top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දීගේ 💞 අමුතු දීගේ 💞

( 11 වෙනි කොටස)

🌹🌹ඉතා ජයට අපේ දෙවන ගමන උත්සවය ද පැවැත්විණි. මං සතුටින් ඉපිලෙමින් විකුම්ගෙ අත නොහැර ම ඔහු ලඟට ම වී සිටියෙ තව ටික දිනකින් ඔහු මා දමා රට යන බව මතක් වෙද්දී දැනෙන වේදනාව තුනී කරගන්නටය.


විවාහයේන් පසු ගෙවුනු සුමාන එකහාමාරක කාලය, විකුම් නැවත රට යන්නට නියමිත කාලය තුල,අප දෙදෙනා අපේ ගෙදරත් විකුම්ගෙ ගෙදරත් මාරුවෙන් මාරුවට නැවතුනෙමු .


විකුම් රට ගිය විගස ම මාවත් ඔහු ඉන්නා තැනට ගෙන්න ගන්න ඕන වැඩකටයුතු කරන බව දන්නා නිසා…. ඔහු ටික කාලයකට මගෙන් වෙන් වී සිටීම, මම ඉවසා ගෙන සිටිය යුතුයි…

ඔහු සමඟ මං අපේ නෑදෑ ගෙවල්වලත්, ඔහුගේ නෑදෑ ගෙවල් වලත් නෑගම් ගියේ පරණ චාරිත‍්‍ර අනුගමනය කරමින්‍ය. අප ගිය හැම තැන්වලම නෑදෑයින්, අපව ඉතා සතුටින් පිළිගෙන අපට කන්න බොන්න දී හොඳින් සංග්‍රහ කලහ.


‘‘තව දවස් තුනයි නේද විකුම් පුතාට රට යන්න තියෙන්නේ .‘‘


‘‘ඒක තමයි මේ සාරදා නාහෙන් අඬනවා තව ටිකක් ඉඳල යන්න කියල….. ඒ වුණාට මගේ නිවාඩු ඉවර වෙන්න ඉස්සෙල්ලා යන්න එපෑ ...‘‘


‘‘ඔව්, ඉතිං සාරදාවත් පුළුවන් ඉක්මණට පුතා ඉන්න තැනට ගන්න නිසා ටික කාලයයිනේ සාරදාට මෙහේ තනියම ඉන්න වෙන්නේ…...‘‘


‘‘ඔව්....... සාරදාගෙ එක්සෑම් එකටත් තව මාස හයයිනේ. ඒකත් ඉවර කරල ම ගියාම, සාරදාටත් හොඳ රස්සාවක් එහේ හොයාගන්නත් පුළුවන් එහෙන්.‘‘


‘‘ඔව්, ඔව්. අවුරුද්දු හතරක් වෙච්ච මහන්සිය. ඒකත් කරලා ඉවර කළාම …... ඉස්සරහ කාලෙට හොඳයිනේ.‘‘


‘‘ඔව්, සාරදාට එහෙ හොඳ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. ටිකක් තව ඉංග‍්‍රීසි තමයි ඉම්ප‍්‍රෑ කරගන්න තියෙන්නේ. කොහොමත් එහේ ගිය ගමන් නිකන් ම ඉංග‍්‍රීසි ඉගෙන ගන්නත් පුළුවන් වෙයි…...‘‘


විකුම් රට යන දිනය දක්වා අප දෙදෙනා මාරුවෙන් මාරුවට විකුම්ගෙ ගෙදරත්, අපේ ගෙදරත් නැවතුනි. වැඩිපුර ම අප දෙදෙනා නෑ ගමන් විනෝද ගමන් ගිය නිසා ගෙදර හිටියේ නැති තරම් ය…..


විවාහයෙන් පසුව ගෙවුණු කෙටි කාලය ඉතා සතුටින් විකුම් සමඟ ගත කළ මට විකුම් රට යන එක දරා ගැනීමට බැරි තරම් විය. ඔහුගේ සමාගමේ දැඩිව වේලි සිටි මම මුළු හිතින් ගතින් ම විකුම්ට බැඳී උන්නා ය.


අපේ විවාහයෙන් පසු විකුම් නැවත රට ගිය දවස මට දැඩි දුකක් ඇති කළ දිනයකි….. ඔහුගේ සමාගමෙන් මිදී තනිව ගත කරන්න වෙන කාලය කෙසේ සිටිය යුතු දැයි මට හිතා ගැනීමට නොහැකි තරම් ය.

කටුනායක ගුවන් තොටුපොළට විකුම් බස්සන්න යනකම්, මම කාර් එකේ පිට්පස ආසනයේ විකුම්ට තුරුලු වෙලා ඔහුගේ උරහිසේ ඔලුව තියාන හිටියේ දුකෙන් අඩමින්‍ය. මොනවද කතා කරන්නේ කියාවත් හිතට නොයෙයි….. විකුමුත් මගේ අත තදින් අල්ලාගෙන ඔහේ ජනේලයෙන් එලිය බලාගෙන ඉදී. . විකුම්ගේ යාලුවා ඉස්සර සීට් එකේ ඉන්නා විකුම් ගේ අම්මා සමග කතා කරමින් යන්නේ අපට කැමති විදිහට නිදහසේ ඉන්න දීය.

කටුනායක ගුවන් තොටුපොළට වාහනය ආ විට මට තවත් දුක වැඩි විනි. තව ටික මොහොතකින් විකුම් මා හැර ලංඩනය බලා යන්නට යයි.... ආයි අප දෙදෙනා කවදා හම්බවෙයිදැයි සිතා ගැනිමට නොහැක….


"ඔයාගෙ විභාගය ඉවර උන හැටියෙම ඔයා මා ලගට ගන්නවානේ සාරදා ...ඇයි ඔයා ඔච්චර දුක් වෙන්නේ…"


විකුම් මගේ කරවට අත දමාගෙන අනිත් අතින් ඔහුගේ බෑගයද තල්ලු කරගෙන යන ගමන් අසයි.


"මට දුකයි….මට ඔයා ලගට වෙලා ඉන්න බැරි නිසා….ඔයා එහේ සැප විදින්නේ නෑ කියලා මම දන්නවානේ...ඔයාගෙ කෑම ටිකවත් මට හදල දෙන්න තිබුනනේ ලග හිටියනම් …."


" හරි හරි..මෙච්චර කාලයක් මම මැරුනේ නෑනේ ..ඔය තියෙන විදිහකට කාලා මම ඉන්නම්….., ඔයා එනකම්….ඔයා හොදට එග්සෑම් එක කරලා පාස්වෙලා එහේ එන්නකෝ...එතකොට අපට අපේ අලුත් ජීවිතය එක ලග ඉදගෙන විදින්න පුලුවන්නේ …."

ගුවන් තොටුපලෙන් විකුම් අපෙන් වෙන් වී යන මොහොතේ මං ඔහුව බදා ගෙන හිටියේ දෑසින් කඳුළු බේරියද්දීය.


‘‘මං පුළුවන් ඉක්මණට ඔයාව එහෙට ගන්නවානේ සාරදා අඬන්න එපා…..‘‘ ඔහු මගේ හිස අතගාමින් මා සිප වැලදගෙන මා සැනසීය.


‘‘ සාරදාට.... දුකයි විකුම් පුතා එයාව දාලා රට යන එකට. ඒ උනාට මේ ඉදිරි කාලේ මාස හයයිනේ තියෙන්නේ, සාරදාගෙ අන්තිම එක්සෑම් එකට….. ඒකට පාඩම් කරන්න තියෙන නිසා සාරදාට පාළුවක් දැනෙන එකක් නෑ. විකුම් පුතා ලඟ නැති වුණාට…...‘‘ විකුම් ගේ අම්මා කීය.


‘‘ඔව්, හොඳට පාඩම් කරල ඔයා හොඳට එක්සෑම් පාස් වෙන්න සාරදා…... ඉස්සරහ කාලෙට ඒක හරි වැදගත් අපි දෙන්නටම....‘‘ විකුම් කීය.

විකුම් අප සැවොට ම සමුදී එංගලන්තය බලා ගුවන් ගමන ආරම්භ කළේ ය.


ඔහු ගියාට පසු අපි නැවත ගෙවල් බලා ආවේ කිසිම කතා බහක් නැතුවමය. මම දුකෙන් ඉන්න නිසා වෙන්නැති කවුරුත් මාත් එක්ක කතා නොකලේ…. .


විකුම් රට ගිය පසු මම අපේ අම්මත්, තාත්තාත් සමඟ අපේ මහ ගෙදර ම නැවතිනි. මාගේ පාඩම් වැඩකටයුතු වලටත් විශ්ව විද්‍ය්ලයට යන ගමනට ලේසි නිසාත් මට ගෙදර සිටිම පහසු විය. විකුම් ගේ අම්මා එය තේරුම් ගෙන තිබුනි. ඉඳහිට විකුම්ගෙ ගෙදර ගොස් ඔහුගේ අම්මා සමඟ ද කාලය ගත කරමින් නිතර විකුම් සමඟ දුරකතනයෙන් ද කතා කරමින් කාලය ගත කරේ දුක මිශ්‍ර බලාපොරොත්තුවකිනි.


"ඔයාගේ යුනිවර්සිටි පටන් ගත්තද සාරදා ….? තව මාස හයයිනේ තියෙන්නේ මහන්සි වෙලා පාඩම් කරන්න …. මම මේ ඔයා එන්නේ කවද්ද කියලා මග බලාගෙන ඉන්නේ.."


"මාත් එහෙම තමයි ...මේ විභාගෙ ඉක්මනට කරලා ඔයා ලගට එන්නේ කවද්ද කියලා මම බලාගෙන ඉන්නේ...කොච්චර වැඩ තිබුනත් මට හරි පාලුයි ඔයා ලග නැතුව….


"මම දැන්ම ඉදලා ඔයා ආපුවහම අපට ඉන්න පොඩි යුනිට් එකක් එහෙම බලාගෙන යනවා. පොඩි පොඩි ගෙදරට ඕනකරන බඩුත් එකතු කරනවා….ඔයා මෙහේ එනකොට මට හැමදෙයක්ම ලෑස්ති කරලා තියාගන්න පුලුවන්නේ එතකොට ඒකයි…


"අනේ පව්...ඔයා මම නිසා හරියට මහන්සි වෙනවානේ…. මට දුකයි ඔයා ගැන ...ඔයාට හරියට කන්නත් නැතුව ඇතී...අනේ පුලුවන් වෙලාවට මොනව හරි හොදට උයාගෙන කන්න විකුම්…. කම්මැලි නැතුව …


"සාරදා ඔයාට පුලුවන් වෙලාවට අපේ ගෙදර ගිහින් අපේ අම්මවත් බලලා එන්න….. මම හැම මාසෙම අම්මට පන්සලට දෙන්න සල්ලි ටිකක එවනවා මෙහෙන්....ඔයාට ඒකෙන් ගානක් මේ පාර දෙන්න කියලා මම අම්මට කිව්වා.... . ඔයා ඒක අම්මගෙන් ඉල්ලගන්න ඔයාගෙ වියදමට….."


"අනේ...මට සල්ලි එපා, ඔයා ඒ සල්ලි ඔයාගෙ වියදමට තියාගන්න . මට අපේ අම්මලා හැම දේයක්ම මට කරලා දෙනවනේ…


"එහෙම හරි නෑනේ ...මම දැන් ඔයාගෙ හස්බන්ඩ් නේ….. මම නේ ඔයාගෙ වියදම ගැන බලන්න ඕනේ...මම කිව්වා අම්මට මම එවන සල්ලි ඔයාගෙ එකවුන්ට් එකට මේ පාර දාන්න කියලා… ඊලග මාසේ ඉදන් මම කෙලින්ම ඔයාගේ එකවුන්ට් ඒකට සල්ලි දාන්නම්….ඔයා ටික ටික ඒවා ඉතිරි කරගන්න බලන්න ... අපේ ඉස්සරහ කාලේ වියදමට තියා ගන්න පුලුවන්නේ...ඒ සල්ලි... "

විකුම් රට ගොස් මාසයක් ගත වුණේ, හරි හෙමින් ය. යුනිවසිටි ගිය විට යහළුවන් විකුම් මතක් කරමින් විහිළු තහලු කරයි…. ඔවුන් සැවොම මගේ විවාහ මංගල්‍යයට සහභාගී වූවන් ය.


‘‘කොහොමද මණමාලයා නැතුව පාළු නැද්ද?....‘‘


‘‘අපෝ ගෑණිගෙ මූණෙ තියෙන පෙම් පාට. මතක් කරනකොටත් මූණේ මල් පිිපෙනවා….‘‘


‘‘ඉක්මණට පලයං විකුම් ලඟට…. ඌ උඹ නැතුව වෙන ගෑණු ලඟට යයි ද දන්නෑ ගින්න නිවාගන්න…...‘‘


‘‘පලයං යන්න උඹලට ඉරිසියයි…..‘‘


‘‘අපෝ මං නම් රට ඉන්න මිනිහෙක් බඳින් නෑ කවදාවත්....‘‘


‘‘ඒ මොකද?’’


‘‘බැන්ද දවසෙ ඉඳන් මට නම් මිනිහ ලඟට ම වෙලා ඉන්න ඕනේ.‘‘


‘‘මමත් මේ විභාගෙ ඉවර වුණ ගමන් ම එයා ලගට යනවා…..‘‘


‘‘ඒක හොඳයි.‘‘


විකුම් ගොස් මාස එකහමාරක් විතර වෙන්න ආවේය.... දිනක් සෙනසුරාදා උදේ මම නැගිට ගත්තෙ බොහොම අමාරුවෙනි. මගේ ඔළුව උස්සන්න බැරි තරම් කකියයි. ඇඳෙන් නැගිට්ට ගමන්ම මට දැනුන අප්පිරියාවත් සමඟ ආ ඕක්කාරය මං දුවගෙන ගියේ බාත්රූම් එකටය…... නවත්ත ගන්න බැරි වුණ ඕක්කාරය….සමග මං වමනෙ දැම්මේ හරි සද්දෙට…. හරි අමාරුවෙනි. මගේ වමනෙ දමන සද්දෙ ඇහි අම්මා දුවගෙන ආවේ ගෙදර වැඩ කරන සෝමාත් සමගයි.


‘‘ඇයි දුවේ මේ...‘‘අම්මා...ඇස් උඩ තියාන මාදෙස බලා ඉදී..


‘‘අනේ ලොකු නෝනා, චූටි නෝනට බබෙක් හම්බවෙන්න වගේ…..‘‘ සෝමා අම්මට කීවේ හෙමිහිට උනාට, මට එය හොදින්ම ඇසී….මගේ ඇග හිරි වැටිනි.


සෝමා මගේ පිට අතගායි. අම්මා සතුටත්, දුකත් මිශ‍්‍ර වුණ හැඟීමෙන් මං දෙස බලා හිඳියි.


"‘කොච්චර සතුටු දෙයක් ද? ඒ වුණාට මේ දරුවාගෙ අන්තිම විභාගෙට තව මාස කීය ද තියෙන්නේ. පාඩම් වැඩක් අතපසු වෙයි ද දන්නෑ…... .‘‘ අම්මා අත නිකටේ තියාන මා දෙස දුකෙන් බලා හිදි.


"අපි ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගිහින් මේක හරියටම දැන ගනිමු…."


එදිනම හවස මම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියේ...තාත්තාගේ කාර් රතයෙන් අම්මා සමගය.


අම්මා, සෝමා හිතපු විදිහට, මම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් වී උන්නෙමි....... සිද්ධාර්ථ

කුමාරයා, යසෝදරා දේවිට, රාහුල කුමාරයා හම්බුන බව දැනගත් වෙලේ......රාහුලයෙක් උපන්නා කිව් ලෙස..….මට හිතන්න, කියන්න සිද්දවී ඇත.

මගේ මේ දරු ගැබ නිසා....., මම ,විකුම් කරන්න හිතාගෙන හිටි හැම වැඩක්ම අවුල් උන ගානය.... එක පැත්තකින් මගේ අවසාන උපාදි විභාගය, අනිත් පැත්තෙන් විකුම් ලගට යන්න හිටිය ගමන….විකුම් තවමත් හරියට රස්සාවක් නැතුව යාලුවො සමග කුකුල් කූඩු වැනි ගෙදරක ජීවත් වන විදිහ,......මම කොහොමද මේ බඩත් උස්සාගෙන තව මාස හයකින් එහේ යන්නේ...... .මොනවද වෙන්නේ කියා සිතා ගැනීමට නොහැකිය.


‘‘විකුම්ගෙ අම්ම දැනගත්තහම ,දුව ප්‍රෙග්නට කියලා, හරියට සතුටු වෙයි .... අද ම දුව විකුම්ටත් කෝල් කරල කියන්න. ඔයාට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා.‘‘


"‘අනේ...තව ටික් කාලයක් ගිහින් මට බබෙක් හම්බ වුණානම්….. මේ විභාගෙ අස්සෙ මං ලෙඩ වෙලා හරියට විභාගෙ කරගන්නත් බැරි වෙයිද දන්නෑ……. ‘‘


‘‘බබෙක් හම්බවෙන්න ඉන්නවා කියන්නෙ ලෙඩක් නෙමේ දරුවෝ ….අම්මා ,සෝමා මා සනසන්න කියයි...ඔවුන් වෙනදාට වඩා වැඩි විශේශත්වයක් මට පෙන්වයි.‘‘


මට බබෙක් හම්බ වෙන්න ආ පුවත් විකුම්ගේ අම්මාට ඉතා සතුටුදායක ආරංච්යක් විය…..

මට බබෙක් හම්බ වෙන්න ඉන්න ආරංචිය මගේ අම්මලා දෙන්නා හා පවුලේ අනෙක් අයට තරම් විකුම්ට සතුටුදායක ආරංචියක් නොවීය….. .


නමුත් විකුම්ගෙ අම්මා එය දැනගත් දවසෙ ම අපේ ගෙදර ආවේ මට කන්න බොන්න විශේෂ කෑම වර්ග ද රැගෙන ය. විකුම්ගෙ සහෝදරිය පදිංචි වී ඉන්නෙ කැනඩාවේය. ඇයට දුවෙක් ඉඳියි. විකුම්ගෙ අම්මා පවුලෙ නම ගෙනියන්න පුතෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ විකුම්ගෙනි. ඇය විකුම්ගෙ දරුවා පිලිගැනිමට බලාගැනීමට ලෑස්ති වෙන්නේ සතුටින් ඉපිලෙමිනි .


‘‘මට නම් හරි සතුටුයි සාරදා…..ඔයා ප්‍රෙග්නට් කියලා දැනගථම. ඔයා හොඳට පරිස්සම් වෙන්න. යුනිවසිටි යන කොට බස්වල යන්න එපා…... මං අපේ වාහනය එවන්නම් ඔ්‍යාට යන්න. හොඳට ගුණ කෑම ජාති එහෙම කන්න. මට හරි සතුටුයි. අපේ පවුලේ එකම පිරිමි දරුවනෙ විකුම් .. .... එයාගෙ දරුවන් තමයි අපේ පවුලෙ නම ගෙනියන්න ඉන්නේ…...‘‘


‘‘මම මේ දවස්වල පාඩම් කරන්න තියෙන නිසා කොහොමත් යුනිවර්සිටි වැඩිය යන්නෙ නෑ.අම්මේ...”‘


‘‘ඒක හොඳයි දුවේ..... ඔයාට ඕන වෙලාවක මට කෝල් කරන්න. එහෙ මෙහ ගමනක් යන්න ඕන වුණාම.‘‘ විකුම්ගෙ මව මා ගැබිනියක් බව දැන ගත් මොහොතේ පටන් සතුටින් උදම්ව ඇත…. .


‘‘හොඳයි අම්මේ.‘‘ මම රාණි ඇන්ටිට විවාහයෙන් පසු අම්මා කියන්නෙ විකුම් කියනා ලෙස ය…..


මම ගැබණියක වී ඇති ආරංචිය යුනිවසිටි එකේ යාළුවෝ අතර පැතිර ගිහින් තිබුණේ හරි ඉක්මණටය. ඔවුන් මං බලන්න ආවේ අඹ අච්චාරු වර්ග ද රැගෙන ය. ඔවුන් සියල්ලෝ මගේ විවාහ මංගල්‍යයට සහභගී වුණ යහළු යෙහෙළියන්ය . ඔවුන්ගෙ ගුරු හරුකම් මවක් වෙන්නට ඉන්න මට, ලැබුණේ පොත්පත්වලින් හා දැන ඉගෙන ගෙන තිබුණ දෙයින් ය…..ඔවුන් හැමෝටම මම ඉන්නා තත්වය අමුත්තක් උනේ...ලාබාල වයසින් කසාද බැද ගැබනියක් වීම උනත්, එය ඔවුන්ට සතුටු දායක ආරංචියක් නොවීය. හේතුව මගේ අවසාන විභාගයට තව මාස දෙක තුනකට වඩා නොවුනු නිසයි. මට හරියට විභාගය කරගන්න බැරි වේයැයි ඔවුන්ද බයේ ඇත.


‘‘මදෑ විභාගෙ ඉවර වුණ ගමන් රට යන්න හිටි ගෑණිට වුණ දෙයක්…...‘‘


‘‘කොහොම හරි විභාගෙ නම් හොදට කරගනින්. ඔය බඩත් උස්සගෙනම…..‘‘


‘‘උදේට උදේට එන වමනෙ තමයි මට ඉවසන්න ම බැරි…..‘‘


‘‘එහෙම තමයි.. , තව මාසයක් විතර යනකොට ඕක නැවතිලා යයි.‘‘ හොදම යාලුවන් දෙදෙනා වන සුනීතා හා ශාමාද මගේ අමාරුකම් නිසා ඔවුන්ද දුකෙන් ඉදී....


‘‘විකුම් මොකද කියන්නේ.‘‘


‘‘එයා මොනවත් කියන් නෑ. .. හොදටම අප්සෙට් ගිහින් මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියපු වෙලේ ඉදන් ...මෙච්චර ඉක්මණට දරුවෙක් ලැබෙයි කියල හිතුවෙ නැතිලූ..... එයා ගොඩක් ප්ලෑන් කරගෙන හිටියලූ..... මං එහේ ගිහාම කරන්න තියෙන දේවල් ගැන. තවම එයා හරියට ඉන්න ගෙයක්වත් ඇරගෙන නැති නිසා විකුම් ටිකක් අප්සෙට් වගේ…. මෙච්චර ඉක්මනට මට ලමෙක් ලැබෙන්න ඉන්න එකට... මට බබෙක් හම්බවෙන්න ඉන්න නිසා දැන් බබාට ඉන්න තැනකුත් ලෑස්ති කරගන්න ඕනලූ.... තව සල්ලි මදිලූ... ගෙයක් කුලියට ගන්න තරමට වත්.... මාත් එහේ ගිහාම දෙනන්ත එක්ක ම වැඩ කරල සල්ලි ටිකක් ඉතිරි කරගෙනලූ දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් හිටියෙ.... එයා හිතල ම නෑ මං මෙච්චර ඉක්මනට, ප්‍රෙග්නට් වෙයි කියල ....සුමානෙන් දෙකෙන්…..අපේ සංස්කෘතිය අනුව, අම්මලා ඕවා අපට කියල දෙන්නේ...කතා කරන්නෙත් නෑනේ....බන්දලා දුන්නහම හරි කියලනේ වැඩිහිටි අය හිතන්නේ....එතනින් එහා දේවල් අපට කරගන්න ඇරලා නේ වැඩිහිටි අය ඉන්නේ.....මටත් තවම මේවා ගැන තේරුමක් නෑ.....විකුම් හිතල තියෙන්නේ...අපේ අම්මලා මට ඒ දේවල් කියල දීලා කියලලු......


‘‘හරි වැඩක්නේ සුමානයක් එකට ඉන්න ඕන නෑ... එක පාරක් එකට හිටියත් ඇති….ඇත්ත, අපේ වැඩිහිටියෝ ළමයි බන්දලා දුන්නට එතනින් එහා...ළමයි හදාගන්න ඕන කාලවකවානු.....උපත්පාලන ක්‍රම කියල දෙන්න....කතා කරන්න කැමති නෑනේ........"


"පැදුර පෑගුනත් ඇති කියන්නෙ උඹල වගේ උන්ට තමයි…. හානිමුන් බේබි කෙනෙක් වෙන්න ඇති.... විකුම් හරි දක්ෂයෙක් එහෙනම්…..‘‘


යෙහෙළියෝ නොයෙක් දේ කියමින් මට හිනාවෙයි. විහිළු කරයි. ඒ හැමදෙයක් ම මගේ හිත හැදෙන්න කියන කතා ය.


‘‘මොනව වුණත් කමක් නෑ..... බඩත් උස්සගෙන ම උබ විභාගෙ ලියන්න ගිහාම.... දරුවට කවදහරි කියතෑහැකි මම ඩිග්‍රිය කලේ….. අපේ අම්මගෙ බඩේ ඉන්න කාලේ කියලා…. .‘


‘‘උඹට මොනවහරි නෝට්ස් එහෙම ඕනනම් කියපං අපි ගෙනත් දෙන්නම්….. බස්වල යන්න එපා. පරිස්සමින් දරුවා හදා ගනින්…..‘‘


මම ජයට ම මඟුල් කා... කසාඳ බැන්ද කෙනෙක් නිසා යුනිවසිටිය තුළ මා හට හොඳ නමක් තිබුනි. කවදත් අහිංසක, ගතිගුණ තිබුණු හොඳ වැදගත් පවුලක ගෑණු ළමයෙක් වුණ මට යහලුවන් අතරේ ද විශේෂයක් තිබිණ….. යුනිවසිටිය තුළ පිරිමි ළමයෙක් සමඟ හාදකමක් නොතිබුණ මට ගෑණු පිරිමි භේදයක් තොරව හැමකෙනෙක් ම හොඳින් සලකයි, කතා කරයි උදව් උපකාර කරයි..


දරුවා කුස තුළ දවසින් දවස වැඩෙද්දි මං වැඩි වැඩියෙන් පාඩම් වැඩකටයුතු කරගෙන ගියා ය….. අම්මා, සෝමා, තාත්තා ද මට වෙනදාටත් වඩා උදව් උපකාර කරමින් මා ගැන සොයා බලයි. රාණි ඇන්ටි ද අපේ ගෙදර එන්නේ මට විශේෂ කෑම බීමද හදා ගෙන ය. රාණි ඇන්ටි ගෙදර සිටියේ වැඩ කරන කෙනෙක් සමඟ ය. විකුම්ගෙ තාත්තා ඔවුන් හැර ගිය පසු, දේපල ඉඩකඩම් බලාගනිමින් රාණි ඇන්ටි විකුම්ව සහ ඇගේ සහෝදරියට හොඳින් උගන්නමින් ඔවුන්ගෙ අනාගතය හොඳින් ම සෑදීමට උත්සහ ගත් කෙනෙක්ය. විකුම්ගෙ සහෝදරිය දැන් කැනඩාවේ පදිංචි වී සිටින්නේ ඇගේ සැමියා හා එක ම දියණිය සමඟිනි. විකුම්ව රට යවන්න උනන්දු කරවා ඇත්තේ ද ඇගේ සහෝදරිය යි. වැඩි කාලයක් නොගොසින් විකුම්ගේ මවද කැනඩාවේ ඔහුගේ සහෝදරිය ලග පදිංචියට යෑමට නියමිතය.


විකුම් ද මේ දිනවල ඔහුගේ අවසන් විභාගයට ලෑස්ති වෙමින් හිදියි. මුල් කාලයේ තරම් නිතර නිතර මට ඔහු සමග කතා කිරීමට අවස්තාව නොලැබේ. ඒ විවේකය අඩු නිසාය. ඔහු මෙන්ම මා ද අවසන් විභාගය වෙනුවෙන් ලෑස්ති වෙන නිසා අප දෙදෙනා දැන් සුමානෙකට දින තුන හතරකට වඩා කතා කරන්නෙද නැත....... දෙදෙනා ම දෙදෙනාගෙ විභාග කටයුතු වෙනුවෙන් මහන්සි වන්නෙමු. වැඩියෙන් ම රටවල් දෙකේ කාල වෙලාවන්වල වෙනස නිසා අප දුරකතනයෙන් කතා කිරීමට වෙලාව සාදා ගන්නේද අමාරුවෙනි. ඔවුන්ගේ රාත‍්‍රියට අපට උදේ ය…... දෙදෙනාගෙන් කෙනෙක් නිදිමරාගෙන හෝ වේලාසන නැගිට එකිනෙකා හා කතා කිරීමට වේලාව සාදා ගත යුතු ය.


‘‘මේ දවස්වල හරිම සීතලයි. වින්ටර් කාලය නිසා.. .ඒත් නිදි මරාගෙන මම පාඩම් කරනවා. මේ විභාගෙන් පාස් වුණොත් මට හොඳ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන්.‘‘


‘‘මාත් හිතන්නෙ එහෙමයි. අපේ දරුවා මගේ බඩ ඇතුළේ එහෙට මෙහෙට යනවා..... මට පයින් ගහනවා. ඒවා විඳගෙන මාත් විභාගෙට පාඩම් කරන්නෙ.. මේ විභාගෙ හොඳට පාස් වුණොත් මටත් හොඳ ජොබ් එකකට යන්න පුළුවන් නිසා ..... දරුවා මාත් එක්ක ඉන්න නිසා මට පාළුවක් නෑ. ඔ්‍යා ලඟ ඉන්නවා කියල මං හිත හදාගෙන ඉන්නේ….. මට තියෙන එක ම දුක ඔයාට, ඔයාගෙ දරුවා මගෙ කුස තුළ ඉන්නවා දකින්න නො ලැබෙන එකයි. ඔයා හිටිය නම් මං ලඟ ….. මං මාසෙකට සැරයක් ඩොක්ට ගාවට යන්නෙත් ඔයා එක්කනේ…. මට හරියට ඔයා නැති අඩුපාඩුව දැනෙන්නෙ ක්ලිනික් ගිහාම.... . හැම දරුවෙක්ම හම්බවෙන්න ඉන්න අම්මාලා එන්නෙ හස්බන්ඞ්ලා එක්ක. මං විතරයි අම්මා එක්ක යන්නේ.... මිඞ්වයිෆ් ඇහුව්වා හස්බන්ඞ් එන්නැත්තෙ ඇයි කියලත්.‘‘


‘‘මොනව කරන්න ද සාරදා අපි අපේ අනාගතය හදාගන්නනේ මේ තරම් මහන්සි වෙන්නෙත්….. ඔයාට නම් අම්මලා, තාත්තලා ඉන්නවා. කන්න බොන්න තියෙනවා. මට ඒ මොනවත් නෑ. ඔහේ මැක්ඩොනලඞ්ස් බන් කාකා මං පාඩම් කරනවා. රස්සාවට යනවා. හීතලේ ගැහි ගැහී තමයි පාරවල්වල යනකොට යන්නෙත්. මට වඩා බරට සීතලට ජැකට් ඇඳගෙන යනකොට නම් මොකද්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා…..‘‘


‘‘මට ඔයා ගැන හරි දුකයි. මං කියල මොනව කරන්නද විකුම්…. අපි දෙන්නා අම්මලාට ඕනිවිදිහට ඉක්මනට කසාඳ බැන්ඳා කලබලේ.... ෆැමිලි පෑලෑනින් එකක් ගැනවත් හිතුවෙ නෑනේ... එහෙම හිතුවනම් මං මෙච්චර ඉක්මණට ප්‍රෙග්නට් වෙන් නෑනේ.‘‘


‘‘ඒක තමයි අපි කරපු මෝඩ වැඬේ….. අපි ඉස්සෙල්ල පිළිවෙලක් වෙලා තමයි කසාඳ බඳින්න තිබුණේ…..‘‘


‘‘විවාහ සහතිකේ ඕන නිසානේ අපි ඉක්මණට බැන්දේ….. ‘‘


‘‘ඒක තමයි ඒක නැතුව මට ඔයාව මෙහෙට ගෙන්න ගන්න බැරි වුණ හේතුවනේ තිබුණේ…..‘‘


‘‘හැබැයි ඉතිං අම්මලා කියන්නෙ දරුවා හම්බ වෙලත් මාස පහක් හයක් යනකම් ඔයා ලඟට යන්න එපාලූ…. තනියම දරුවා හදාගන්න දන්නෙ නැති නිසා...පළවෙනි බබානේ….‘‘


‘‘ඒක ඇත්ත සාරදා. අපි දෙන්නට හරියට ඉන්න තැනක්වත් නැතුව මටත් හරියට රස්සාවකුත් නැතිව, ඔයත් දරුව ඇරගෙන මෙහේ ඇවිල්ලා බෑ….. මං ටිකක් පිළිවෙලක් වෙලා තමයි දරුවයි ඔයාවයි මෙහෙට ගෙන්න ගන්න හිතන් ඉන්නෙ ….නැත්නම් මං වගේ ම ඔය දෙන්නටත් දුක් විඳින්න තමයි වෙන්නේ. ඔයා තනියම ආවා නම් මං දන්නවා ඔයත් මට උදව් කරයි.... දැන් ඉතිං දරුවෙකුත් එක්ක ඔයාට මට උදව් කරන්න කියල හිතන්නවත් බෑනේ…..‘‘


‘‘අපේ වෙලාව….. අපට තව කාලයක් ඉන්න වෙනවා, එකට එකතු වෙන්න….. මට නම් වෙලාවකට හරි දුකයි. ඔයා ලඟ නැතුව මං අපේ දරුවා බිහි කරන්න ලෑස්ති වෙන එකට.‘‘


‘‘මං ඔයාගේ බැංකු පොතට එවන සල්ලි වලින්…... ඔයාට ඕන දේවල් දරුවට ඕන කරන දේවල් ලෑස්ති කරගන්න….සාරදා මටත් හරි දුකයි මේ කළබලේ වෙච්ච දේට….ඔයා හැබැයි මොන කරදර තිබුනත් ඩිග්‍රිය ගන්න වැඩේ නම් මග ඇරගන්න එපා…..‘‘


‘‘සල්ලි නම් එපා විකුම් අම්මලා ඒවා මට ලෑස්ති කරල දෙනවා….. ඔයගොල්ලන්ගෙ අම්මත් මට බබාට ඇඳුම් එහෙම මහල දුන්නා….. අපේ අම්මා ඉතිරි අඩුපාඩුත් ලෑස්ති කරල තියෙන්නේ.‘‘


දරු ගැබට මාස හයක් වනවිට මගේ යුනිවසිටි, අවසන් විභාගයට ලියා මම ගෙදර නැවතී වුන්නෙමි. ඒ වනවිට පාඩම් වැඩකටයුතු ඉවර වී තිබුණ නිසා මං නිදහසේ ගෙදරට වෙලා සිටියෙත් මනසින් නම් හොදටම වැටි උන්නේ...කාලයකට විකුම් ලගට යන්නට බැරි නිසා. මම දරුවාට අවශ්‍ය ඇඳුම් මසමින් පන්සල් යමින් ආගමික ජීවිතයක් ගත කරමින් මං මගේ ටිකෙන් ටික ඉදිරියට නෙරා එන කුස දෙස බලමින් කාලය ගත කළෙමි. දරුවා මගේ කුසේ එහාට මෙහාට යන විට මට සතුටක් වගේ ම දුකක් ද දැනෙයි. අම්මා නිතර මං ගැන සොයා බලමින් කාලය ගත කරයි.


මේ දිනවල තාත්තා නිතර අසනීප වෙන්න පටන් ගත් බැවින් මගේ එක ම සහෝදරයා අයියා පැමිණ තාත්තා ඔහුගෙ නිවස වෙත රැුගෙන ගියේ මගේ අපහසුකම් මැද තාත්තා බලා කියා ගැනීම අම්මාට කල නො හැකි නිසායි.... . අම්මා මගෙ තනියට සෝමා සමග ගෙදර හිදියි. අයියා ,තාත්තා නුවර එක්කගෙන යෑම, අම්මාට හා සෝමාට පහසුවක් විය

-හෙට හමුවෙමු -


* ප්‍රිසිලා ගොඩහේවා *

2 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Коментарі


bottom of page