top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අලුත්ම නවකතාව (දෙවන කොටස )



🌹🌹 "විකුම් චූටි දුවට හොදටම නින්ද ගිහින් වගේ නේද ? ....විකුම් අතේ හොදටම නිදා ඉන්න චුට් දුවගේ ඔලුව හෙමිහිට අත ගාමින් මම ඇසුවේ හෙමිහිටය.

" අපි මේ කොට් එකෙන් චූටි දුවව තියමුද?

"ඔව් එතකොට එයාට පහසුවෙන් නිදාගන්න පුලුවන් ....ඉන්න මම දුවව කොට් එකෙන් තියන්නම් "

අහස්‍ යාත්‍රාවේ අපි වාඩි වී සිටින ආසන ඉදිරිපිට පුංචි දරුවන්ට නිදා ගන්න ගුවන් සේවිකාවන් ගෙනත් හයි කරන ලද පුංචි තොටිල්ල ඇතුලේ විකුම් පරිස්සමට චූටි දුවව තිබ්බේය. ඇයට හොදටම නින්ද ගොස් තිබීම අපට ලේසි විය. ව්කුම් සහ මගේ මැද සීටි ඒකේ ලොකු පුතා හොදටම නිදිය. විකුම් එයා ලග ආසනේ නිදා වුන් ලොකු පුතාගේ රෙද්ද හොදින් පෙරෙව්වේ, ආහස් යානාවේ ඇති දැඩි සීතලෙන් දරුවා ආරාක්ශා කර ගන්නටය.

"ඔයත් ටිකක් නිදාගන්න සාරදා , මම මේ ෆිල්ම් එකක් බල බල ඉන්න නිසා දරුවෝ නැගිට්ටොත්, මම ඒ ගොල්ලෝ ගැන බලන්නම්….ලොකු පුතාගේ සීට් එකට උඩින් අත දමා මගේ ඔලුව අත ගෑ විකුම් කීය.

විකුම් ගේ හිතේ මා ගැන ඇති ආදරේ ගැන , මට ඇත්තේ ලොකු සතුටකි. එවන් සැමියෙක් ලද මම කොයිතරම් නම් වාසනාවන්ත දැයි මම නිතර සිතන්නෙමි….. මට වගේම ඔහු දරුවෝ දෙන්නටත් දක්වන්නේ පුදුමාකාර ආදරයකි. විකුම් මට දක්වන ආදරය ගැන සතුටින් හිත පිරි තිබුනත්…..ඒ හිතට යටින් දරාගන්න බැරි දුක් කන්දරාවකින් හා බයකින් මගේ හිත පිරී ඇත. මගේ හිතේ ඇති දුක් කන්දරාව විටින් විට පිටවන්නේ, දෙඇස් පුරා කාටත් හොරා ගලායන කදුලු කන්දරාවෙනි.

අද මේ ගමන යන්න එන්න, උදේ ඉදන් දරුවෝ දෙන්නත් සමග මම උන මහන්සිය දන්න නිසා විකුම් , මට දැන් නිදා ගන්න ඉඩදි ඔහු දරුවෝ දෙන්නා බලාගෙන නිදි නැතිව ඉදි. ලොකු පුතාගේ ආසනය උඩින් මම විකුම් දෙස බැලුවේ ආදරය උතුරා යන දෑසින් ය. විකුම් ගුවන් යානයේ tv එක දෙස බලාගෙන ෆිල්ම් එකක් බලන්නේ ලොකු පුතාගේ ඇගට උඩින් අතක්ද පරිස්සමට තියාගෙනය. ඔහුගේ එක කකුලක් චූටි දුවගේ කොට් එක යටින් තියාගෙන ඉන්නේ ඇගේ පරිසමට කියා මට හිතේ. මෙවන් ආදරනීය සැමියෙක් ලද මා කොයිතරම් නම් වාසනා වන්තියක්දැයි මට සිතේ…...හැම දෙයක්ම අමතක කර මේ යන සුභ ගමන හිතේ සතුටින් යා යුතු යැයි තරයේ සිතට ගත් මම, දැස් පියාගත්තේ හිතේ ගතේ ඇති මහන්සිය නැති වෙන්න ටිකක් නිදා ගන්න උත්සහ කරමින්‍ ය. ඒත් නිදාගන්නට උත්සාහ කලත් සැරෙන් සැරේ මට මගේ ළමා කාලය තරුණ කාලය සිහියට නැග එන්නෙ චිත්‍ර පටයක් සේය. ඒ අතර නිතරම මගේ හිතට අම්මා, තාත්තා , මගේ අයියා වගේම රංජන්, නිරංජන් අයියලාත් මතකයට එන්නේ නිතතින්මය.

#####

ගමේ එකම පාසැලට ගිය අයියයි මගෙයි හොදම යාලුවො උනේ, කුසුම් නැන්දාගේ පුතුන් දෙදෙනයි. නිවාඩු කාලෙට වගේම සෙනසුරාදා ඉරිදට අපි අනිවාර්යයෙන්ම එකට එකතු වී සෙල්ලම් කරන්නෙමු.

"එන්න ,එන්න ලොකු අයියේ...මේ පැත්තට එන්න"

"නෑ..නෑ නංගී මේ පැත්තට එන්න...නැත්නම් අපි අහුවෙයි. මල්ලිලා දෙන්නා අන්න අර පැත්තට යනවා දැක්කා..

"මට නම් දැන් මේ අල්ලන් සෙල්ලම් කිරීම ඇති වෙලා.....අපි දැන් බෝල ගහමු…ද ලොකු අයියේ"


"එහෙනම් මල්ලිලා දෙන්නට එන්න කියන්න බැට් එකයි බෝලයි අරන් අපි ක්‍රිකට් ගහමු… ..

"පොඩි අයියේ….අපේ අය්යේ හැංගිලා ඉන්න තැන් වලින් එලියට එන්ඩෝ… අපි දැන් ක්‍රිකට් ගහන්නයි යන්නේ .."

තාත්තාගේ එකම නැගණිය වන කුසුම් නැන්දාගේ පුතුන් දෙදෙනා වන නිරංජන් හා රංජන් අයියලා දෙදෙනාත් මාත්, මගේ අයියාත් නෑනා මස්සිනාලා වගේම ඉතාමත් හොඳ යහළුවන් වුහ. මගේ අයියාත්, නිරංජන් අයියා හා රංජන් අයියා ගියේ ගමේ තිබුණ එකම පිරිමි පාසැලටය. මම ගමේ තිබුන බාලිකා පාසැලට ගියෙමි. පාසැල් දෙකම එක ලග තිබුන නිසා අපි උදේ හවස පාසැල් යන්නේ එන්නෙත් එකටමය. අපි හතර දෙනාම පොඩි කාලයේ ඉඳන්, හරිම එකමුතු කමෙන් ආසාවෙන් සෙල්ලම් කෙරුවෙමු . අප හතර දෙනා සතියේ දින වල පාසැලට වගේම ඉරිදට දහම් පාසැල් යන්නේ ද එකට ම ය. බොහෝවිට නිවාඩු දින වලට රංජන් හා නිරංජන් අයියා මාත් අපේ අයියාත් සමග සෙල්ලම් කිරීමට අපේ ගෙදරට එන්නේය. ඒ ආ වේලාවට අපි හතරදෙනා සෙල්ලම් කරනවා වගේම කෑම ගන්නේ ද එකට ම ය. නිවාඩු කාලයට, උදේ සෙල්ලම් කිරීමට අපේ ගෙදරට එන රංජන් හා නිරංජන් අයියලා ආපසු ගෙදර යන්නේ බොහෝ හවස් වූ පසුය. අපි දෙගොල්ලෝගේ ම ගෙවල් එක ම ගමේ පේන තෙක් මානයේ පිහිටා තිබුණි.

‘‘මේ ළමයින්ට නිවාඩු කාලයට පොතක් පතක් බලන්න උවමනාවක් නැති හැටි, කොයි වෙලෙත් සෙල්ලම.‘‘

අම්මා නිතර කියන්නේ අකමැත්තෙනි.

‘‘පොඩි ලමයින්නේ... මේ වයසට සෙල්ලම් කරන්නෙ නැතිව කොයි කාලෙකට සෙල්ලම් කරන්නද?

නිතරම තාත්තා අපේ පැත්ත ගනියි.. අම්මා නම් අපි හතරදෙනා එකතු වී සෙල්ලම් කරනවා දකින හැම විටම නෝක්කාඩු ලෙස කතා කරයි.

තාත්තාගෙ එක ම නැගණිය වන කුසුම් නැන්දා, ඇගේ තනි කැමැත්තට, නිමල් මාමා කසාඳ බැඳ ඔහුගේ ගමේ පදිංචි වී ඇත්තේ කසාද බැදපු අලුතය. ඇය නිමල් මාමාගේ ගමේ අගහිඟකම් නිසා දුක් විඳිනවා ආරංචි වි, අපේ තාත්තා ඇයව මෙහෙට කැඳවා ගෙන විත් ඇත්තේ රංජන් අයියා කුසුම් නැන්දාට හම්බවෙන්න සිටි කාලයේ දී බව අම්මා කියයි. අපේ ගමේ තාත්තාට අයත් කුළියට දෙන ගෙයක ඔහු නැන්දා හා මාමාට නවාතැන් ගන්නට දී ඇත්තේ ඉන් පසුය. නිමල් මාමාට ගමේ සමූපකාරයේ රැකියාවක් සොයාදි ඇත්තේ ද අපේ තාත්තාය. ඔවුන්ගෙ අඟහිඟකම් දන්නා තාත්තා නිරංජන් හා රංජන් අයියලාට පාසැල් පොත් පත් ගන්නට හා පැසැල් නිළ ඇඳුම් ලබා ගන්නට ද හැම අවුරුද්දේ ම උදව් කරන්නේය. තාත්තා ඉතා කරුණාවන්ත ගුණ යහපත් කෙනෙක් බව මුලු ගමම දන්නා කරුනකි. ඔහු ඔහුගේ එක ම සොහොයුරියට ඉතා ලෙන්ගතු බැවින් තාත්තා නිතර කුසුම් නැන්දාලාගේ අඩුපාඩු කම් සොයා බලා ඔවුනට උදව් උපකාර කරයි .

අපේ අම්මා තාත්තාට වඩා බොහෝ වෙනස්ය. අපේ පවුලෙ අනිත් නෑදෑයින් කියනා පරිදි අපේ අම්මා ඉතා උද්දච්ච ආඩම්බරකාරියෙකි. ඇය ඉතා පොහොසත් පවුලක එකම දියණිය විය. අපි මෙතරම් සැපසේ ජීවත් වෙන්නෙ,ඇයගේ මුදල් නිසා බව මුලු ගමේම නෑදෑයෝ මෙන්ම නොනෑයොත් දන්නා කරුණකි .ඇය අපේ තාත්තා කසාඳ බැඳ එන විට විශාල දෑවැද්දක් සහිතව පැමිණි කෙනෙකු බව නෑදෑයන් පවසති. එබැවින් ඇය ඇගේ පොහොසත්කම ඔළුවට ගෙන ආඩම්බරයෙන් අහංකාර කමෙන් සිටිනා තැනැත්තියකි. ඇය තාත්තාගෙ දුප්පත් නෑදෑයින් වැඩිය ගණන් නොගනී. ඔවුන් අපේ ගෙදරට එනවාටද ඇය කැමති නැත. රංජන් අයියාත් නිරංජන් අයියාත් අපේ ගෙදර ආ කළ ඇය ඔවුන්ට කන්ඩ බොන්ඩ දෙයි. නමුත් වැඩි කතා බහකට නොයයි. අපට ද නිතර ම ඔවුන් සමඟ සෙල්ලමට නොයන ලෙස අවවාද කරයි. නමුත් අයියාටත් මටත් සිටින හොඳ ම යහළුවන් දෙදෙනා ඔවුන් ය. අපි හතරදෙනා එකතු වී නිතර ම සෙල්ලම් කරමින් දුව පැන ඇවිදමින් කාලය ගත කරන්නේ සතුටිනි .


"නෑනලා මස්සිනාලා එකට එකතු වෙලා සෙල්ලම් කරනවා දකින්නත් ආසයි . සහෝදරයෝ වගේ එකට ඉන්න එක කොච්චර වටිනවද.... “

රංජන් අය්යලාගෙ අම්මා වන කුසුම් නැන්දා නිතරම, අපි අතර ඇති නෑදෑකම අපට මතක් කර දෙයි. ඇය අයියාටත් මටත් ඉතා කරුණාවෙන් ආදරයෙන් සලකයි . මම කුසුම් නැන්දාට වැඩියත් ම ආදරේ ඇය අපි, ඇගේ ගෙදර ගිය කල මා ඇගේ උකුලේ හිඳුවාගෙන මගේ ඔළුව බලමින් මට ලස්සන කතා කියා දෙන නිසාය. ඇය සාදා ඇති රස කැවිලිද අපට කන්නට දෙයි. ඇයට ගැහැණු දරුවන් නොසිටි බැවින් ඇය මට ගොඩක් ආදරේ කරයි.

‘‘දුවේ මේ ලැවිරිය ටික ගෙදර ගෙනියන්න. තාත්තා හරි ආසයි ලැවරියා කන්න.‘‘

ඇය ඇගේ එක ම සහෝදරයාට ඉතා ලෙන්ගතුය. තාත්තාගෙන් ලැබෙන උදව් උපකාර වෙනුවට ඇය නිතර ම, තාත්තා කන්න කැමති කෑමක් සාදා අප අතේ ගෙදර යවයි. ඇය නිතර අපේ ගෙදර නොඑයි. එයට හේතුව අම්මා ඇයව වැඩිය ගණන් නොගන්නා නිසා බව පුංච් අපද දනි.

“අම්මාගෙ උද්දච්චකම බලන්න නැන්දා කැමති නැතුව ඇති...ඒකයි නැන්දා අපේ ගෙදර නොඑන්නේ..”

අපේ අයියා නම් අම්මාගෙ මූණට ම කියන අවස්තාද ඇත . අම්මාත් නැන්දාත් අතර බොහෝ වෙනස්කම් ඇත. නමුත් මම අම්මාට වගේ ම නැන්දාටත් ආදරය කරමි. ඇය රංජන් හා නිරංන්ජන් අයියාගෙ මෑණියන් වීමත් ඇය අපට කරුණාවෙන් සැලකීමත් එයට හේතුව ය. මා මෙන්ම අපේ තාත්තා හා අයියා ද අපගේ එක ම නැන්දාට බෙහෙවින් ලෙන්ගතු ය.

කාලයත් සමග තාත්තා කරමින් උන් තාත්තාගේ ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වීමත් සමඟ අපට නවීන පන්නයේ ගෙයක් නගරය අවටින් ම මිල දී ගත හැකි විය. එය අම්මාගෙ සතුටට බෙහෙවින් හේතු විය.


‘‘මේ ළමයි දෙන්නා මේ නගරයේ තියෙන හොඳ ම ඉස්කෝලෙට දාන්න ඕනෑ ‘‘අම්මා තාත්තාට කීය

‘‘අනේ අපිට නම් බෑ ඔය මෝස්තරකාරයින්ගෙ ඉස්කෝලවලට යන්න”

අයියාත් මමත් එක පයින්ම කියා සිටියාහ.

‘‘ඔය ළමයි දෙන්නා ඔය ගමේ, ගොඬේ ඉස්කෝලෙට ගිය කාලේ ඉවරයි. එන වාරේ ඉඳන් ඔය දෙන්නටම තාත්තා, ටවුමේ ඉස්කෝලෙට යන්න අවශ්‍ය දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නේ ....‘‘අම්මා කියන්නේ උජාරුවෙනි.

ඉන් පසු අයියාගේත් මගේත් පාසැල්ගමන අම්මාට ඕනවිදිහටම සිද්ධ විය. ගමේ ඉස්කෝලෙට ආයුබෝවන් කියූ අයියාත් මමත් නගරයේ ඉස්කෝලයට යන්න පටන් ගත්තෙමු.

ඉස්සර වගේම රංජන් අයියා හා නිරංජන් අයියා නිවාඩු ලැබෙන වෙලාවට අපේ ගෙදර අප සමග සෙල්ලම් කරන්නට එන්නේ බොහෝ කැමැත්තෙන්මය. පරන ගෙදර සිට බස් නැවැතුම් හත අටක් දුරින් අපගේ අලූත් නිවස පිහිටා තිබුණි. පාසැල් යද්දී රංජන් හා නිරංජන් අයියලා මුණ නොසැසුනාට අපට ඉරිදා දහම් පාසලේ දී ඔවුන් දෙදෙනා මුණ ගැසෙයි.

💞💞💞


-හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

14 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page