top of page
  • Writer's picturePrisila Godahewa

♨️අයිරීන්♨️

♨️අයිරීන්♨️

නොසැලෙන දියණි)

(3 තුන්වන කොටස)


"තෝමස් ඔය දොර පලුවෙ නැගලා ඔන්චිලි පදින එක නවත්වන්න.....ඕක ඇගට කඩාගෙන වැටෙයි ළමයෝ....මේ ළමයින්ට එක විදිහකට ඉන්න බැරි හැටි ...රෝසී... ඔය ජනේලය උඩට නගින්න එපා....වැටෙයි .....අනේ මන්දා කැතී, ඔයාට නම් මේ ළමයි ගැන බලන්න උවමනාවක් නෑ....මෝස්තර කර කර ඉන්නවා....මම නැත්නම් මේ ළමයි මොනව කර ගනීද දන්නෑ...." ග්‍රැනී(ආච්චි) කෑ ගසයි.


"ග්‍රැනී අපි අද හවසට වැල්ලට යමුද...ඩැඩි හැමදාම වැඩ ඇරිලා ගෙදර එන්නෙ රෑ වෙලා, අපට ඉතිං කොහේවත් යන්න විදිහක් නෑ...."


"මමීගෙන් අහන්න, මාත් එක්ක, යන්නද කියලා ....හැබැයි මට රෝසියි ජුඩ්වයි නම් එක්ක යන්න බෑ...."


"නෑ ග්‍රැනී ....අයිරිනුයි මායි විතරක් එක්ක යන්න ..."


"අපෝ දැන ගත්තොත් රෝසි අඩයි..."


"අපි රෝසි, හවසට මමී එක්ක නිදාගන්න වෙලාවට , වැල්ලට යමු...එතකොට ග්‍රැනීට අලුත් මාළුත් ඇරන් එන්න පුලුවන් ...මම හරි ආසයි හවසට මාළු අල්ලන්න මුහුදෙ යන බෝට්ටු බලන්න ..."


"නෑ...නෑ මට හවස මාළු ඕන නෑ....මම අද උදේ ලෙල්ලමට ගිහින් අලුත් මාළු ගෙනාවා...."


"අනේ ග්‍රැනී අපි යමුකෝ...."


"බලමු බලමු...."


ග්‍රැනී සමග මාත් තෝමසුත් වැල්ලට යන්නට හරි කැමතිය. අපේ ගෙදර ඉදන් වෙන්නප්පුවේ වැල්ලට කිලෝමීටර් දෙකකට වඩා නැති නිසා අපි ඇවිදගෙන ගොස් මුහුදු සුළං වැදෙමින්, සිප්පි කටු ඇහිදින්න, මුහුද පාගන්න ආස කරන්නෙමු. අපි වගේම ග්‍රැනී උනත්, මොන ඇඟේ අමාරු තිබුනත් ගෙදර නොඉද, එහෙ මෙහෙ ඇවිදින්න, කඩේ යන්න රස්තියාදුවේ යන්න ආසාවක් දක්වයි.


තෝමස් හා මම පාසැල් නොයා ගෙදර ඉන්නා ඕන වෙලාවක, ගෙදර ඇතුලේ එහෙ මෙහේ දුවමින් සෙල්ලම් කරන්න ජූඩ් හා රෝසි සමගයි.

"අනේ කිඩ්ස්....මේ සාලේ බඩු පෙරලගෙන සෙල්ලම් කරන්නෙ නැතුව වත්තට ගිහින් සෙල්ලම් කරන්නකෝ...." ග්‍රැනී කෑ ගසයි.

ඇය අපට ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙන්ද කතා කරන අතර ඩැඩි අපට ඉංග්‍රීසියෙන් විතරක්ම කතා කරයි. මමී අපි හතර දෙනාට කතා කරන්නේ ග්‍රැනී කතා කරනා ආකාරයටය. එබැවින් දරුවන් හතර දෙනාම වන අපට ඉංග්‍රීසි හා සිංහල භාශා දෙකම හොදින් කතා කිරීමට හැකියාව ලැබි ඇත.


"මේ ළමයින්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නෑනේ...ගේ අස්සෙමයි දුවන්නේ, සෙල්ලම් කරන්නේ....මගේ විදුරු බඩු එහෙම කඩන්නවකෝ බලන්න ...." මමීද කෑගසයි .


අපේ ගෙදර සාලේ මැද ඇති විශාල ආරක්කුවෙන් වෙන්වන අනෙක් සාලයේ, පුටු අටක කෑම මේසයක් තබා ඇත. කෑම මේසය හා පුටුද හොද ශක්තිමත් තේක්ක වලින් කැටයම් කර නිමවා ඇත. මේසය උඩට දමා ඇත්තේ රේන්ද, බීරලු වලින් ගොතන ලද සුදු මේස රෙද්දකි. එය ග්‍රැනීගේ අතින් නිමවූවක් බව මමී කියයි. මේසය මැද ප්ලාස්ටික් මල් පොකුරක්, අලි තුන් දෙනෙක් උස්සන් ඉන්නා පිත්තල පාත්තරයකට දමා ඇත. කවුරු හරි අමුත්තෙක් ගෙදරට එන දවසට විතරක් ග්‍රැනී මල් ශාලාවෙන් අලුත් ඇන්තූරියම් ,

බාබන්ඩේසියා මිශ්‍ර මල් පොකුරක් ගෙනවිත් වීදුරු උස මල් බදුනකට දමා කෑම මේසය මැද්දෙන් තබයි. පුංච් අපි නිතරම කෑම මේසය වටේ දුවමින් සෙල්ලම් කිරීම නම් මමීගෙ කේන්තියට හේතුවේ.


අපේ ගෙදර කුස්සිය ගැන කියනවා නම්, එතරම් කාර්‍ය්බහුල වෙන කුස්සියක් මේ පලාතේ වෙන ගෙදරක නැති තරම්‍ය. අපේ ගෙදර මොන අමාරුකම් තිබුනත් කෑම බීම වලින් නම් අපට අඩුවක් නැත. නිතරම ගෙදර වැඩ කරන එළිසා හා ග්‍රැනී ගැවසෙන කුස්සියේ, දුම් දමමින් මොනවා හෝ ලිප උඩ ඉදෙයි...බැදෙයි...තැම්බෙයි.

අපේ ගෙදර කුස්සිය පැත්තට යන විට , හතර පැත්තකින් වටවු මැද මිදුලක් ඇත. මැද මිදුලට මුහුන දා එක කොනක කුස්සිය ඇති අතර අනෙක් තුන් කොන වටවි ඇති වැරෙන්ඩාවට මුහුණ දා නිදන කාමර දෙකක් ඇත. වැරැන්ඩාවේ කොන් දෙකක දිග ලී බංකු දෙකක් තියා ඇත්තේ කුස්සිය පැත්තෙන් ගෙදරට එන කාහට උනත් වාඩි වෙන්නත්, කුස්සියේ වැඩ කරන අයට විවේක ගන්නටත්ය....ඒ වගේම, ඒ වැරෙන්ඩාවේ කොට පුටු දෙකක්ද ඇත. ඒ පිටින් ගෙදර වැඩ කරන්න එන්නන්ට හෝ, අපේ කිළිට් රෙදි ගෙනියන්න එන ඩෝබිට වාඩි වෙන්නටය.


බොහෝ වෙලාවට කුස්සිය පැත්තෙ ඇති දිග ලී බංකුවේ වාඩිවී ග්‍රැනී .... රෑට දවල්ට උයන්න හදන එළවළු කොළ ජාති සුද්ද කරනු පෙනේ...එසේ නැතහොත් ඇය එහි වාඩිවී රේන්දයක් ගොතනවා හෝ ඇදුමක් මසමින් සිටිනු දක්නට ලැබේ.


පොල් ගස් වලින් වටවු ගෙයි ඉදිරිපස මිදුල සුදු වැලි දමා සකසා ඇත. එය ඉතා පිරිසිදුව, පිළිවෙළට ඉදල් පාරවල්, මෝස්තරයකට පෙනෙනා ලෙස ලස්සනට අතුගාන්නේ ගෙදර වැඩට දිනපතා එන, එළිසා විසිනි. එය කරන්න අපේ මමි එළිසාටම පවරා ඇත. ඒ ඇය ඒ තරම් ලස්සනට ඉදල් පාරවල් මිදුලේ සිටින්න මෝස්තරයකට වැල්ල අතුගා දමන නිසයි .

අපේ ගෙදර වත්තේ වටේටම ඇති පොල් ගස් නිසා, අපේ ගෙදරට ලැබෙන පොල් පළදාව නම් කිසි දින අඩු නොවේ. ග්‍රැනී ගෙදර කෑමට ගන්න අවශ්‍ය පොල් ටික ගේ පිටිපස්සේ ගොඩ ගසා තබා, වැඩිපුර පොල් ටික මාකට් එකේ මුදළාලි කෙනෙකුට විකුනා මුදල් ගනී.


ඇය පොල් මුරය, කඩපු දවසට හෝ බිම තිබී අහුලා ගන්නා වේලුනු පොල්, සුද්ද කර මටත් තෝමස්ටත් එහි ඇතුලත ඇති පොල් මද කන්නට දෙන්නේ මමිට හොරෙන්ය. ජූඩ්ට හා රෝසිට පොල්මද කෑමට වාසනව නැත. ඒ ඒගොල්ලෝ බොහෝ පොඩි අය නිසා බව ග්‍රැනී කියයි. ඒවා කා බඩේ අමාරුවක් හැදුනොත් එයට, මමීගෙන් බැනුම් අහන්න වෙන්නෙත් ග්‍රැනීට‍ බැවිනුයි. එබැවින් අපි පොල් මද කෑ දවසට, යන්තම් පොඩි බඩේ අමාරුවක්, කැක්කුමක් කිව්වත් ග්‍රැනී අපේ බඩේ අමාරුවට යම්කිසි අමුතු බෙහෙතක් කුස්සියේ උස කබඩ් එකෙන් ගෙන හොරෙන් අපට බොන්නට දෙයි.


අපේ ගෙදර ඕන කෙනෙක්ගෙ බඩේ අමාරුවකට දෙන්න ඇය විසින් හදන ලද අමුතු බෙහෙතක් කුස්සියේ උස කබඩ් එක තුල සගවා ඇත. එය උස වීදුරු බෝතලයකට සදා දමා, කිරළ මූඩියකින් වසා තබා ඇත්තේ බොහෝ කාලයක ඉදන් ය. ඉද හිට ග්‍රැනී එම බෝතලයට, ඩැඩිගෙ මත්පැන් කබඩයේ ඇති බ්‍රැන්ඩි බෝතලයෙන් ටිකක් එම බෝතලයට එකතු කරන්නේ අපට හොරාය.


"මොනවද ග්‍රැනී ඔය බෝතලයේ අඩියෙ තිබෙන්නේ...වසද..?


"පිස්සුද ළමයෝ...මේ හොද බෙහෙතක්.. මේකේ තියෙන්නේ සාදික්කා, කරාබු නැට්, කරදමුංගු ..මේවා තලලා බෝතලයට දාලා ඒකට බ්‍රැන්ඩි දාලා පල්වෙන්න ඇරියම හොද බෙහෙතක් තමයි බඩේ අමාරුවට...."


"අනේ ග්‍රැනී අපට චුට්ටක් බොන්න දෙන්නකෝ..."


"නෑ ..නෑ..මේවා එහෙම ලෙඩක් නැතුව බොන්න හොද නෑ..."


එහෙම කිව්වත් ඇය මටත් තෝමස්ටත් බෝතලේ ඇති බෙහෙතෙන් කන් හැන්දක ප්‍රමානයක් අපේ කටට වක් කරයි. එහි කට කාරවා යන රසයක් තිබුනත්, ඉද හිට ඒ බෙහෙත බොන්න ආසාවෙන් ,මගෙත් තෝමස් ගෙත් බඩ නිතර කකියන්න ගනී.


දෙල් වාරයට අපේ වත්තේ ඇති රට දෙල් ගස් වල අපට වගේම අපේ ගෙදර අවට ගෙවල් වල හැමෝටම ඇති වෙන්න කන්න ගහේ කොළ ගානට ගෙඩි හැදෙයි.... දෙල් කඩපු දවසට ග්‍රැනී, ඒවා අවට ගෙවල් වල අයටත් ඇතිවෙන්න බෙදා දෙයි. එම දෙල් ගහ නම් අපේ ගෙවල් අවට ඉන්නා දුප්පත් මිනිසුන් වෙනුවෙන්ම දෙවියන් මැවු ගසක් කියා ග්‍රැනී නිතර කියන්නේ...වටපිටාවේ අයට දෙල් කඩා බෙදනා ගමන්‍ය. දෙල් තම්බා, කිරට උයා, වේලා මැල්ලුම්, එසේත් නැත්නම් පැනි දැමු වේලපු දෙල් මේ අවට ගෙවල් වල අයටද වරදින්නෙ නැත. බොහෝ විට ඒ අපේ වත්තේ දෙල් ගස් වලින් හැදු කෑම වේ.


"මම්මේ එළිසා උයන කෑම වල තෙල් වැඩියි...විකීට කොලොස්ටරෝල් වැඩි වෙනවා ඔහොම කෑවොත් ...., කෑමට ඔය තරම් පොල් කිරි දාලා උයන්න එපා මම්මේ.. ..."


"අනේ නිකන් හිටපං ...අපි උයන කෑම වල තමයි තෙල් වැඩි... කාලා ලෙඩ හැදෙන්නේ.... විකී යාලුවො එක්ක ගිහින් ගිනි වතුර බීලා එනවා උඹට ඒවා පේන්නෙ නෑ...."


එළිසා හෝ ග්‍රැනී ගෙදර, උදේට රෑට දවල්ට කොයි වේලක කෑම ඉව්වත් හැම කෑම වේලකටම යහමින් පොල් ගෙඩියක දෙකක කිරි, දමා උයන්නේ ලෝභ නැතුවමය. ඒ වගේ පොල්තෙල් බේරෙන්න හදන කෑම වල රස නම් කියා වැඩක් නැත.... වත්තේ දෙල් ,පොල් , වැල්ලෙන් ගේන අලුත් මාළු, නිසා අපට ලැබෙන රස කෑමෙන් බීමෙන් කවදාවත් ගෙදර අඩුපාඩුවක් නම් නොදැනෙයි.


අපේ ගෙදර හැම දෙයක්ම ඉස්සර තරම් සරුවට නැතත්, ගමේ අනෙක් මිනිසුන්ට පේන්න හෝ උජාරුවෙන් සිටිම නම් ග්‍රැනී ,ඩැඩි මමි තුන්දෙනාම කරන්නකි. ඉස්සර මමීලගෙ ගෙදර, පොඩිකාලේ තිබුන කිසිදේකින් අඩු පාඩුවක් නැති සරුසාර ජීවිතය දැන් හෙමිහිට අපේ ගෙදරින් නැතිවෙමින් යමින්, අඩුපාඩු කම් දැනෙන තත්ත්වයට පත්වෙමින් ඇත. ඒ අපේ පප්පාගෙ මළගමෙන් පසු යැයි ග්‍රැනී නිතර කියයි. අපේ පප්පා රස්සාවෙන් අස්වී පෙන්ශන් ගියාට පසු, ඔහුට ලැබුනු පැන්ශන් එකට අමතරව, නොතාරිස් කෙනෙක් ලඟ ටයිපින් වැඩද කර හරි හම්බ කල කෙනෙක්ලු. ඒ අමතර ආදායම් සියල්ල ඔහුගෙ ආන්ත්‍ර වීමෙන් පසු නැති වීම වගේම අපේ ඩැඩිගෙ රෙදි බිස්නස් එකත් අඩු වීම නිසා දැන් අපේ ගෙදර වියදම් වැඩි වී ආදායම් අඩුවිම වැඩියෙම දැනෙන්නේ ග්‍රැනීටය. ඇයට පප්පා ආන්ත්‍ර වීමෙන් පසු ඔහුගෙ විශ්‍රාම වැටුප ලැබීම නම් ලොකු දෙයකි. ඇය ඒ මුදල්ද වියදම් කරන්නේ අපේ පවුලටමය. පුංච් අපි හතර දෙනාගෙ වියදම්ද දැන් එන්න එන්නම වැඩිවෙමින් යන බව ග්‍රැනී කියයි....


"කැතී දැන් එන්න එන්නම මේ ළමයින්ගෙ ඉස්කෝලේ වැඩවලට වියදම වැඩි වෙනවා...විකීට කියන්න තව මහන්සි වෙලා වැඩ කරන්න කියලා ...."


" ඉස්සර වගේ නෙමේ මම්මේ....දැන් වෙන්නප්පුවේ මීගමුවේ රෙදි කඩ වැහි වැහලා...ඒකයි විකීගේ ශොප් වල ආදායම අඩු...."


-සදුදාට හමුවෙමු-

*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Opmerkingen


bottom of page