top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(14 කොටස)

🌹🌹දැන් මම කසාඳ බැඳල අවුරුදු එකාහමාරකුත් ගත වී ඇත. පුතාට වයස මාස අටද සම්පූර්ණ වී ඇත. මම කසාද බදින කාලේ මේ ගෙදර සිටි මිනිසුන් දැන් කවුරුත් නැත... තාත්තා මිය පරලොව ගිහින්ය. අම්මා…මහ ගෙදර වැඩිය ඉන්නට කැමති නැති ගානය…. ඇය නුවර අයියාගේ ගෙදර ගිය විට සුමාන ගනන් එහේ නැවති හිදී..….සෝමාටම මාවත් පුතාවත් බලාගන්න භාරදී අම්මා නිදහස් වී ඉදියි.….. ඒ දිනවල අපේ ගෙදර ආවගිය රානි ඇන්ටි දැන් මාස ගානකින් මා සමග කතා කර නැත…... ඇයද කැනඩාවේ දුව ලග සතුටින් පදිංචි වී හිදියි…….මගේ සැමියා මා ලගට, ලංකාවට එන්නේ නැතුව, මාව එංගලන්තයට ගෙන්වා ගැනීමට වීසා ලැබෙන තෙක් බලා හිදියි... …. හැමෝම මා මග හරිමින් තම තමන් ගැන බලාගෙන ඇත.

හැබැයි විකුම්,..... මං ඉඳහිට කතා කල විට පණ දෙන්න වගේ කතා කරයි..... එන මාසේ එන්න බලනවා, මේ මාසේ එන්න බලනවා, ඔහු කියන්නෙ බොරු පොරොන්දු දෙන්නා සේ ය….... අපේ අතර දැන් ඇත්තේ නොහොඳ නෝක්කාඩු කම් විතරමය….. ඔහු ගැන මට ඇත්තේ කේන්තියකි. ඔහුට අපේ පුතා ගැන හැගීමක් ඇත්තේම නැති ගානය….. ඔහුට මාවත් පුතාවත් ඔහු ලගට ගන්නට නොහැකි නම් ඔහු ලංකාවට ආ යුතුය. ඔහුට ඒකේ වගක් නැත......

මහ ගෙදර ආ විට අම්මා නිතර ලොකු කල්පනාවකින් සිටින්නේ මා ගැන කළකිරීමෙන් යැයි මට සිතේ…..පුතාව හුරතල් කලත් අම්මා දුකෙන් හිදින හැටි, මට ඇගේ මුහුනෙන් පෙනේ...අම්මා එලෙස සිටීම මගේ හිතත් දුකෙන් බර වී කළකිරෙන තත්වයට පත් වී ඇත.


අම්මා හිටි හැටියේ අසනීප වී රෝහල් ගත කරන්න සිදු විය. ඇය මා ගැන කළකිරීමෙන් සිටින නිසා ප්‍රෙෂර් වැඩි වී ඇතැයි මට සිතේ. ඇයට අධිරුධිර පීඩනය හා දියවැඩියාව වැඩි වී ඇත….. ඇය බලන්න අයියා ආ විට මම ඇයව නුවර එක්ක යන්න කිව්වේ අම්මා, මාත් පුතත් ගැන කළකිරීමෙන් ඉන්නා බව මට වැටහී ගොස් තිබුන බැවිනි.


‘‘අයියේ මට දැන් මේ පුතත් එක්ක අම්මව බලාගන්න අමාරුයි…..අම්මත් මෙහේ හිටියට හිතේ සතුටකින් නෙමේ ඉන්නේ…...විකුම් මාව ඉක්මනටම එක්ක ගියේ නැති නිසා, අම්මා….මම ගැන දුකෙන් කළකිරිලා ඉන්නේ... ඔයාට පුළුවන්නම් අම්මව නුවර එක්ක යන්න….. පුතත් එක්ක මට අම්මට සාත්තු කරන්නත් අමාරුයි…...‘‘


‘‘එහෙනම් අම්මගෙ ඇඳුම් ලෑස්ති කරල දෙන්නකෝ.... අම්මා මා ලඟ හිටියාවේ….. මෙහේ හිටියා කියලා එයාට පුතාව බලාගන්නත් බෑනේ….. ඔයාට සෝමා එක්ක ඉන්න පුළුවන්නේ…පුතා බලාගෙන.....මෙහේ...තනියක් නෑනේ….පුරුදු තැන නිසා......‘‘


අම්මා මම තනියම දරුවා සමඟ ඉන්නා එක ගැන හොදටම කළකිරී ඇත..... ඇයගෙ උවමනාවට මාව කසාඳ බන්දා දී මාව අමාරුවේ දැම්මේ ඇය යයි... සැවොම ඇයට වරද පටවන බැවින් ඇය එයට ම කලකිරී ඇතැයි මට සිතේ…... අම්මා අයියා ලඟට යන එක හොඳයි. එවිට ඇයට නිතර නිතර මාවයි පුතයි දකින්න නො ලැබෙන විට අසනීප තත්ත්වය ටිකක් හෝ පහ වී යනු ඇත…..


පුතාගේ පළවන උපන්දිනයට සුමානයක් තියා….විකුම් ලොකු පෙට්ටියක පුතාට තෑගි බෝග, ඇදුම් පැලදුම හා මටද ලස්සන ඇදුම් ටිකක්, හෑන්ඩ් බෑගයක් හා කෑම බඩු සහිත පෙට්ටියක් එවා තිබුනි. එය දුටු විට නම් මට විකුම් ගැන දුක සිතිනි.


රාණී ඇන්ටිද කැනඩාවේ සිට පුතාගේ උපන් දිනයට තෑගි පාර්සලයක් එවා තිබුනි. ඒ පාර්සලය තුල විකුම්ගේ සහෝදරියද තෑග්ගක් හා උපන්දින සුභ පැතුම් පතක් දමා තිබුනි.


"අපි චුටි බේබිගේ උපන් දිනයට මොනවද කරන්නේ නෝනා…..?


"මොනව කරන්නද…..ඒ දවසත් ඔහේ ගෙවිලා යාවී….


"එහෙම හරි නෑනේ….නෝනා…."


"අයියා කෝල් කරලා කිව්වේ සිකුරාදාට මෙහේ නවතින්න බලාගෙන අක්කයි, දුවයි අම්මයි එක්ක එනවා කියලා…...ඔය මොනවා හරි කෑම බීම ටිකක් වැඩිපුර ගෙනත් තියන්න සෝමා…...


"අම්මගෙ කාමරෙයි,....අයියලාට ඉන්න කාමරයකුයි ලෑස්ති කරලා තියන්න සෝමා….."


අපේ හෝමාගම මහගේ කාමර පහක විශාල ගෙයකි. අම්මා මේ ගේ මගේ නමට ලියා ඇත්තේ රාණි ඇන්ටි ,විකුම්ටද කියා මගේ වෙඩින් එකට ඉස්සරය. මට මුදල් සමග මේ මහගේ දෑවැද්ද ලෙස දී ඇත්තේ තාත්තා….අයියාගේද කැමැත්ත ඇතුවය. අයියාට තාත්තාගේ දැව ව්‍යාපාරය ඇතුලු රත්නපුරේ ගෙයක් සහිත රබර් වතු යාය තාත්තා ලියා ඇත. ව්‍යාපාරයේ ආදායමෙන් කොටසක් මටත් යන විදිහට බෙදා දෙන්න කියා, කට වචනයෙන් කියා ඇතිබව මම දැනගත්තේ අම්මාගෙනි.

නමුත් මාස පතා මට අයියා එහෙම මුදලක් නොදෙයි. ඒවා බලෙන් අයියාගෙන් ඉල්ලා මට ලබා දෙන්නේ අම්මාය. මම කිසි දින අයියාගෙන් වත් අම්මාගෙන් වත් මුදල් නොඉල්ලෙමි. ඒ ගැන දන්නා අම්මා,...සෝමාගෙ පඩිය ගෙවන්න අයියාට භාර දී තිබීම නිසා, මම ඒ පැත්තෙන් නිදහස්ව ඉන්නෙමි.


අම්මා මට වියදමට මුදල් දෙන්නේ අයියා නොදැනුවත්ව කියා මට දැන් සිතේ…..අම්මා අයියාට හගවන්නේ, මට ඇති තරමට වියදමට මුදල් විකුම් එවන බවයි. මගේ විවාහය අම්මාට ඕන විදිහට සිද්ද වුන බැවින් එහි ඇති පැටලෙලි සහගත බව නිසා අම්මා හැම අතින්ම හිරවී කොන්වී ඉදී…..පොඩ්ඩ බැරිවුන විට, මගේ විවාහය ගැන අයියා දොස්පවරන්නේ අම්මාටය. ඒ නිසා ඇය මට, අඩුපාඩුවක් නොවෙන්න අයියාට හොරා මගේ අතට වියදමට මුදල් දෙයි.


පුතාගේ පළවන උපන් දිනය සෙනසුරාදා දවසකට යෙදි තිබුන නිසා අයියලා සිකුරාදා මෙහි ඇවිත් නවතින්න හිතන්න ඇත්තේ මගෙත් පුතාගෙත් පාලුව යන්නට වෙන්නට ඇත.


"නෝනා,..... චූටි බේබිගෙ උපන් දිනේට කේක් එකක් ගේන්න ඕනේ නේද ?


"අයියලා ගේනව කිව්වා සෝමා… අපි ඔය කට්ලට් ටිකක් හදල ඇරගෙන මොනව හරි රෑට කන්න හොදට උයමු…."


"ලොකු නෝනට පන්සලට දානයක් දෙන්නත් ඕනේ කිව්වා …."


"ඔව්… සෙනසුරාදා දවල් දානේ...පන්සලට ගෙනියන්නත් තියෙනවා….ඒකට බඩු නම් අක්කා නුවරින් ගෙනෙයි…..සෝමා කොහොමත් උයන්න අවශ්‍ය බඩු ටිකක් වැඩිපුර ගෙනත් තියන්න."


අපි පොඩි කාලේ ඉදන් ගෙදර පාලනය තනිකර අම්මා අතේ තිබුනත්….දැන් අම්මා නිතර නුවර යන නිසා…..අම්මා ගෙදර වියදමට දෙන මුදල් මම, සෝමාට බඩු ගේන්න කඩ පිලට යන වේලාවට දෙමි. ඇය අරපිරිමැස්මෙන් ඒවා පාවිච්චි කරන බව මම දනිමි.


සිකුරාදා හවස් වන විට, අයියලා නුවර සිට ආවේ ඔහුගේ මොන්ටෙරෝ රතයෙනි. එහි පිටිපස හාල්, පොල්, එලවලු පිරෙන්න තිබුනි. අම්මා, අයියා ,නෑනා, හා චුටි දුවත් ඔවුන්ගේ සේවීකාවත් අපේ ගෙදර නවතින්නට පැමින සිටියාහ.


"හෙට දවල්ට දානෙට ගෙනියන්න කැවිලි, කෙසෙල්ගෙඩි, තැබිලි, එහෙමත් ගෙනත් ඇති නංගි…".මගේ නෑනා පුතා වඩා ගනිමින් කීය.


"අක්කලා ගොඩක් ජාති ගෙනත්...මහන්සි වෙලා….


"නංගි….ලොකු හාමුදුරුවෝ හෙට පන්සලේ වැඩ හිටිනවා කිව්වද දානෙට…."


"නෑ...අයියේ….ලොකු හාමුදුරුවෝ වෙන ඈතකට වැඩලා…..පොඩි හාමුදුරුවෝ හතර නම විතරයි වැඩ හිටින්නේ….."


"අපරාදේ කියන්න බෑ…..ලොකු හාමුදුරුවෝ තාත්තගේ අවුරුද්දේ දානෙට නුවර අපේ ගෙදරට වැඩම කලානේ….තාත්තාගේ අවුරුද්දේ දානේ වගේම අවුරුදු දෙකේ දානෙත් මම නුවර ගෙදරම ලොකුවට කරනවා නංගි...….."


"කුසුම් නැන්දා ආවේ නෑනේ...තාත්තගෙ දානෙටවත්….මාම නම් අපරාදේ කියන්න බෑ...බාප්පලත් එක්ක ඇවිත් ගියා…."


"දැන් කුසුම් නැන්දලාට හොදයි….රංජනුයි, නිරංජනුයි රට වැඩ කරන නිසා….ඔය මීපෙ පැත්තෙන් ඉඩමක් ඇරන් ගෙයකුත් හදාගෙන යනව කියන්නේ…..ලගදිම පදිංච් වෙයි අලුත් ගෙදර …"


"රංජන් බදින්නත් යනව කිව්වේ…..නැන්දලා හොයල දීපු කෙනෙක්...චූටි බාප්පා කිව්වේ….


පසුදින උදේ හැමෝටම කන්න කිරිබත් ඉව්වේ චුටි පුතාගේ උපන් දිනය නිසයි. අක්කත්, සෝමත්, අක්කලාගේ සේවිකාවත් හරි හරියට උදේ ඉදන් පන්සලට දානේ ගෙනියන්න උයයි. මමත් පුතා නැගිටින්න පෙර උයන වැඩ වලට උදව් කලෙමි.


දවල් දානේ පන්සලට ගෙනිහින් ඒ වැඩ ඉවරකර ගෙදර ආ අපි ටිකක් හාන්සි වී ගිමන් ඇරියෙමු.....


හවස අයියා අපි හැමෝටම හොදින් ඇද ගන්න කියා…..අපිව කොළඹ පැත්තේ ඇවිදින්න එක්ක ගියේය.


කාලෙකට පස්සේ නිදහසේ ඇවිදින්න ආ නිසා මගේ හිත ටිකක් නිදහස් වී සැහැල්ලු විය. රෑට හොද රෙස්ටුරන්ට් එකකින් කෑම කන්න අප එක්ක ගිය අයියා, එතනින්ම ඕඩර් කර තිබු ...පුතාගේ උපන්දින කේක් එක සැවොම සුභ පතා කැපූහ. ….. කිසිම දෙයක තේරුමක් නැති චුටි පුතා….අයියගේ දුව සමග හිනා වෙමින් බැලුමක් සමග සෙල්ලම් කරයි.


"නංගි ඔයා දැන් හැමදාම ඔහොම පුතා බලාගෙන ගෙදර ඉදලා හරියන්නේ නෑ….ඔයාට උපාදියකුත් තියෙන එකේ ගුරු පත්වීමකට දාලා බලන්න…... දැන් පුතාට අවුරුද්දක් උන එකේ...ඔයාට සෝමා ලග පුතා තියලා වැඩට යන්න පුලුවන්නේ …."


"ඒකනම් හොද අදහස නංගි….නිකන් කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්නවාට වඩා…."අක්කාද කීය.

ඇය ඉතා හොද ගතිගුන තිබෙන කෙනෙකිය. ඇය නිකමටවත් විකුම් මතක් කර විස්තර වත් නොඇසුවාය. පුතාගේ උපන් දිනයට විකුම් හා රාණි ඇන්ටි එවා තිබු තෑගි දැක හැමෝම සතුටු විය.


විකුම් මගේ බැංකු පොතට සල්ලි හැම මාසෙම එවයි. නමුත් වෙනදා තරම් උවමනාවෙන් මට කතා නොකරයි. මම විකුම් සමඟ ඇති කේන්තියට උවමනාවෙන් ම ඔහුට කතා කරන එක නවතා දැමීය.... මට එංගලන්තයට යන්නට බැරි බව ඇත්ත ….එක්කෝ ඒ නිසා, ලංකාවට ඇවිත් මාත් සමග ඔහු පිලිවෙලක් විය යුතු බවයි මගේ හැගීම. දෙවියන්ගේ පිහිටෙන් අපට මුදල් අඩුපාඩු ඉදුම් හිටුම් අඩුපාඩු නැති එකේ….ඔහු මොකට වීසා නැතුව ඒ රටේම ඉන්න හදන්නේ කියන එකයි මට තිබෙන ප්‍රශ්නය.


සුනීතා කියන ලෙස නම් පිට රට සැප ජීවිතයට පුරුදු උන අයට…...ලංකාවට ඇවිත් පිලිවෙලක් වෙන්න තිබෙන අදහසක් නැති නිසා, ඔහු එලෙස එම රටේම නැවතී ඉන්නවා යැයි.... ඇගේ අදහස.


ඔහු පුතාගේ උපන්දිනයට තෑගි පෙට්ටියක් එවීම මගේ හිත සතුටට පත් කල කාරනයක් විය…..අම්මා අයියාටද ඒ ගැන සතුටු හිති තිබු බව ඔවුන්ගේ මුහුනෙන් දැක ගැනීමට හැකි විය.


කෙසේ වෙතත් ඔහු පිටරට ගෙවන ජීව්තය ගැන ටිකක් සෙවිය යුතු යැයි මගේ සිත කිව් බැවින්…..කවදත්. මාගේ දුකට සැපට හිටිය යෙහෙලිය සුනීතාට මේ ගැන කිවිය යුතු යැයි තීරණය කලෙමි.


මේ වන විට යුනවර්සිටි එකේ මගේ යෙහෙළියන් අතරින් සුනීතා පමනක් මම ආශ්‍රය කරමි. අනෙක් යෙහෙළියන් ලංකාවේ හතර අතට විහිදී ගොස් විවිද රැකියා කරමින් ඔවුන්ගේ ජීවත ගමන් ආරංභ කර ඇත..…..


සුනීතා මේ වන විට කොළඹ විශ්ව විද්‍ය්ලයේ කතිකාචාර්ය වරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර ඇයට මගේ දුක අහන්න වෙලාවක් ඇත්තේම නැති තරම් විය. නමුත් මම කෝල් එකක් දුන් විට ඇය අමතක නොකර ,මග නොහැර මා සමග කතා කිරීම මගේ හිතට සතුටකි...... ඇයට කතා කර මගේ හිතේ තියෙන දේ කිව යුතු යැයි සිතුවෙමි…..


"සුනිතා….ඔයාට විවේකයක් තියෙන වෙලාවක මේ පැත්තේ එන්නකෝ…..මට ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා….දන්නවනේ, මගේ හිතේ තියෙන දේවල් කියන්න ඉන්නේ ඔයා විතරයි කියලා….


"හා....හා…. හිටපන් මම මේ සෙනසුරාදා එකලොහට විතර උබලගේ ගෙදර එන්නම්…..හැබැයි සෝමට කියපන් මට කන්න හදලා තියන්න කියලා …."


"හා..හා….මම කියන්නම් උබ ආසම සෝමගෙ පොලොස් ඇබුල හදල තියන්න කියලා….


"ආ….නියමයි...මම එහෙනම් දැන් තියන්නම්...ලෙක්චර් එකක් තියෙනවා දැන්…..උබටත් කියන්න දෙයක් තියෙනවා මට.….මම එන්නම්කෝ….සුනීතා සතුටින් ඉන්නේ විවාහ වෙන්න ලෑස්ති වෙලාද කියා සිතේ....


"අන්න...සෝමා සුනිතා නෝනා සෙනසුරාදාට මෙහෙ එනව කිව්වා...සෝමට කියන්න කිව්වා පොලොස් ඇබුලක් හදල තියන්න කියලා….."


"ආනේ….ඇත්තද……. හොද නෝනා..මම රසට උයන්නම්කෝ…එදාට.


සුනීතා සෙනසුරාදා අපේ ගෙදර ආවේ ඇය රැකියාවට ගොස් මුල්ම වරට ගත් කාර් රතයෙනි. ඇය දැන් ඉස්සරටත් වඩා ලස්සන වී මොඩ් වී ඇත. ඇය සාරියකින් සැරසී සිටියේ…..අද උදෙත් ඇයට ලෙක්චරයක් තිබුන නිසා බව කීය


"උබ ලස්සන වෙලා, හැඩ වෙලා, සතුටින් ඉන්නේ…..මනමාලයෙක් සෙට් උනාද…?


"ඔව්නේ…..කැම්පස් එකේම ලෙක්චර් කෙනෙක්… නම චන්දන…..මට වඩා අවුරුදු තුනක් විතර වැඩිමල්….අවුලක් නෑ...අපි තව මාස පහ හයකින් මැරි කරන්න හදන්නේ……


"අනේ….. මට හරි සතුටුයි….උබ යාලුවෙලා හිටිය තිලක් පොල්ල තිබ්බට පස්සේ...උබ වෙන කා එක්ක වත් යාලු නොවී හිටිය නිසා….මමත් අප්සෙට් එකෙන් හිටියේ…හොදයි බං...උබ හරියට පිලිවෙලක් වෙලාම කසාද බදින එක….පේනෙවානේ මට වෙච්ච දේ...අම්මලා කියන දේවල් වලට කැමති වෙලා…


"ඇයි….දැන් මොකද වෙලා තියෙන්නේ... කියපන්කෝ මට...මටත් හරි වැඩ බං..සොරි උබ ගැන බලන්න විදිහක් නැති වුනා පහුගිය දවස් වල....


‘‘අනේ මන්ද සුනීතා ….මේ මනුස්සයාට මාව එයා ළඟට ගෙන්න ගන්න උවමනාවකුත් නෑ. මෙහේ පදිංචියට එන්න උවමනාවකුත් නෑ. මට බයයි, මේ මිනිහ වෙන ගෑණියෙක්ට සම්බන්ධ වෙලා ද කියලා…..‘‘


‘‘ඒක තමයි කියන්නෙ පහු පහු වෙන කොට කොහු කොහු වෙනවා කියල….. බැන්ද ගමන් එල්ලිලා ගියා නම් ඉවරයි….. විභාගෙ විභාගෙ කියල මුලින් නැවතුනා..... ඊට පස්සෙ ළමයා, ළමයා කියලා නැවතුනා…... දැන් එන්නේ නෑ... නෑ කියල ළත වෙනවා….‘‘


‘‘උඹට බැරිද ටිකක් විකුම් ගැන හොයල බලන්න.‘‘


"කොහොමද …..ම්ම්ම්…..බලමු ඒ රටේ ඉන්න කෙනෙක්ගෙන්,.... …..විකුම්ගේ විස්තර කියලා හොයලා බලන්න කියමු....... හොරෙන් හොයා ගන්න බලමු….මම චන්දනට කියන්නම්...එයත් දන්න කවුරුත් ඉන්නව නම් හොයල බලන්න කියලා…..‘මං කොහොම හරි උත්සාහ කරල බලන්නම් සාරදා. අපිටත් දුකයි ඔයා ගැන…...’’


කාලය ටිකෙන් ටික ගෙවී යනවා….. පුතා ටික ටික ලොකු වෙනවා. මම ටික ටික වයසට යනවා….. අම්මා, මම දරුවත් සමග තනි වී සිටිම ගැන හිත හිතා ලතවී ලෙඩ වෙනවා යැයි මට සිතේ.... අම්මා,..තාත්තා අප හැර දමා ගිය දිනයේ පටන් ලෙඩ වෙන්නට පටන් ගත්තා ය. අම්මාගේ ලෙඩ බලන්නත් දරුවාගේ වැඩ තනියම මට කරන්නත් බැරි නිසා අයියා ඔහුගෙ ගෙදරට ඇය කැඳවාගෙන ගියේ මා ගෙදර වැඩ කරන සෝමා සමඟ තනි කරලාය.


මා සමඟ කතා නොකරත් විකුම් දැන් මගේ බැංකු පොතට සැරෙන් සැරේ සල්ලි දමයි. මා ඒවා පුතාගෙ වියදමට ගත්නෙ වෙන දෙයක් කරන්න හැටියක් නැති නිසා ය. සෝමාගේ පඩි සල්ලි ගෙවීම අය්යා කිරිම මට සහනයකි.


සුනීතාට...එංගලන්තයේ ඉන්නා යාලුවෙක් ගෙන් විකුම් ගැන හෝඩුවාවක් දැන ගන්න ලැබී ඇත. ඇය එය කියන්න මට කතා කලවිට, මම ගුරු ඇබෑර්තුවට දැමූ ඉල්ලුම් පත ගැන ඇයට කිවාය


‘‘මට නම් හිතාගන්න බෑ උඹ මොනවද කරන්න යන්නෙ කියලා. එක අතකට හොදයි....කම්මැලි කමවත් යන්න.....’’


‘‘මම ගුරු ඇබෑර්තුවලට ඉල්ලූම් පත‍්‍රයක් දැම්මා. මං හිතන්නෙ වැඩි කාලයක් යන්න ඉස්සම මට රස්සාවක් හම්බ වෙයි වගේ….මං පුතාව සෝමා ළඟ තියල වැඩට යනවා......’’


‘‘ඒක නම් හොඳයි තමයි. ගෙදර ඉන්න කොට තමයි උඹට පාළුව වගේම දුකත් වැඩි.... පුතාගෙ වියදමට තව කීයක් හරි හොයා ගන්නත් පුළුවන්නේ. උපාධිධාරිනියක් නිසා උඹට හොඳ පඩියකුත් හම්බ වෙයි….ඊටත් උදේ ගිහාම දෙක...දෙහාමාර වෙනකොට ගෙදර එන්නත් පුලුවන් ...නිවාඩු කාලෙට ගෙදර ඉන්නත් පුලුවන් ...ගෑනියෙක්ට හොදම රස්සාව…. ගුරු රස්සාව.....’’


හිතුවාටත් වඩා ඉක්මණින් මට ගුරු පත්වීමක් ලැබුණි.


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

124 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page