මා....මම කියන ඕන වැඩක් මට කරලා දෙනවා....සමහර වෙලාවට මට ළමයි එක්ක කේන්ති ගියත් මම බනින්නේ මම්මට...ඒත් කවදාවත් මම්මා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ....මම්මා නැත්නම් මම කොහොමද මේ ළමයි හතර දෙනා බලාගන්නේ....ග්‍රේස් නම් කොළඹ ඉදන් ආව දවසට මට බනිනවා මම ඕනෑවටත් වඩා මම්මාගෙන් වැඩ ගන්නවා කියලා ...."


"ඒක නම් ඉතිං බොරු නෙමේ කැතරින්....ඔයා මම්මගෙන් ඕනෑවට වඩා වැඩ ගන්නවා තමයි ..."


"කියන ලස්සන විතරක්....ඔයා ගෙදර වැඩට උදව් කරනවා නම් මට මම්මගෙන් වැඩ ගන්න ඕනේ නෑනේ...."


අපේ ගෙදර හැමෝම සමග අපේ ග්‍රැනීත් අප සමග ජීවත් වීම අපේ මුළු පවුලටම විශාල පහසුවක් , ලේසියක් ආශිර්වාදයක්ම වී ඇත. ඇයගේ දැඩි කැපවීම, ආදරය නිසා අපේ ගෙදර සියලු කටයුතු හොදින් කරගෙන යන්නටත්, දරුවන් හතර දෙනා බලා කියාගෙන හොදින් හදාවඩා ගැනීමටත් මමීට හැකියාව ලැබී ඇත. ග්‍රැනී විසින් අප වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් කරනා උදව් කියා නිම කිරිමට බැරි තරම් වටිනේය.


අපේ මමී ඩැඩිව කසාද බැන්දාට පසු.... මේ ගෙදර ඔවුන් දෙදෙනාට පදිංචියට දී ග්‍රැනී හා පප්පා කාලයක් ඔස්ට්‍රේලියාවේ ග්‍රැනීගේ සහෝදරයා ලඟ පදිංචි වි හිද ඇත. නමුත් අපේ මමීට කුළුදුලේ තෝමස් හම්බවෙන්න ආ කාලයේ ඔවුන් දෙදෙනා නැවත වෙන්නප්පුවේ අපේ මේ මහ ගෙදර පදිංචියට ඇවිත් ඇත්තේ ග්‍රැනීගේ උවමනාවටය. ඉන් පසු ටික කාලයකින් අපේ පප්පා (සීයා) හදිසියේ මිය ගිය පසු, මගේ ආච්චි නැතහොත් "ග්‍රැනී" අප සමග එදා සිට මේ ගෙදර දිගටම නැවති මමීට උදව් කරමින් හිදී.... එබැවින් අපේ මමී තව තවත් කම්මැලි උනා යැයි ලොකු මමී අපේ ගෙදර ආ දවසට කියයි.... ඇය අපගේ නිවසේ නැවත පදිංචියට විත් දැන් වසර දහතුනකට ලඟය. කාලය ගෙවි ගොස් පුංච් අපි ටික ටික ලොකු වෙමින් ග්‍රැනී මමී හා ඩැඩි වයසට යමින් හිදී....


මගේ මමීගෙ එකම සහෝදරිය නැතහොත් ලොකු මමී විවාහ වි කොළඹ පදිංචි වී හිදියි. ඇයටද දරුවන් දෙදෙනෙක් සිටින අතර, අපේ මමීට වෙන ලග නෑදෑයින් කවුරුත් ලංකාවේ ඇතුලත සිටින්නෙ නැතිලු... ග්‍රැනීගේ සියලු නෑදෑයින් දැන් පිට රට පදිංචිව හිදින බව ග්‍රැනී නිතර කියයි. කවදා හෝ ඇයත් පිටරට පදිංචියට යන්නට ආසාවෙන් සිටින බවත්, පුංච් අප හතර දෙනා නිසා ඇය තවමත් එය කල් දමමින් සිටින බව ඇය දන්න කියන හැමෝටම කියයි.


ඉංග්‍රීසින්ගේ කාළයේ පටන් අපේ ඩැඩිගෙ පරම්පරාවේ හැමෝම රෙදි වෙලෙන්දුන් වී ඉද ඇත....මගේ ඩැඩි රෙදි ව්‍යාපාරිකයෙක් ලෙස පරම්පරාවෙන් ආ වෙළඳාම ,රැකියාවක් ලෙස දැනට කරගෙන යයි. ඔහුට මී ගමුවේ හා වෙන්නප්පුවේ රෙදි කඩ දෙකක් ඇත . ඒ කාලයේ එවාහි හොද වෙළදාමක් සිද්ද උනත්, දැන් දැන් රෙදි සාප්පු, හැම තැනම බිහි වීම හේතුවෙන් දැන් අපේ රෙදි කඩවලට ඇති වෙළඳාම අඩුවි ඇති බව ඩැඩි කියයි. එකල තරම් ලොකු සරුවක් අපේ ගෙදර දැන් නැතත්, පේන්න තරම් ලොකු අගහිගකමක් නැතුව අප පවුලට ජීවත් වීමට හැකියාව දෙවියන් වහන්සේගෙ ආශිර්වාදයෙන් ලැබෙනවා යැයි ග්‍රැනී නිතර කියයි.


මට වැඩිමහල් අය්යා මේ වන විට අවුරුදු දොළහක් පමන වන අතර, මට භාල නංගි අවුරුදු අටක් හා මල්ලිට අවුරුදු හයක් වෙයි. මට තාම අවුරුදු දහයකී. අප දරුවන් හතර දෙනා ඉතා එකමුතුව සතුටින් මම්මා පප්පා හා ග්‍රැනී සමග වෙන්නප්පුවේ ජීවත් වන්නෙමු .


අප සියලු දෙනා ඉපදුන දවසේ සිට පුංච් අපව බලාගන්නේ අපේ ග්‍රැනීයි. අපි ඇයට ආදරෙට "ග්‍රැනි" කිව් අතර ඇය තරම් ඇගේ මුනුබුරු මිනිපිරියන්ට ආදරේ මිත්තනියක තව මෙරටේ නැතයි සිතෙන තරමට පුංචි අපට ඇය ආදරේ කරයි....


"අයිරීන්...තෝමස් ....ඔය ජූඩ්වයි රෝස්වයි බලාගන්න මමීට උදව් කරන්න.. .... මම අද පල්ලියේ ගෘහස්ත යාච්ඥා වට යනවා....මමීට කරදර කරන්න එහෙම එපා..."


"ග්‍රැනි...අපිත් පල්ලි යන්න එන්නද...?


"නෑ නෑ අද එන්න එපා....අද මම විතරයි යන්නේ...ඉරිදාට ගෙදර හැමෝම යන දවසට ඔයගොල්ලෝ ගිහාම ඇති..."


පුංච් නොවුනත් අපි හතරදෙන නාවා කවා පොවා පාසැලෙන් ගෙදර එක්කාගෙන එන ග්‍රැනී හවස් වරුවට අපට පාඩම් වැඩ කටයුතුද කියා දෙයි ....දවල් දවසේ මමිගෙ ගෙදර වැඩ කරගැනිමට හා, උයන් පිහන වැඩ වලටද ග්‍රැනී උදව් කරයි. ගෙදර වැඩට එන එළිසා ගෙවල් දොරවල් අතුපතු ගා, රෙදි සෝදා වත්ත පිටිය පිරිසිදු කර ගෙදර අස් පස් කර දෙන වැඩ වලටද ඇය උදව් කරයි. එළිසා වැඩට ආවා කියා ග්‍රැනී නිකන් ගෙදර වැඩක් නැතුව ඉන්න වෙලාවක් දකින්න නැති තරම්‍ය. දරුවන් හතර දෙනාගේ වැඩත් ගෙදර වැඩත් කරන්නේ නැති වෙලාවට, ග්‍රැනී මැහුම් ගෙතුම් ආදිය කරයි...නැතහොත් කෑම වට්ටොරු පොත් බලාගෙන අලුත් කෑම වර්ග , රස කැවිලි හදයි. ඇය හදන සියලු කෑම වර්ග වැඩි වේලාවක් නොයා වාශ්ප වී යන්නේ පුංච් උනත් අපේ බඩවල් ලොකු නිසයි. ග්‍රැනී ගෙදර රස කැවිල්ලක්, විශේෂ කෑම වර්ගයක් සෑදු වහා රැකියාවට යන අපේ ඩැඩ්ගෙ පංගුව ඇරන් තියන්නද අමතක නොකරයි.


"කැතරින්...මම මාකට් යන ගමන් වැල්ලට යනවා හොද මාළු, කකුළුවෝ ටිකක් ගේන්න...තව මොනවා හරි මාකට් එකෙන් ඔයාට ගේන්න ඕනද...?


"ග්‍රැනී මාත් එන්නද මාකට් යන්න...?


"අනේ ග්‍රැනී මාත් එන්නද...?


"ඔය ළමයි එක්ක මාකට් ගිහාම හරි කරදරයි....අරක මේක ඉල්ලනවා.....ඒ උනාට කමක් නෑ අයිරින් විතරක් එන්න මාත් එක්ක යන්න...." ග්‍රැනී කවදත් තෝමස් ,ජූඩ් හා රෝසිට වඩා මට ආදරේ කරයි.


"අනේ ග්‍රැනී මාවත් එක්ක යන්න...මට බඩු මලුත් උස්සාගෙන එන්න පුලුවන් ..." තෝමස් ඇවිටිලි කරයි.


"එහෙනම් මමීගෙන් අහල එන්න...නැත්නම් දෙන්නවම ඩැඩි ආවාහම හොයයි...."


අපේ ගෙදර දරුවන් හතර දෙනත් මමී ඩැඩි සමග අපේ ග්‍රැනී ද ජීවත් වීම අප ගෙදර සැමටම විශාල පහසුවක් , ආශිර්වාදයක්ම වි ඇත. දැන් අපේ ඩැඩි ගේ බිස්නස් ඒ තරම් හොද නැති බැවින්, ග්‍රැනීට ලැබෙන පප්පගෙ පෙන්ශන් එක ඇය අපේ ගෙදර අය වෙනුවෙන්ම වියදම් කරයි. ඒ නිසා මමීට ගෙදර වියදම පියවා ගන්නට පහසු වි ඇත.


අපේ ග්‍රැනීට හා පප්පාට දියණියන්ම දෙදෙනෙක් සිටි නිසාත් ග්‍රැනී පුතුන්ට ගොඩක් ආදරය කරන නිසාත් ...., ග්‍රැනී අපේ මමීට වඩා ඩැඩිට ආදරේ යැයි අපේ මමි නිතර නෝක්කඩු කතා කියයි. ග්‍රැනී අපේ ඩැඩිට අමතන්නේ සන් කියායි...... නිතර ඩැඩි කන්න කැමති කෑම වර්ග හදා, ඒවා අපට නොපෙනෙන්නට කුස්සියේ කබඩ් එකේ හංගලා තියාගෙන ...., ඩැඩි වැඩ ඇරි ගෙදර එනකම් හවසට බලා ඉදි..... නමුත් ඩැඩි යාලුවො එක්ක බීගෙන රෑ වී ගෙදර ආ දවසට නම්, මමීටත් කනේ ඇගිලි ගහ ගන්න තරම් ඩැඩිට ඉංග්‍රීසියෙන් බනී..... ග්‍රැනී මොනවා කියා බැන්නත් අපේ ඩැඩී ග්‍රැනීට හරි ආදරෙයි. ඒ අපේ මුළු පවුළම බලාගන්නේ ඇය නිසායි.


එළිසා සමග ගෙදර සියලු වැඩරාජකාරි කරනා ග්‍රැනී, මොන වැඩ රාජකාරි තිබුනත් ...සෑම ඉරිදාම උදේ පල්ලියේ දේව මෙහෙයට යන්නට නම් අමතක නොකරයි. ඊට අමතරව බදාදා හවස ගෘහස්ත යාච්ඥා වටද ඇය යන්නේ ලොකු කැමැත්තකිනි. ඇය ඒ ගමන යන්නේ නම් අල්ලපු ගෙදර ජොසිපින් ආච්චි සමගය. බොහෝ වෙලාවට බදාදා හවස් වරුවට ගෘහස්ත යාච්ඥා වට සහභාගි වන්නේ වැඩිහිටි ගැහැනු අය පමණී.


මමී ඉරිදා උදේ වරුව හා බදාදා හවස් වරුව ග්‍රැනීට නිවාඩු වෙලාවන් ලෙස වෙන්කර තබන්නේ සතියේ ඉතිරි දවස් පහම පුංච් අප බලාගන්නට, හා ගෙදර වැඩ කිරීමට ග්‍රැනී , කරනා උදව්ව හා මහන්සිය වෙනුවෙන්‍ය.


ඉරිදා ට රෙදි කඩ වසා දමා ඩැඩි ගෙදර ඉන්නා නිසා...එදිනට ඔහු මමීගෙ ගෙදර වැඩට සුළුවෙන් උදව් කරන්නේය.


ඉරිදාට ග්‍රැනී මාත්, තෝමස් සමග උදේ නමය වන විට ඉරිදා පල්ලියේ දේව මෙහෙයට සහභාගි වන්නට යන්නේ ලොකු උද්‍යෝගයකිනි. එම ගමනට ඇය සෙනසුරාදා හවස් වරුවේ සිට පේවී ලෑස්ති වෙයි. ඇදුම් හෝදා මැද, පුංච් අපවද ඒ ගමන යන්නට ලෑස්ති කරමින් උනන්දු කරවයි.

ඉරිදා උදේ පල්ලියේ දේව මෙහෙයට, ග්‍රැනී

අය්යත්, මාවත් බලෙන් කැදවා ගෙන යන්නේ... කතෝලික ආගම ගැන බයිබලයේ පාඨ ගැන අපට හොදින් ඉගැන්විමට අවශ්‍ය නිසා බව ඇය මමීට කියයි. ඉතා භක්තිමත් කිතුනු කාන්තාවක් වන අපේ ග්‍රැනී ...පුංච් අපව යේසුස් වහන්සේගේ ධර්මය කෙරේහි භක්තිය ඇති වන සේ කරුණු කියා දෙමින් කරුණාවෙන් උවමනාවෙන් අපවද ජේසුස් වහන්සේ වෙත යොමු කරවයි.


ජුඩ් හා රෝසී පුංච් වැඩි නිසා ඇය ඉරිදාට මමීට හා ඩැඩිට ඔවුන් පල්ලියට ගෙන ඒමට භාර දෙයි. පල්ලි යෑමට අකමැති ඩැඩි ....ග්‍රැනී නිසා අකමැත්තෙන් හෝ ඉරිදා උදේ මමීත් රෝසි හා ජූඩ් සමග උදේ දහයේ දේව මෙහෙයට සහභාගි වෙයි. ගෙදර සියල්ලෝටම ඉරිදා උදෑසන වරුව පල්ලියේ දේවමෙහෙය වෙනුවෙන්ම වෙන්කර ඇත්තේ ග්‍රැනී යි.


පුංච් අපට තිබෙන හොදම ඇදුම් පැළඳුම් වලින් අන්දා සරසා, පල්ලි යෑමට ග්‍රැනී මගෙ කොන්ඩය පීරා රිබන් පටි ගැට ගසා හැඩ වැඩ කරයි. මේස් සපත්තුද දමා වේලාසන අප පල්ලි යෑමට ලෑස්ති කර අපට උදේ කෑම කන්නට දෙන ඇයද වටිනා කියන ලස්සන ගවුමකින් හෝ කොට සායකින් සැරසී සපත්තු දමා, තොල් ආලේපනද උලා ගනියි. ඇය ඉරිදාට පල්ලි යන්න සැරසේන්නේ මගුල් ගේක යන්න සැරසෙන ආකාරයටය. පයින් ඇවිදින දුර තිබෙන පල්ලියේ දේව මෙහෙයට ඇය අපවද කැදවා ගෙන යන්නේ මගුල් ගෙදරක යන තරම් ජැන්ඩි පහටය.


මමී ඩැඩි ජුඩ් හා රෝසි සමග ,ගෙදර ලඟ තිබෙන පල්ලියට ඉරිදාට එන්නේද ඩැඩිගේ කාර් එකෙන්... ඒ රෝසි වඩාගෙන එන්නට ඩැඩි කම්මැලි නිසයි. එදිනට අපේ මමි ලස්සන හිර කොට ගවුමකින් සැරසී අඩි උස සපත්තු දමා, තොල් රතු කර හෑන්ඩ් බෑගයක්ද ගෙන මගුල් ගෙදරක යන ලෙස සැරසී පල්ලියට යයි.


ඩැඩි හා මමී පල්ලියේ බංකු වල වෙනම පැත්තක වාඩි වෙන අතර මමත් අය්යත් ග්‍රැනී ලග වාඩි වි ඇගේ අනසක යට කම්මැලි කමට හිදින්නෙමු. රෝසි හා ජූඩ් මමි ඩැඩි සමග නිදහසේ ඉන්නා එක ගැන තෝමස්ට හා මට ඇත්තේ කේන්තියකී.


අපට උදේ දහයේ දේව මෙහෙයට වේලාසන ගෙදරින් එන්නට සිදු වන්නේ ග්‍රැනීට අවශ්‍ය ලෙසය. එදිනට ඇය අපිට පල්ලියේ යාච්ඥා කරන ආකාරය, නැතහොත් ඔරසන් කියන ආකාරය, දෙවියන්ට ස්තුති කරන ආකාරය හැමදෙයක්ම පැහැදිලිව කියා දෙයි. ඒ දේව මෙහෙය අතර තුර අපට කෑකෝ ගැසීම, රංඩු වීම, හයියෙන් කතා කිරිම, අත නහයේ දැමීම, ඈනුම් ඇරිම තහනම්‍ය. ගෙදරින් එන විට මග දිගට ඇය කියා දෙමින් එන නීතිරීති අප පල්ලිය තුලදී පිලිපැදිය යුතු දේවල්ය.


ඉරිදා උදෑසන දේවමෙහෙයත් ,සෑම මසකම අවසන් ඉරිදාට පල්ලියේ දේව මෙහෙයෙන් පසු පවත්වන තේ පැන් සංග්‍රහයක්ද තිබේ. ඒ තේ පැන් සංග්‍රහය තිබෙන දිනයට නම් පල්ලි යන්නට මමත් තෝමසුත් බොහෝ කැමතිය. පුංච් අපි වැඩිපුර පල්ලි යන්නට කැමති දවස ඒ දවස වේ...


පල්ලියේ තේපැන් සංග්‍රහය තිබෙන ඉරිදා දිනට පෙර දිනයේ ග්‍රැනී පල්ලියට ගෙනයාමට බටර් කේක් එකක් අනිවාර්යයෙන්ම සාදයි. ඇයගේ බටර් කේක් කෑමට පල්ලියේ දේව මෙහෙයට එන ග්‍රැනී ගේ වයසක යාලුවො බලා සිටින්නේ බොහෝ ආසාවෙනි. ඒ තරමට ඒ බටර් කේකය බොහෝ රැසැතිය.


හැම මාසයකම අන්තිම ඉරිදා ට පල්ලියේ ඇති දේවමෙහෙයෙන් පසු ඇති තේ පැන් සංග්‍රහට පල්ලි එන හැමෝම යම්කිසි කෑම පිගානක් පල්ලියට රැගෙන එති. එය කතෝලික හැමෝම නොවරදවාම සිදු කරන,පුරුද්දකි. එබැවින් අපට හැම මාසයේම අවසන් ඉරිදාට හැමෝම ගෙවල් වලින් ගෙනෙනා කෑම පිගන් වල ඇති විවිධ කෑම වල රස බැලීමට ලැබේ... ..පුංච් අපි ඒ ඉරිදාට නම් නොවරදවාම බොහෝම ආසාවෙන් පල්ලියට යෑමට සැරසෙන්නෙමු.


"අයිරින්...පල්ලියේ තේපැන් සංග්‍රහයට ගිහාම අත් පිරෙන්න..කට පිරෙන්න කෑම කන එක නවත්වන්න..හරි කැතයි එහෙම කනකොට...." ග්‍රැනී මට පල්ලියේ දේව මෙහෙය ඉවරවී ගෙදර යන ගමන් කියයි..


"ඇයි...මම විතරද..?තෝමසුත් එහෙමනේ කන්නේ..."


"ලැජ්ජ නැද්ද ළමයි ..ගෙදර කන්න නෑ වගේ මේසේ උඩ තියෙන කෑම පොරකකා කන්න හදන්නේ...අනෙක් දවසේ මම එක්ක යන්නෙ නෑ ඔය දෙන්නව..."ග්‍රැනී ගෙදර යන ගමන් අපට බැන බැන ගෙදර යයි.


පල්ලියේ දේව මෙහෙයට සහභාගි වීම හා අපව නැවත ගෙදර කැදවාගෙන ඒම ග්‍රැනීටම, මමී හා ඩැඩි භාරදී ඇත්තේ අපි කරනා නරක වැඩ නිසාද කියත් සැක සහිතය. එදිනට ඔවුන් පල්ලියේදී අපි ගැන සොයා නොබලාම ඉදී. හරියට අපි දෙන්නව අදුනන්නෙ නැති ගානටම මමී ඩැඩි පසු පෙලක වාඩි වී යාච්ඥා කරයි. ග්‍රැනීට අපි දෙන්නව බාරදි ඔවුන් ජූඩ් හා රෝසී සමග නිදහසේ දෙව මෙහෙයට සහභාගි වී ආපසු ගෙදර යන්නේද ඩැඩිගේ වාහනයෙනි.


ග්‍රැනී පල්ලි ආ දවසට, දේව මෙහෙයෙන් පසු, ඇගේ වයසම පරණ, අලුත්, යාළුවන් සියල්ල සමග කතා බහා ඉවර කර නැවත එන තුරු, තෝමසුයි මමයි පල්ලියේ ඇති ළමා සෙල්ලම් පිටියේ... යාළුවො සමග ඇතිවන තුරු සෙල්ලම් කරන්නෙමු. ග්‍රැනීගෙ කතා බහ ඉවර උන පසු අප තිදෙනා නැවත ඇවිදගෙන ගෙදර එන්නෙ දහවල් ආහාරය පසුවිගෙන යන මොහොතටය. අප ගෙදර එන පාරේ අතරමග ඇති සිල්වාගෙ සිල්ලර කඩයට ගොඩවන ග්‍රැනී ගෙදර ගෙනයන්නට කෑම බඩුත් ගන්නට අමතක නොකරයි. ඒ ගමන් මටත් තෝමස්ටත් අයිස් පැකට් දෙකක්ද ඇරන් දී අපේ හිත් සනසයි. ග්‍රැනීගේ බඩු මලු එක අතකින් උස්සාගෙන අනෙක් අතින් අයිස් පැකට් එක උර උරා අවට වටපිටාව බලමින් අපි පාර දිගේ එන්නෙ සතුටිනී.....


-හෙට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

5 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page