top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

20 වෙනි කොටස /


🌹🌹දින දෙකක්ම නිරංජන් ඉස්කෝලේ ඇරෙන වෙලාවට මාව බලන්න විත්,ඔහුගේ වාහනයෙන් මාව ගේ ගාවටම ගෙනත් බැස්සුහ….


තවත් දිනක සෝමත් පුතාවත් බලන්න අපේ ගෙදර එනබවද අපිව එදාට කොහේ හරි එක්ක යන බවද ඔහු කීය.


මාත්, සෝමාත්, පුතාත් කොහොමත් කොහේ හරි ගෙදරින් පිට ගමනක් යන්න පුදුම ආසාවකින් ඉන්නේ ….. ගෙදරයි, පාසැලයි, පන්සලයි ඇරෙන්න අපට වෙන විනෝද ගමනක් යෑමට අවස්ථාවක් නැත. පුතාවත් වඩා ගෙන බස්වල යන්න මං කැමති ම නැති දෙයකි.... සෝමාට ද පුතාව දැන් දැන් වඩා ගෙන යන්නට බැරි තරම්‍ය..... ඇය ද දැන් මහළුය. පව් තමන්ගෙ දුවෙක් බලාගන්නවා වගේ, ඇය මාවත් මගේ පුතාවත් බලා ගනී.

පෝය දිනට මම ඇයට ගමේ ලඟ පන්සලට සිල් ගන්න යන්න අවසර දී ඇත.....එයට ඇය මට පිං දෙයි.. එදිනට මම ගෙදර සියලු වැඩ කරමින් පුතාවත් බලා ගමි…... ඇය එම ගමන යන්නේ හරිම ආසාවෙනි. ඒ වගේම සැමදා හවස ගෙදර ලග පන්සලේ බෝධි පූජාවට ද ඇය සහභාගී වෙයි..... සමහර දිනට මාත්, ඇය සමග පුතාත් රැගෙන පන්සල් ගොස් බුදුන් වැඳ ටික වේලාවක් බෝධිය ලඟ වාඩි වි බෝධි පූජා පොතක් ගෙන ගාථා කියමින් වඳින්නෙමි. පන්සල් ගිය දිනට හිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලූවකි..... පුතා පන්සලේ වැලි මලූවේ වැලි පාගමින් අල්ලමින් සෙල්ලම් කරන්නෙ හරිම කැමැත්තෙනි. ඔහුව ගෙදර ගෙන යාමට එදාට නම් හරිම අමාරුය.


‘‘චූටි බේබි පන්සල් යන්න ආස වැලි අල්ලන්න.‘‘


‘‘ඒකනම් ඇත්ත. වැලි අල්ලන්න තියෙනවා නම් එයාට වෙන මොනවත් ඕන නෑ.‘‘


‘‘මතකනේ එදා නිරංජන් මහත්තයා අපිව ගෝල්ෆේස් එක්ක ගිය දවසෙ ගෙදර එන්න බෑ කියල අඬුවා.‘‘


‘‘ඔව්... එදා නම් මුහුදු වැල්ලේ ඇතිවෙන්න නැටුවා.‘‘


‘‘ආයෙත් දවසක නිරංජන් මහත්තයාට අපිව ගෝල්ෆේස් එක්ක යන්න කියන්න ඕනේ..... මං හරි ආසයි මුහුදු රැුල්ල පාගන්න.‘‘


‘‘සෝමත් පොඩි ළමයෙක් වගේනේ.‘‘


‘‘දැන් නෝනා, ඔය නිරංජන් මහත්තයා කසාඳ බඳින්න කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?’’


‘‘ඔව්... ඒ ගැන වැඩි කතාවක් නෑ. මං අහන්න ගියෙත් නෑ.‘‘


‘‘නිරංජන් මහත්තයා මෙහෙ එනව දැනගත්තොත් කුසුම් නෝනා අපිට බනියි.‘‘


‘‘අපි ගෙන්න ගන්නෑනේ සෝමා එයා ආවාහම අපට යන්න කියන්නත් බෑනේ.‘‘


‘‘ඒ වුණාට නෝනා නිකං නිරංජන් මහත්තයාට කියන්න වැඩිය මේ පැත්තෙ එන්න එපා කියල.... ගමේ මිනිස්සු දන්නැද්ද කතාවක් එහෙම හැදුවොත් අපි මේ ගෑණු දෙන්න තනියම ඉන්න තැන.‘‘


‘‘ඒකනම් ඇත්ත සෝමා අනිත් දවසෙ කියන්න ඕනේ වැඩිය එන්න එපා කියල......‘‘


‘‘නිරංජන් මහත්තයයි, රංජන් මහත්තයයි පොඩි කාලෙත් මේ ගෙදර ම හැඳුණු දෙන්නෙක් වගේනේ හිටියේ..... . ඒ පුරුද්දට ඔය එනව ඇත්තේ. ලොකු නෝනා ගෙදර නැති නිසා බය නැතුව ඔය එන්නේ..... ලොකු නෝනා හිටියනම් මේ පැත්තෙවත් එන්නෑ. .. ... .‘‘


‘‘ඒක නම් ඇත්ත. අම්මට ඒ අය කවුරුත් කැමති නෑ.‘‘


‘‘නෝනා මාත් ගමේ ගිහින් එන්න ඕනෑ. ළමයින්ගෙ ළමයි මං එනකම් බලන් ඉන්නවනේ. මාස ගාණකින් යන්න බැරි වුණා.‘‘


‘‘ දෙසැම්බර් නිවාඩුව එන සුමානෙ පටන් ගන්නවනේ .... එතකොට යන්න සෝමා..... මට නැත්නම් නිවාඩු දාන්න වෙනවා.‘‘


‘‘ඔව්.. එහෙනම් මං එන සෙනසුරාදා ම යන්නම්.‘‘


‘‘හැබැයි වැඩි දවසක් ඉන්නෙ නැතුව එන්න.‘‘


‘‘ඔව් නෝනා... මටත් ඔය ගියාට හරියට ඉන්න තැනක්වත් නෑ. ළමයින්ගෙ, ළමයින්ට මේ ගෙනියන ඇඳුම්, කෑම ජාති ටික දීලා ඉක්මණට එනවා. උන් බලාන ඉන්නෙ මං එනකම්. මං මොනවද ගේන්නෙ කියලා බලන්න “


‘‘මගෙත් ඇඳුම් බෑග් එකක් මං ඇරන් තිබ්බා. යනකොට ඒවත් ගෙනියන්න. පුතාගෙ ඇඳුනුත් ගොඩක් ඇති. ඔය ගමේ කාටහරි පොඩි ළමයින්ට බෙදල දෙන්න.‘‘


‘‘පිං සිද්ධ වෙනවා නෝනා..... අපේ ගම්වල කොච්චර ඉන්නවද දුප්පත් මිනිස්සු.‘‘


‘‘මේ නිවාඩුවට පුළුවන් උනොත් අම්මල කොළඹ එනවා කිව්වා..... ඒ හින්ද සෝමත් ඉක්මණට එන්න. අම්ම ආවාහම ඉතිං මට වැඩ වැඩියි. පුතත් එක්ක තනියම උයාගන්නවත් බෑනේ.‘‘


‘‘ලොකු නෝනා ආවහම ඉතිං මටත් වැඩ වැඩියි. සාරදා නෝනා වගේ නෙමේනේ, ලොකු නෝනා. හරියට වැරදි හොයනවා..... මට වැඩකරල ඉවරක් නෑ.‘ කොච්චර කරත් හොදක් අහන්නත් නෑ. “


සෝමාද අම්මාට එතරම් කැමති නැත .


‘‘එහෙම තමයි. හැබැයි දැන්නම් ටිකක් වෙනස් ... අයියගෙ නෝනා අම්මව හදල අරන් වගේ.‘‘


‘‘ඒක හොඳයි. පුංචි මහත්තයාගෙ නෝනා සාරදා නෝනා වගේ නෙමේ. හරි කෙලින්.... කාටවත් එයාගෙ වැඩවලට අත දාන්න දෙන් නෑ. මං දැක්කනේ ගිය පාර අපි නුවර ගිය වෙලේ. ඒ නෝනට ඕන විදිහට තමයි ගෙදර හැම වැඩක් ම වෙන්නේ.... පුංචි මහත්තයාත් බයයි ඒ නෝනට.‘‘


‘‘ඒ වුණාට අක්ක නිසා තමයි අයියත් හැදිලා දියුණු වෙලා ඉන්නෙ.‘‘


‘‘ඔව්.. ගෑණු උනාම එහෙම තමයි ගෙදර මනුස්සයාට උනත් ටිකක් සැරෙන් ඉන්න ඕනේ..... නැත්නම් මිනිස්සු හදාගන්න අමාරුයි. පේන්නෙ නැද්ද සාරදා නෝනාගෙ අහිංසකකම හින්ද තමයි විකුම් මහත්තයා එයාට ඕන ඕන විදිහට නටන්නේ....‘...නෝනා අමාරුවේ වැටුනෙත් ඕනෑවට වඩා අහිංසක වෙන්න ගිහින්...දැන් වත් ටිකක් බය නැතුව කෙලින් වැඩ කරන්න…"


‘මං එහෙනම් නෝනා එන සෙනසුරාදා ගමේ ගිහින් එන්නද?.... අපේ පුතාට කෝල් කරල කියන්න මාව එක්ක යන්න ස්ටේෂමට එන්න කියලා. වේලාසන කියල තිබ්බහම හොඳයි.... ඒ කොල්ලටත් පොලේ වැඩට යන්න තියෙනවනේ.....‘‘


පාසැලේ ළමයින්ගෙ අවසන් වාර විභාගය අවසන් වීමත් සමඟ ගුරුවරුන්ට වැඩ වැඩිවෙන්න පටන් ගනී. ප‍්‍රශ්න පත‍්‍ර බලන්න, ලකුණු හදන්න, ප‍්‍රගති වාර්තා හදන්න වැඩියෙන් ම ගුරුවරුන්ට වැඩ වැඩි කාලය, පාසැල් නිවාඩුවක් දෙන්න ලෑස්ති වෙන කොටයි. ...,


මාත් පාසැලේ වැඩවලින් හෙම්බත් වී උන්නෙමි . සෝමා ඉන්න නිසා පාසැල් කාලයෙදි ගෙදර වැඩවලින් මම නිදහස් උනත්, නිවාඩු කාලයට, සෝමා ගෙදර ගිය විට මට ගෙදර වැඩ කරන්න වෙයි. සිකුරාදා පාසැල් නිවාඩු දෙනකම් සෝමා බලන් ඉන්නෙ ගෙදර යන්නටය. මම ඉන්නේ සෝමා නැතුව වැඩකරගන්න වෙනවට අකමැත්තෙනි.... .


දැන් ඉතිං පාසැලේ නිවාඩු ලැබුණු ගමන්ම තනියම ගෙදර වැඩ කරන්නයි, පුතා බලාගන්නයි වෙන එකටනම් මං කැමති ම නැත....මොනව කරන්න ද සෝමාට නිවාඩුවක් දෙන්න එපැයි. පව් අහිංසක වයසක සෝමා. මං හින්දා සතියේ දවස්වලට වන මහන්සිය.


‘‘සාරදා නිවාඩු කාලේ අපි අනුරාධපුරේ ටි‍්‍රප් එකක් යනවා ස්ටෆ් එකේ ගොඩක් අය යනවා ඔයත් එනවද.....?’’ පාසැලේ ගුරුවරු ට්‍රිප් එකක් යන්න සැරසෙයි


‘‘යන්න නම් ආසයි.. පුතා ගෙදර තියලා එන්න හිතෙන්නේ නෑ.....ඊටත් ගෙදර වැඩ කරන කෙනා ගමේ යනවා මේ පාර.... පුතා ඇරගෙන ආපුවහම මට විනෝද වෙන්නත් බෑනේ....එයාගෙ වැඩත් එක්ක.... එයා පොඩි වැඩි නිසා අනිත් අයටත් කරදර වෙයි "


‘‘ඒක නම් ඇත්ත. ඔයාට පුතාව තියල එන්නත් බෑනේ.‘‘


‘‘අනේ ඔව්... ගෙදර වැඩ කරන එක්කෙනත් ගෙදර යන්න බලා ගෙන ඉන්නෙ. ඉස්කෝලෙ නිවාඩු දෙනකම්.‘‘


‘‘එහෙනම් එන නිවාඩුවටවත් යමු. පුතා තව ටිකක් ලොකු උනාම තමයි ලේසි. දැන් ගියාට ඔයාට ටි‍්‍රප් එක එන්ජෝයි කරන්නත් බෑ.‘‘


‘‘ ඔව්...., ඔයගොල්ලො යන්න. මං එන අවුරුද්දෙවත් යන ටි‍්‍රප් එකකට එන්නම්.‘‘


නිවාඩු දෙන්න දින දෙකයි තිබුණේ. පුතාගෙ ඇඟ හොදටම රත්වෙලා උණ ගැනිලා තිබුණා..... ලාවට තිබුණ උණ නිසා මමයි, සෝමයි කොත්තමල්ලි වතුර සමඟ ළමා පැණඩෝල් දුන්නම උණ බැහැල ගියා. පුතාට අසනීප නිසා සෝමා ගමේ යන්න හිටිය ගමන කල්දාන්න ලෑස්ති විය.


"මම ගමේ නොගිහින් ඉන්නම් නෝනා....., බබාට උන වැඩි උනොත් එහෙම.... නෝනා ,අපේ පුතාට කතා කරලා කියන්න බබාට සනීප උනාම මම එන්නම් කියලා " සෝමා කීය.


"කමක් නෑ සෝමා, බබාට දැන් උන අඩුයි නේ..සෝමා යන්න. කොච්චර දවසක ඉදන් ලෑස්ති වෙලා උන්න ගමනක්ද."


මම සෝමා යන්න ලෑස්ති වෙලා උන්නු ගමන යන්න කිව්වේ මාස ගාණක ඉඳන් සෝමා ගමේ යන්න ආසාවෙන් උන්නු ගමන නිසයි.


‘‘සෝමා ගමේ යන්න දැන් පුතාට ටිකක් හොඳයිනේ.‘‘


‘‘ආයෙත් උණ ගත්තොත් නම් බෙහෙත් ඇරන් දෙන්න වෙයි නෝනා..... පොඩි ළමයින්ට උණ ගැණුනම බලන් ඉන්න හොඳ නෑ.‘‘


‘‘හැබැයි අද නම් ටිකක් හොඳයි වගේ. පැණඩෝල් උදේ දුන්නට පස්සෙ ආයෙත් ඇඟ රත් වුණේ නෑ.‘‘


‘‘දෙවියන්ගෙ පිහිටෙන් ඔහොම ම උන බැහැල ගියොත් හොඳයි.‘‘


‘‘මං එහෙනම් හෙට උදේ ගමේ යන්නද නෝනා.‘‘?


‘‘ඔව්.. .සෝමා හිතන් හිටිය ගමන යන්න. උවමනාවක් උනොත් මං ත‍්‍රීවිල් එකක් ඇරගෙන ඩොක්ට ගාවට පුතාව එක්ක යන්නම්.‘‘


‘‘හොඳයි නෝනා... එහෙනම් බලන් ඉන්න එපා අනිවාර්යයෙන්ම දොස්තර ලගට බබාව එක්ක යන්න.‘


සෝමා සෙනසුරාදා උදේ ම ගමේ යන්න ලෑස්ති විය. මම ඊට පෙරදින අපව නිතර එහේ මෙහේ එක්ක යන, ත‍්‍රීවීල් එකට කතා කර උදේ සෝමාව ස්ටේෂමට බස්සවන්න කතා කරගෙන තිබුණි.

ඒ නිසා සෝමා උදේ පාන්දරම ගමේ ගෙනියන්න ලෑස්ති කරගෙන තිබූ ඇඳුම් පැළඳුම් බෑග් දාගෙන ත‍්‍රීවීල් එකෙන් ස්ටේෂම බලා ගියාය..


සෝමා ගිය පසු මම පුතත් එක්ක ඇද‘ට වෙලා බොහෝ වේලාවක් හොදට නිදාගත්තෙ එදින සෙනසුරාදාවක් නිසයි...... එක දිගට පාසැල් වැඩ නිසා තෙහෙට්ටුවෙන් මහන්සියෙන් හිටි මම පුතාට කිරි බෝතලයක් සාදා බොන්නට දී ඔහු සමග‘ ඇඳට වෙලා හොඳට නිදා ගත්තෙමි.


‘‘අම්මා... අම්...මා..‘‘ පුතා ඇඟ උඩ නගිමින් මා සමඟ සෙල්ලම් කරන්න දගලයි. ඔහුගේ සද්දෙට මට ඇහැරෙන කොට හොදටම දවල් වී තිබුනි.


‘‘පුතාට බඩගිනි ද? මට හොඳට ම නින්ද ගියානේ......‘‘


ඉක්මණට නැගිට මං මූණ කට සෝදා ගෙන පුතාගෙත් මූණ කට සෝදා ඔහුට උදේ කෑම සාදා කැව්වෙමි..... පුතා උදේට කෑවට පසු සාලයේ ඔහුගේ සෙල්ලම් බඩු බිම දාගෙන සෙල්ලම් කරයි. ඔහු දෙස සැරෙන් සැරේ බලමින් මම ගෙවල් අස් කර අතු ගා බතක් උයා පරිප්පු විතරක් හදා බත් තැබුවේ ශීතකරනයේ ඉතිරි වී තිබුන එළවලු මාලු සමග දවල්ට බත් කත හැකි නිසයි..

පුතාට දවල්ට බත් කවන්න හැදුවත් ඔහු බත් නොකෑවාය. ඔහුට බත් කැවිමට පුදුම වෙහෙසක් දැරිය යුතු ය.... සෝමා මා පාසැල් යන දිනට පුතාට බත් කවාගන්නෙ කොහොමද කියා සිතමින්... පුතාට සැර කරමින් බත් කටවල් දෙක තුනක් කවා ගත්තෙමි. පුතාගෙ මූන කට සෝදා කිරි එකක් සාදා පෙව්වේ ඔහුට හරියට බත් කවාගන්න බැරි වුණ නිසයි. පසුව ඔහු ඇඳේ තියා හෙමිහිට නිදි කරවා ගත්තෙ හරිම අමාරුවෙනි..... ඉන් පසුවයි මට දවල් වැඩ ඉවර කර නාගන්න ලැබුණේ. නාගෙන දවල්ට බත් කා මම ද පුතා සමඟ ම හවස් වෙනතෙක් හොඳටම නිදාගත්තේම්.


පහුගිය කාලයේ පාසැලේ වැඩවලින් හෙම්බත් වි සිටි නිසා ලැබු දවල් නින්ද මට සැප පහසුය.

හොඳට ම හවස් වී ඇහැරුණු මට මගේ ඇඟට හේත්තු වී සිටිනා පුතුගේ ඇගෙන් ආවේ දැඩි රස්සනයකි....... ඔහුගේ නළලට බෙල්ලට අත තියපු විට මාව බයෙන් තිගැස්සිනි. ඔහුට හොඳට ම උන ගැනී ඇත. මම කලබලයෙන් ඇදෙන් බැස මොනව ද කරන්නෙ කියා හිතා ගැනීමට බැරුව කල්පනා කළෙමි.


සෝමා කිව්වෙ ආයෙත් උන ගැණුනොත් දොස්තර කෙනෙක් ලඟට රැුගෙන යන්නයි.... ඔව් බලාන ඉන්න බෑ ගෙදර දොර ජනෙල් වසා දැමූ මම අලූත් සායක් හැට්ටයක් ඇඳ ගෙන දොස්තර ගාවට යන්නට ලෑස්ති වුණේ කලබලේය..... පුතාවත් ලෑස්ති කරගෙන මාත් ලෑස්ති වී සල්ලි දමා ගත් හෑන්ඞ් බෑගයත් රැුගෙන මම ගෙදර දොර වසා පුතාව වඩා ගෙන පාරට බැස්සේමි. ටවුමේ ඩිස්පෙන්සරියට යන්නයි ත්‍රීවීලර් එකක් වත් ගත යුතු යැයි කල්පනා කරමින් හනිහනිකට ඇවිද්දෙමි..... පුතා දැන් ටිකක් ලොකු නිසා වඩා ගෙන යන්නත් අමාරුයි. ඒත් මොනව කරන්නද.. පාරට ත‍්‍රීවිල් එකක් එනකම් මං පාර දිගේ ඇවිද ගෙන ගියේ හොඳට ම උණ ගැණි තිබූ පුතාත් වඩා ගෙන ය.


පීප් ... පී.ප්.. මගේ පිටු පසින් ඇවිත් හෝන් ගසා නවත්වපු වාහනයේ උන්නේ නිරංජන්ය. ඔහු වාහය නවත්වා එයින් බැස මා ලඟට ආවේ කළබලේමය.


‘‘කොහේද මේ කලබලේ යන්නේ.... වාහනයෙන් බහින ගමන් ම නිරංජන් ඇසුවේ මගේ උරහිසේ ඔළුව තියාගෙන නිදාගෙන සිටින පුතු දැකය.’’


‘‘පුතාට හොදටම උණ, නිරංජන් අයියේ. මම මේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න යන්න කියලා .’’


‘‘යං යං ඔයා නගින්න. මාත් එන්නම් බෙහෙත් ගන්න යන්න....’’


"ඔයා මේ කොහේ යන ගමන්ද?.....


"ඔයාට ඉස්කෝලේ නිවාඩු සිකුරාදා දෙනව කියපු නිසා, ....ඔයගොල්ලෝ එක්ක ගෙන කොහේ හරි යන්න කියලා ආවේ....පව්, පුතා වගේම සෝමාත් හරි ආසයි වාහනේ ඇවිදින්න යන්න ....ඒකයි ආවේ ඔයගොල්ලන්ව කොහේ හරි එක්ක යන්න."


"අද උදේ සෝමා ගමේ ගියා....එන සෙනසුරාදා එනවා කිව්වා ..."


" එහෙමද "


"ඔන්න ඩිස්පැන්සරියට ආවා....යමු එහෙනම්...


ඔහු මාත් පුතත් සමඟ ටවුමේ තිබුන ඩිස්පෙන්සරිය ඇතුලට යන්න ආවේය . වාහනයෙන් බැස පුතුව වඩා ගත් නිරංජන් මා සමඟ ඩිස්පැන්සරිය ඇතුලට වගේම දොස්තර වෙතට ද යන්නට ආවේ ය.


පුතා නිරංජන්ගේ අතේ ඔහුගේ උරහිසේ ඔලුව තියාන නිදී...... පුතුගේ අසනීපය අසා ඔහුට බෙහෙත් නියම කරපු දොස්තර පුතුගෙ අසනීපය වැඩි වුණොත් දවස් තුනකින් ලේ බලවාගන්න කියා තුන්ඩුවක් ද දුන්නේ නිරංජන් අතටය...... ඔහු සිතන්න ඇත්තෙ නිරංජන් මේ දරුවාගෙ පියා කියායි.

දරුවා ඉපදුනාට පසු ගෙයින් එළියට බැස ගිය විටක, මුල්ම වතාවට දරුවාට තාත්තා කෙනෙක් ඉන්න බව, අනිත් මිනිසුන්ටත් දැනෙන ලෙස නිරංජන් මම ලග සිටීම මගේ හිතට සතුටට කාරණයක් විය.


පසුගිය අවුරුදු දෙකේ මම පුතු සමඟ එළියට ගියා නම් ඒ සෝමා සමඟය..... පියෙක් නැති මගේ පුතු වඩාගෙන මා සිටින වෙලාවට අප ලඟින් යන දරුවන් වඩාගත් පියවරු දකින විට මගේ හිත උණු වී දරාගත නොහැකි වේදනාවන් ඇතිවන්නේ ... පියෙක් නැති මා පුතු ගැන කළකිරීමෙනි.


‘‘අපි එහෙනම් යමු බෙහෙත් ගන්න. මං පුතා වඩාගෙන ඉන්නම්. ඔයා ගිහින් බෙහෙත් ඇරන් එන්න.’’ නිරංජන් කීය.


මම දොස්තර මහතා දුන් බෙහෙත් තුන්ඩුව බෙහෙත් දෙන කවුලුවට දී බෙහෙත් දෙන තෙක් බලා උන්නෙමි.


ඈතින් ඩ්ස්පැන්සරියේ පුටුවක වාඩි වී නිරංජන් පුතාව උකුලේ හොවාගෙන හිදියි. මගේ හිත සොවින් තැවේ. කාගෙවත් දරුවෙක් වඩාගෙන නලවන නිරංජන් ගැන මට ඇතිවුණේ කියාගත් නොහැකි ආදරයකි ......මෙවන් පියෙක් මා පුතුට ලැබුනේ නම්.... ඔහු කෙතරම් නම් වාසනාවන්ත වෙයිද? දරුවාගේත් මගෙත් අවසනාවන්ත කම. මම හිත යටින් තැවුනෙමි.


නර්ස් නෝනා පුතාට බෙහෙත් වගයක් පොවන්න තියෙනවා කිව් නිසා මම පුතාව නිරංජන් අතින් මගේ අතට ගෙන, වඩා ගෙන නර්ස් නෝනා ලග තිබුන පුටුවේ වාඩි විය.


නර්ස් නෝනා පෙවපු බෙහෙත් ටික ඒ විගසම පුතා... අනිත් පැත්තට වමනේ කරේ මගේ ඇගේද හැලෙන ලෙසය්.....


ඒ නිසා පුතාට නැවත බෙහෙත් පෙවීමට සිදුවිය.


"හරි බෙහෙත් ගත්තා දැන් අපි යමු නිරංජන්.... නිරංජන් නැවත පුතාව ඔහුගේ අතට ගත්තේය.....


"පුතා මගේ ඇගෙත් වමනේ දැම්මා.... මම නිසා ඔයාටත් කරදරේ නේද?


"මොන කරදරයකද සාරදා ...? මේ වගේ වෙලාවට උදව්වක් කරන්න බැරිනම් වැඩක් නෑනේ.


එදා සෙනසුරාදා දිනයක් නිසා ඩිස්පැන්සරියේ බොහෝ සෙනග සිටියාහ. එබැවින් අප ඩිස්පැන්සරියේ සිට ගෙදර එනවිට රෑ අටත් පසුවිය.


"ඔයා ඉස්සෙල්ලා වාහනයට නගින්න. මම ඊට පස්සෙ ඔයාට පුතාව දෙන්නම්.... දැන් නම් පුතාට ආයෙත් නින්ද ගිහිල්ලා වගේ . උනත් අඩුයි.


ඩිස්පැන්සරියේදි බොන්න දුන්න බෙහෙත් ටික නිසා වෙන්න ඇති...උන අඩු උනේ ...


"පුතා මගේ අතට දුන් ඔහු වාහනයට නැග එය පදවන්න පටන් ගත්තේය.


‘‘ගෙදර කන්න කෑම තියෙනවද සාරදා.’’


‘‘පුතා සනීප නැති නිසා දවල් මොනවත් හරියට උයාගන්නත් බැරි වුණා,....පරිප්පු ටිකක් විතරක් උයාගෙන මමත් කෑවේ....


‘‘මොනවහරි ඔයාට රෑට කන්න කඩෙන් ගේන්නම්ද?’’


‘‘අනේ කරදරවෙන්න එපා නිරංජන්. මට ඔය ගෙදර තියෙන මොනවා හරි කන්න පුලුවන් ’’


“පොඩ්ඩක් ඉන්නකෝ” ඔහු රෑ කෑම කඩයක් ලග වාහනය නවත්වා එයින් බැස ගියේය .


නිරංජන් එම කඬේන් කොත්තු පාර්සල් දෙකකුත් කෙසෙල් ගෙඩි හා බනිස් වගයකුත් ගෙනැවිත් තිබුණි.


"ඔයා ගොඩක් ගෙනත් මට ඔය වැඩිත් එක්ක....."


‘‘මටත් බඩගිනියි ....මටත් එක්කම කොත්තුවක් ගත්තා......’’


අපේ ගේ ගාව වාහනය නැවැත්වු පසු... ඔහු එයින් බැස විත් මම වාඩි වී සිටි පැත්තේ දොර ඇර පුතාව සීරුවට අතට ගත්තේය .


මගේ අතින් පුතාව ගත් නිරංජන් මම ගෙදර දොර අරිනකම් සීරුවට පුතාව වඩාගෙන සිටියේ හොඳින් පළපුරුදු පියෙකු මෙන්ය. ගෙයි දොර ඇර මම ලයිට් දැම්මෙමි.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

10 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page