top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

(12 වෙනි කොටස )

🌹🌹මේ දිනවල අම්මා ඉන්නේ හිතේ සතුටක් නැති ගානටය. ඇය නිතරම ලොකු කල්පනාවකින් පසුවේ......එක පැත්තකින් මම විවාහ වුන අලුතම සැමියා ලග නැතුව දරුවෙක් බිහි කරන්න සැරසේ… තව පැත්තකින් තාත්තාගේ අසනීපය.......අම්මට අවශ්‍ය ලෙස, මගේ විවාහයෙන් පසු මාව හිතපු තරම් ඉක්මනට රට යවා ගන්න බැරිවීම....., ඇයට දුකක් වී ඇති බව මම දනිමි.....


දැන් තියෙන තත්වය අනුව මට තව අවුරුදු එකහමාරකින් මෙහා මගේ සැමියා ඉන්න තැනට යන්නට නොලැබෙන ගානයි..... තමන්ගේ එකම දියනිය, කුළුදුලේ ලැබෙන්න ඉන්න දරුගැබත් සමග මාව රට ඇරීමට, අම්මටහිත හදාගෙන කල නොහැක්කකි. ඒ කාත් කවුරුත් වැඩිහිටියෙක් නැති තැනකට මගේ... කුළුදුල් දරු උපත සිදුකිරීමට යැවිය නොහැකි නිසයි.

අනිත් අතින් තාත්තා ලෙඩ වී සිටිම අම්මාගේ, හිතට ඔරොත්තු නොදෙන තරමට හිතට කරදර දෙන්නක් වී ඇත. ඒ නිසා දෝ....අම්මා නිතර ලොකු කල්පනාවක නියලී ඉදී..... ඒ නිසාම අයියා, නුවර ඔවුන්ගේ ගෙදර තාත්තා එක්ක යන්න ඇතැයි යැයි මට සිතේ…..


තාත්තා ව අයියා නුවර හොද දොස්තර වරුන්ට පෙන්වා බෙහෙත් ලබා දෙන නිසත්, අයියාගේ නෝනා, මගේ නෑනා ගොඩක් හොද ගතිගුන තිබෙන කෙනෙක් නිසාත්, තාත්තාට ඇය හොදින් සලකන බව දන්නා නිසා අපට තාත්තා, අයියා ලග සිටිම හිතට සැනසිල්ලක් හා පහසුවක් විය.


තාත්තා නුවර ගොස් මාසයක් විතර අයියාගේ ගෙදර සුවෙන් විසුවත්…..හිටි හැටියේ දිනක් අම්මා කී දෙයින් මගේ හිත ගැස්සිනි.


‘‘තාත්තාට හොඳට ම අමාරුයි කියල, අයියා අද කෝල් කරලා කිව්වා….අද හොස්පිටල් ඇඩ්මිට් කරලා…...අනේ මන්දා දුවේ...ඔයාව දාල යන්න බැරි නිසා මම මෙහෙට වෙලා හිටියේ..... තාත්තා, අයියලා එක්ක තනියම එහේ ඉන්න එකට මගෙත් කැමැත්තක් තිබුනේ නෑ..…."


"අම්මා අයියලාගෙ ගෙදර ගිහින් තාත්තා එක්ක ඉන්න….මාත් එක්ක සෝමා ඉන්නවනේ…..මට උවමනාවක් උනොත් මම කියන්නම් .


"එහේනම් දුවේ….මම අයියලාගෙ ගෙදර යන්නම්….. දුවට පුළුවන් නේද සෝමාත් එක්ක ගෙදර ඉන්න….උවමනාවක් උනොත් කියන්නකෝ….මම ඉක්මනට කොළබ එන්නම්…...‘‘අම්මා මගින් මගට කියයි...


‘‘පුළුවන් අම්මේ…. අම්මා ගිහින් තාත්තා ලඟ ඉන්න…....‘‘


‘‘ඔයාට දරුවා හම්බවෙන්න අමාරුවක් වුණොත් මට කියන්න….. මං ඉක්මණට කොළඹ එන්නම්.‘‘


‘‘හොඳයි අම්මේ. මට රාණි ඇන්ටිලාගෙ ගෙදර වුණත් ගිහින් ඉන්න පුළුවන්නේ.... ඒ වුණාට මං එහෙට වඩා මෙහෙ...., අපේ ගෙදර තමයි ඉන්න කැමති….නැත්නම් මම එහේ යනවනම්, විකුම් උනත් කැමතියි…. මම ඒගොල්ලන්ගෙ ගෙදර ගිහින් නවතිනවට...රානි ඇන්ටිත් කැමතියි .‘‘


තාත්තා බලන්න නුවර ගිය අම්මා, තාත්තා ලඟ ඉස්පිරිතාලෙ නැවතුන බව අයියා කීය....තාත්තාව අයියා නවත්වා ඇත්තේ පවුද්ගලික රෝහලක වීම කාටත් පහසුවක් විය….


තාත්තා අසනීපව නුවර රෝහලක නැවැත්වු බව අසා විකුම් ගේ අම්මා….මා සමග නුවර යන්න ලෑස්ති උනේ ඔවුන්ගේ වාහනයෙනි.


ඔවුන්ගෙ ගෙදර වාහනය, එලවීමට රියදුරෙකු අවශ්‍ය අවස්තාවලට, පමනක්, ගෙදරට ගෙන්වාගෙන ඔවුන්ගේ වාහනය එලවා ගනියි.


මං විකුම්ගෙ අම්මා සමඟ තාත්තා බලන්න නුවර ගියේ තාත්තාට හොඳට ම අමාරු බව ආරංචි වීමෙන්ද පසුයි….. මට මගේ බඩත් උස්සාගෙන එහෙ මෙහේ යෑමට අපහසු නිසා පහුගිය දිනවල කොහේවත් නොගිය තරම්ය.


අපි ඉස්පිරිතාලෙට යන විටත් තාත්තා හොදටම අමාරු වී අවසන් හුස්ම හෙලමින් සිටියේය.


මම ආ බව අම්මා , තාත්තාට කියනවා ඇසී...... තාත්තා ඇස් ඇර මා දෙස බැලූවේ ඇස්වල කඳුළු පුරවා ගෙන ය….. ඔහු මගේ අතින් අල්ලාගෙන මොන මොනවාදෝ කියන්න හැදුවත් එක පාරට ම ඇස් පිය වී ගියේ ය. අත කඩා වැටුණේ මගේ අත අල්ලා ගෙන සිටිය දී මය.


මගේ දුක වාවා ගත නොහැකි විය. මා වත්තන් කරගෙන රාණි ඇන්ටි මාව එළියට රැගෙන ගියාය.


තාත්තා අප හැර ගියේ මාව අන්තිමට දැක දෑසේද කදුලු පුරවාගෙනය….... තාත්තා සමග හරියට මට කතා කිරීමට නොලැබීම ගැන මට ඇති වුනේ දුකකි.


ඔහු මම ඉපදුණ දා සිට, අයියාටත් වඩා මට ආදරේ කල බව මම දැන සිටියෙමි. අම්මා, අයියා මට බනින විට, මාව නිතර බේරාගත්තේද ඔහුයි...... පොඩි කාලේ මාව කරේ තියාන මාත් සමග සෙල්ලම් කල හැටි…..මම ඉල්ලන හැම දෙයක්ම කිසිම ලෝභ කමක් නැතුව දුන් තාත්තාට....., මම අම්මාට වඩා කවදත් ආදරය කලෙමි.... තාත්තා අප හැර යාම...අම්මා අයියාටත් වඩා මගේ හිතට දරාගන්න බැරි තරම් දුකක් දැනින.


අයියා ,නුවර ඔහුගේ නිවසේ තාත්තාගෙ මලගෙයි වැඩකටයුතු කළේ…. කොළබට මිනිය ගෙනයාමට වඩා පහසු වු බැවිනි..... තාත්තාගෙ නෑදෑයින් ඔහුගේ මල ගමට, නුවර ආවේ කොළඹ සිටය. තාත්තාගේ එකම නංගි, කුසුම් නැන්දා හා මාමා තාත්තාගේ මලගමට විත් තිබුනේ රට රැකියාව කරන රංජන් අයියා සමගය. ඒ දිනවල ඔහු නිවාඩුවට ලංකාවට විත් තිබුන බැවිනි.... ඔවුන් තාත්තාගේ මල ගෙදර ආවත් අම්මා සමඟ කතා නොකළේය. කුසුම් නැන්දා, ඔහුගේ එකම සහෝදරයා, තමන්ගේ පවුල ගොඩ දාන්න උදව්කල එකම සහෝදරයාගේ මලගමට ආවත්, කුසුම් නැන්දා පිට කෙනෙක් වගේ මලගමට සහභාගී වී යන්න ගියාය. මුලදි ඇය මිනිය ලගදී කෑගසා අඩමින් බොහෝ වේලාවක් තාත්තා දෙස බලමින් කදුලු පෙරුවේ රංජන් අයියා ඇය වත්තන් කරමින් ඉදිද්දීය. ඇය අම්මා ලගට නිකමටවත් ගොස් ආචාර නොකරේය. ඇය තවමත් මගේ විවාහයත් සමග අම්මා සමග කේන්තියෙන් අමනාපෙන් හිදින ගානය..... රංජන් අයියා නම් මා ලගට විත් වචන දෙක තුනක් කතා කළේ ය. නිරංජන් අයියා නම් තාත්තාගේ මල ගෙදර වත් නොඅවේය. නැන්දා ලඟට මං අපහසුවෙන් ඇවිද ගියේ මගේ බඩත් උස්සා ගෙනය. ඇය මගේ ඔළුව අත ගා, වෙනදා තරම්ම, හැගීමකින් නොවුනත් කතා කලාය.


‘‘දැන් මාස කීයද දුවේ?’’ කියා අසා මාව ඇගේ ලග පුටුවකින් වාඩි කර ගත්තේය.


‘‘මාස හතයි නැන්දේ….බලන්නකෝ අපේ තාත්තට වෙච්ච් දේ...මම අඩන්න පටන් ගත්තේ දුකෙන්‍ය.


ඇය මගේ අතකින් අල්ලාගෙන ඔහේ බලාගෙන හිටියේ ඇයගේ එකම සහෝදරයාගේ මලගම ගැන දුක් වෙමින්‍ය.

නිරංජන් අයියා ආවේ නැද්ද නැන්දේ….?’’මම මුකුත් නොවුන ගානට ඇසුවෙමි.


‘‘නෑ දුවේ.... නිරංජන් දැන් මාස පහකට උඩදි රට ගියානේ…...රංජන් පුතා ඉන්න රටටම තමයි ගියේ….. නිරංජන්ටත් එහේ හොඳ රස්සාවක් හම්බවුණානේ…. ‘‘


නැන්දා කවදත් මට හිතැති ය. ඇය අකමැති අම්මාට ය. අම්මා මාව බලෙන්ම වගේ විකුම්ට කසාඳ බන්ඳා දුන් බව ඇය දනී….. අම්මා නිරංජන් අයියාට අකමැති නිසා, මාව වේලාසන විකුම්ට කසාඳ බන්ඳා දුන් බව නෑදෑයින් හැමෝම වගේ දන්නා කරුණකි. නැන්දා කවදත් මට ආදරය කලාය. අම්මා සමඟ කතා නොකළත් මා සමඟ කතා කළ නැන්දා, මාමා වේලාසන මළගමට සහභාගී වී කොළඹ ගියේ අපේ අම්මාටවත් නොකියාය.


කුසුම් නැන්දා තාත්තාගෙ එක ම සහෝදරියයි. ඇයට ගොඩක් උදව් උපකාර කළ තාත්තාට ඇය කවදත් ආදරය කලාය.. ඇයයි මගෙ මවයි අතර ඇති නොක්කාඩුව නිසා ඇයට මගේ පියාට හරි හැටි සලකන්න බැරි වීම ගැන ඇය නිතර දුක්වුන බව අපි දන්නා කරුනකි.


‘‘මට දුකයි අයියා නැතිවෙන්න ඉස්සර බලන්න එන්න බැරි වුණාට…... කොහේද අයියගෙ නෝනගෙ තියෙන මහන්තත්තෙ නිසා, අපි දුප්පත් නෑදෑයෝ ගෙදර එනවටවත් කැමති නෑනේ….. ඒ නිසයි අපි මඟ ඇරල හිටියේ….... අනේ දුවේ උඹ නම් අපිත් එක්ක තරහ වෙන්න එපා. මං දන්නවා උඹ ඉගෙන ගෙන ඉවර වෙන්නත් ඉස්සර, මගේ නෑනා....උඹව කසාඳ බන්දල දුන්නෙ, අපිට පේන්නත් එක්ක තිබුණ ලොකුකමට රට අරින්න කියලා ?.....’’


නැන්දා නොක්කාඩු කියයි. ඇය දුක නැතිවන තෙක් කියන දේ මම අසා සිටියෙමි. නිරංජන් අයියා සහ මම කසාඳ බඳිනවා දකින්න නැන්දා පෙරුම් පුරමින් සිටි බව මම දනිමු. ඇගේ බලාපොරොත්තු බිඳුණු නිසා, ඇය අපේ විවාහයට සහභාගී වුණේ ද නැත. තාත්තා මගේ මඟුල් කාඞ් බෙදා දීමට ගිය දින නැන්දා මඟුල් කාඞ් එක අතටවත් ගෙන නැත. එය මට ආරංචි වුණේ පසුවයි. මා ගැන බලාපොරොත්තු තියාන නිරංජන් අයියා දුකෙන් හිඳීම එයට හේතුව වෙන්නට ඇත. දැන් ඔවුන් පදිංචි වී සිටින්නේ අතුරුගිරියේය. මගෙ විවාහයෙන් පසු ඔවුන් පදිංචි වී උන් අපේ නිවස තාත්තාට බාරදී අතුරුගිරියේ කුලී නිවසකට පදිංචියට ගොස් ඇත.


මගේ විවාහයෙන් මාස දෙකකට පසු නිරංජන් අයියා රට ගිය පුවත, නැන්දා කියනකම් මම දැන නොසිටියෙමි. මොනව උනත් නිරංජන් අයියා රට ගිය එක ගැන නම් මට ඇත්තේ සතුටකි. ඔහුගේ අනාගතය සැපවත් වේවා යැයි මම නිතර හිතින් පතනා දෙයකි.


තාත්තාගෙ මළ ගම හා හත් දවසේ දානය ද නුවර අයියලාගෙ ගෙදර ම තිබුණි. තාත්තාගෙ දානයට කොළබින් ආවේ තාත්තාගෙ නෑදෑයින් ටික දෙනෙක් පමනි. නමුත් ඔහුගේ මළගමට නෑදෑයින් සියල්ලක් ම වාගේ සහභාගී විය. අම්මා, තාත්තාගෙ මළ ගමින් පසු ටික දිනක් අයියලාගේ ගෙදර නතර වී සිටියාය. මාත් සෝමාත් මළ ගෙදර කටයුතු ,හත් දවසේ දාන කටයුතු ඉවර උනාට පසු, කොළඹ ආවේ රාණි ඇන්ටි සමඟය.


මට දරුවා ලැබෙන දිනද ටිකෙන් ටික ලං වෙමින් තිබුනි . මට දැන් ශාරීරික අපහසුකම් බොහෝ ය. දරුවෙක් ලැබෙන්න ඉන්න මට දරුවාගේ පියා වත් ළගම නෑදෑයෙක් වත් ලග නැති තරම්‍ය . ඇත්තෙ ගෙදර වැඩ කරන කුසුමා පමනි. මට මම ගැනම ඇත්තේ දුකකි.


විකුම් නම් වෙලාව ලැබෙන ලෙස මා සමග කතා කර සැප දුක විමසයි...... ඔහුගේ විශ්ව විද්‍ය්ලයේ අවසන් විභාගය ඉවර වී තිබුනත්, ඔහුට ඒ විභාගය හොදින් සමත් වන්න නොලැබි ඇත. එබැවින් ඔහුට නැවත විභාගයට මුහුන දෙන්නට සිදු වී ඇත. ඒ වෙනුවෙන් ඔහුට නැවත විශාල මුදලක් ගෙවන්න සිදුවී ඇති බව ඔහු කීවේ දුකෙන්‍ය.. එබැවින් ඔහු මේ දවස්වල සිටින්නේ ඒ ගැනත් කලකිරිය.


"ඔයා දුක් වෙන්න එපා විකුම්….දැන්ම මටත් ඔහේ එන්න බැරි එකේ….ඔයා මහන්සි වෙලා ආයෙත් විභාගේ කරන්න "


"මට දුකයි සාරදා...ඔයාට බබා හම්බවෙන්න ඉන්න කාලේ….මට ඔයා ලග ඉන්න එන්න බැරි එකට…..


" ඔයාට පුලුවන් නම් සුමානයකට නිවාඩු දාලා එන්නකෝ.…….ඒත් කමක් නෑ...විකුම්...අම්මලා දෙන්නම මම ලග ඉන්නවානේ බබා හම්බවෙන කොට, ඒකත් ලොකු දෙයක් කියලා මම හිතන් ඉන්නේ...


බඩට මාස නමය සම්පූර්ණ වෙනවත් සමඟ මගේ හිතට දැඩි චකිතයක් ඇති වී ඇත. දරුවා ලැබෙන්න යද්දි මට අමාරුවෙයිද, කොයි විදිහට දරුවා හම්බ වෙයිද කියා, මම උන්නේ හිතේ දැඩි චකිතයකිනි.


විකුම් ලඟ හිටියා නම් මට මේ බය ඇති වෙන එකක් නෑ….. විකුම්ට කෝල් කරන හැම දවසක ම මම කීවේ


“අනේ පුළුවන් නම් ඔයා ලංකාවට එන්න බබා හම්බවෙන දවස් කිට්ටු වෙලාවත් කියායි.

දරුවා ලැබෙන විට දරුවාට මවත්, පියාත් දෙදෙනා ම ඉන්නවා නම් කෙතරම් අගෙයි දැයි සිතමිනි මම තනියම දුක්වෙමින් උන්නෙමි.


දරුවාට අවශ්‍ය කරන හැම දෙයක් ම ලෑස්ති කරගෙන, මං සිටියේ හිතේ ගොඩක් බලාපොරොත්තු ඇතුවය. අම්මා මට දරුවා ලැබෙන්න කිට්ටු වී නුවර සිට ගෙදර ආවේ මගේ වැඩකටයුතුවලට උදව් කළ යුතු බැවිනි. දැන් ඇය නුවර අයියලාගෙ ගෙදර, නිතර ගිහින් නැවති ඉන්නට ආසවී ඇත.

දින සම්පූර්ණ වී මා කොළඹ පෞද්ගලික රෝහලක දරුවා බිහි කළෙමි. රෝහල් බිල ගෙවන ලද්දේ රාණි ඇන්ටි ය. විකුම් ඔහුට ඒ වෙනුවෙන් මුදල් එවන්න ඇතැයි මට සිතිනි. මා බිහි කළේ හුරුබුහුටි පුතෙකු ය. රාණි ඇන්ටි ඔහු දුටු ගමන්ම තුරුළු කරගත්තේ ඉහවහා ගිය සතුටිනි. අම්මාත් මගේ චූටි පුතු දෙස බලා සිටින්නේ...සතුට හා දුක මිශ්‍ර හැගීමකින් යැයි මට සිතේ.....


-හෙට හම්බවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

36 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page