top of page
  • Writer's picturePrisila Godahewa

💞 අමුතු දීගේ 💞 අමුතු දීගේ

(19 වන කොටස) 🌹🌹‘‘මේ මාසෙ අන්තිමට වත් මං ගෙදර ගිහින් එන්න ඕනෑ නෝනා….කාලෙකින් ගියේ නෑනේ…..’’


‘‘ දිගටම එක එක දේවල් තුබුන නිසා....සෝමව ගමේ අරින්නත් බැරි උනා....මේ හිටිය විදිහටම ඉදලා....මට ඉස්කොලේ, දෙසැම්බර් නිවාඩු දුන්නහමම සෝමා යන්නකෝ....නැත්තම් මට නිවාඩු දාන්න වෙනවනේ සෝමා....මේ මාසේ අන්තිමටනේ….. එතකොට සෝමා ගිහින් එන්න. එතකොට සුමාන දෙකක් විතර ඉදලා එන්න පුලුවන්නේ….. .


"සෝමාට ගමේ ගෙනියන්න දේවල් ගන්නත් ඕනේ නේද ?”


"ඔව් නෝනා….දුවගෙයි පුතාගෙයි ළමයි බලාගෙන ඉන්නේ මම එනකම්.... ළමා මඩමේ දාන වැඩයි….., චූටි බේබිගෙ උපන් දිනෙයි පහු වුණාම ගිහින්...., ගමේ ගෙනියන්න දේවල් ගන්නවා..... මේ දවස්වල ටික්ක වැඩ වැඩියිනේ…..‘‘


‘‘ඒක හොඳයි සෝමා.‘‘


‘‘ බදාදට ළමා මඩමට ගෙනියන දානේ මඩු එහෙම ලෑස්තියි නේද? සෝමා....‘‘


‘‘ඔව් නෝනා. හෙට රෑට උයන දේවල් කපල කරල තියාගත්තාම බදාදා උදේ පාන්දරින් ම උයන්න පටන් ගන්න පුළුවන්....‘‘


‘‘පුතාට මං හෙට කේක් එක්ක ගේන්නම් කඩෙන්, අපි ළමා මඩමේ ළමයින්ටත් කේක් දෙමු...... පුතාගෙ උපන්දිනේ දවස නිසා…..‘‘


‘‘ඔව්... එක් හොඳයි පිං සිද්ධ වෙනවා. අම්මා තාත්තා නැති ළමයිනේ.‘‘


‘‘ලොකු නෝනා අද දවල් කෝල් එකක් දුන්නා. බේබිගෙ උපන්දිනෙ මතක් වෙලා. පොඩි මහත්තයාට විවේකයක් හම්බවුණාම කොළඹ එන්න ඉන්නෙ කිව්වා….. නෝනට කෝල් එක්ක දෙන්න කිව්වා ගෙදර අවහම.‘‘


‘‘ඔව්....... මාත් අම්මටයි, අයියටයි කතා කරන්න තමයි හිටියේ අද රෑට වත්…... කෝල් එකක් දෙන්න ඕනේ….ගිය අවුරුද්දේ නම් අයියලා කොළඹ ආවනේ...... පුතාගේ බර්ත්ඩේ එකට….මේ පාර බදාදා නිසා...ඒගොල්ලන්ට එන්න බෑනේ දුවගෙ ඉස්කෝලේ පාඩු කරගෙන…..‘‘


බදාදා පුතාගෙ උපන්දිනෙ දවසට මම ඉස්කෝලෙ නිවාඩුවක් ලබා ගත්තෙමි. අඳුනන ලඟම ගුරුවරියන් දන්නවා පුතාගෙ උපන්දිනය බදාදා බව.


‘‘සාරදා ළමා මඩමට කෑම ගෙනියනවා කිව්වා නේද?‘‘


‘‘ඔව් පුතාගෙ උපන් දිනෙ දවසේ පිනක් කරගන්න එක හොඳයි කියල හිතුනා....පාටි නොදා.....‘‘


‘‘ඒක ලොකු දෙයක්. ඔය පාටි දාන එක බොරු වැඩක්. පිනක් දහමක් කරගත්තොත් අපි යනකොටවත් ගෙනියන්න පුළුවන් පින.. .. පාටි දැම්මොත් මිනිස්සු ඇවිත් කාලා බීලා ඇද කුදත් පෙන්නල යයි.‘‘


‘‘ඒක නම් ඇත්ත. පුතාගේ තාත්තා කාලෙකින් ලංකාවට ආව නැති නිසා මිනිස්සු බලාගෙන ඉන්නෙ මට කතා හදන්න .... ඒකයි දන්න කියන අයටත් නොකියා ළමා මඩමට කෑම ගිහින් දීලා පුතාගෙ උපන්දිනය සමරනවා කියලා හිතුවේ.‘‘


‘‘හැබැයි ඔන්න අපටත් බ‍්‍රහස්පතින්දට එනකොට කේක් ගේන්න.....‘‘


‘‘හරි.. හරි.. මං වෙන ම කේක් එක්ක ගේන්නම්කෝ. ස්ටාෆ් එකට බෙදන්න . ..‘‘


‘‘අන්න තුසිත සර් අප්සෙට් එකේ ඉන්නේ, එදා වෙඩින් එක ඉවරවෙලා ඔයාව ගෙදරට බස්සන්න යන්නලූ හිටියේ…. කවුද අහම්බෙන් හම්බවෙච්ච කොල්ලෙක් එක්ක ඔයා ගියා කියලා නෝක්කාඩු කිව්වා….‘‘


‘‘හරි වැඩක්නෙ. මං එයා එක්ක යන්න ම ඕන කියල නීතියක් තියෙනව ද?....’’


‘‘මිනිහ ඔයා ගැන බලාපොරොත්තු තියාගෙන වගෙ ඉන්නේ…..‘‘


‘‘මං බැඳල ළමයෙක් ඉන්න කෙනෙක් කියල එයා දන්නවනේ…..‘‘


‘‘ඒ උනාට ඔයා හස්බන්ඞ්ගෙන් වෙන්වෙලා ඉන්නවා කියල තමයි ස්ටාෆ් එකේ අය හිතන් ඉන්නේ…..‘‘


‘‘පුදුම මිනිස්සු. හස්බන්ඞ් අවුරුද්දක් දෙකක් ලඟ හිටියෙ නැති වුණා ම කතාවක් හදන්න ම නේ බලන් ඉන්නේ.. ....‘‘


‘‘ඒක තමයි මං සාරදාට කිව්වේ පුළුවන් ඉක්මණට හස්බන්ඞ් ගාවට පුතත් එක්ක යන්න......, නැත්නම් හස්බන්ඞ්ට ලංකාවේ පදිංචියට එන්න කියන්න කියලා…..‘‘


‘‘මාත් නිතර ම විකුම්ට ඕක කියනවා...... මට දැන් කියල ඇති වෙලා ඉන්නෙ. ඒකයි මං වැඩිය එයත් එක්ක කතා කරන්නෙ නැත්තෙත්..... මං තරහ වෙලා වගේ ඉන්නේ, එයා එක්ක කතා නොකර ඔය ප‍්‍රශ්ණෙටම. තමයි .‘‘


‘‘තහරවෙලා හිටිය ම ඔය ප‍්‍රශ්න විසඳෙන්නෙ නෑ සාරදා…. බලෙන් හරි ඔයා රට යන්න හදා ගන්න..... එහෙම නැත්නම් චාටුවෙන් එයාව ලංකාවට ගෙන්න ගන්න බලන්න. සල්ලි ම නෙමේනෙ ජීවිතේ කියන්නේ ... අනික ගැණියෙක් වුණා ම හැටහතර මායම්වලින් ටිකක් හරි දාලා මිනිහව රවට්ට ගන්නත් ඕනේ. නැත්නම් මේ ලෝකේ ජීවත්වෙන්න අමාරුයි......‘‘


‘‘මට තේරෙන්නෙ නෑ මොනව කරන්න ද කියලා.....චාන්දනි... මං අපේ අයියටත් කිව්වා හස්බන්ඞ් එක්ක කතා කරල මොනවහරි පිළිවෙලක් කරල දෙන්න කියල….‘‘


‘‘මොනවහරි කමක් නෑ ඉක්මණට කරන දෙයක් කරන්න.‘‘


‘‘එහෙනම් චාන්දනී මං යන්නම්…. හෙට ඔයා මගේ පන්තිය පැත්ත ටිකක් බලන්න. මං නිවාඩුයි කියල දැනගත්තොත් ළමයි සද්ද කරල ලොකු සර්ගෙන් බැනුම් අහයි.‘‘


‘‘හා... හා... මං ඔයාගෙ පන්තිය බලන්නම්. ඔයා එහෙනම් හෙට පුතාගෙ උපන්දිනය ළමා මඩමේ සමරල එන්නකෝ.‘‘


පුතාගෙ උපන්දිනේ යෙදී තිබුණේ සතියේ මැද දවසක බැවින් මා හට පාසැලේ නිවාඩුවක් දැමීමට සිදු විය....


එදිනට කලින්දා සිට මඩමට කෑම ගෙනියන්න අවශ්‍ය දෑ මාත් සෝමාත් ලකලෑස්ති කළේ ඉතා ආසාවෙනි. පුතුගෙ උපන්දින දා පාන්දර නැගිට මඩමට කෑම ගෙනියන්න අවශ්‍ය දෑ මාත් සෝමාත් ලෑස්ති කළේ ඉතා භක්තියෙනි..... මම පුතුට ගෙනා අලූත් ඇඳුමත් සෙල්ලම් ටේ‍්‍රලර් රථය ද, ටොපි චොක්ලට් බෑගය


‘‘හැපි බර්ත් ඬේ පුතා’’

කියා ඔහු නැගිට්ට විට පිළිගැන්වූවෙමි. උපන් දිනය ගැන කිසි හැඟීමක් නොතිබුණ ඔහු සෙල්ලම් ටේ‍්‍රලර් යාත‍්‍රාව සමඟ සෙල්ලම් කිරීමට පටන් ගත්තෙ ටොපියක් කටේ දාගෙනය.


මාත් සෝමාත් කෑම ලෑස්ති කරේ කලබලේය. වෙලාව පහු වෙන්න ඉස්සර කෑම ටික ලමා මඩමට ගෙන යායුතුයි. දහය විතර වෙනකොට මඩමට ගෙනියන්න දානේ උයාපිහා ඉවර කිරීමට හැකි විය.


ට්‍රීංංං….


ගෙදර බෙල් එක වැදේ.... කවුද මේ වේලාවට..අනික කවුද අපේ ගෙදර එන්නේ….මේ කාලය වනවිට, නෑදායින් යාලුවන් අපේ ගෙදරට එන එක නැවතීම තිබුනි…..හේතුව අම්මා ඉන්න කාලේ වගේ නෙමේ, මම බොහෝම අඩුවෙන්, නෑදෑයින් ,යාලුවන් ආශ්‍රය කරන නිසයි.


‘‘සෝමා ගිහින් බලන්න.... කවුද බෙල් එක ගහනවා.’’


මම දානේ ගෙනියන්න ලෑස්ති වෙන අතරම කීවෙමි. සෝමා අත් දෙක රෙද්දේ අතුල්ලමින් දොර අරින්න දිව ගියේ කලබලේ…..


‘‘ආනේ නිරංජන් මහත්තයා….අදුනගන්නත් බැරි වුනා.... කොච්චර කාලෙකට පස්සෙද මේ ආවේ…. අම්මේ..මහත්තයා වෙනස් වෙලා තියෙන තරම්... ..දැන් අදුනන්නත් බැරි තරම් ලස්සන වෙලා... එන්න එන්න මහත්තයා අපි මේ චූටි බේබිගෙ උපන්දිනේට ළමා මඩමකට දානෙ ගෙනියන්න හදන්නේ .. උයල ඉවරයි. , ඒවා ගෙනියන්න ලෑස්ති වෙන ගමන් මේ.....’’


“පුංචි නෝනා... බලන්න කවුද මේ ඇවිල්ලා ඉන්නෙ කියලා.....පරණ නෑදෑයෙක් ඇවිත් අපිව බලන්න .... “


සෝමා කතා කරන හඩට මම කන් දුන්නේ...ඇවිත් ඉන්නේ කවුද බලන්නයි….කටහඩින් නිරංජන් ඇවිත් ඉන්න බව දැනී මගේ හිත සතුටින් පිරිනි....


සෝමා නිරංජන් අඳුනන්නෙ අපි පොඩි කාලේ ඉඳන් ය. නිරංජන් අපේ ගෙදර ආවේ හුග කාලයකට පසුය. මම කසාඳ බැන්දට පස්සේ අද ය. මට නිරංජන් මීට පෙර දින දෙකක් හමු උනබව මම සෝමාට නොකිව්වෙමි.


මම සුදු සාරියක් ඇඳගෙන සිටියේ මඩමට යන්න ලෑස්ති වීය. මම කාමරයෙන් එළියට ආවේ පුතත් වඩාගෙනය. මා දෙස පුදුමයෙන් හා ආසාවෙන් බලා සිටි නිරංජන් පුතාව ලඟට ගෙන ඔහුට තෑගි බෝග වගයක් පිරිනැමුවේය. .


‘‘හැපි බර්ත් ඬේ පුතා.!


"සෝමා කිව්වා ලග මඩමට දානයක් ගිහින් දෙන්න හදන්නේ කියලා. කොහොමද දානේ ගෙනියන්න හදන්නේ සාරදා "

නිරංජන් මුකුත් නොදන්න ගානට සෝමාට ඇහෙන්න අසයි.... ගිය සුමානේ මට ඔහු හමු වුන වෙලේ මම පුතාගේ උපන්දිනය කිව් එක මතක තියාගෙන අද ඔහු එන්න ඇත්තේ කියා, ඔහු පුතුට තෑගි දෙන වෙලේ සිතිනි.


"අපි මේ දානේ උයලා ඉවර වෙලා, පාරෙ ලගට ගිහින් ත්‍රිවිල් එකක් අඩගහගෙන එන්න යන්න හැදුවා විතරයි…. "


"දැන් ඉතිං ත්‍රිවිල් ඕන නෑ. මම එක්ක යන්නම් මගෙ කාර් එකෙන්…. එහෙනම් ඕගොල්ලෝ ලෑස්ති නම් අපි දානේ අරගෙන යමුද සාරදා ?..’’


‘‘අපි හිතුවෙ ත‍්‍රීවිල් එකකින් ඇරගෙන යනවා කියාල.’’

‘‘මං එනවට අකමැතිද?’’


‘‘අනේ නෑ අද වැඩ දවසක්නේ ඒකයි එහෙම කිව්වෙ....’’


‘‘එහෙනම් කෑම බඩු වාහනයට දාගන්න දවල් වෙන්න ඉස්සර දානෙ දෙන්නත් එපෑ.’’


මාත්, සෝමාත් උයපු කෑම බඩු නිරංජන්ගෙ වාහනයේ ඩිකියෙන් තියා අප තුන්දෙනා ද කඩිමුඩියේ ම ලෑස්ති වී ගෙයි දොර වසා වාහනයට නැග ගත්තෙමු.


මමත්, පුතාත් ඉස්සරහ සීට් එකෙන් වාඩි ගත් අතර සෝමා පිටිපස්සෙ සීට් එකේ උඩ තිබුණු පුතාගෙ උපන්දින කේක් එක පරිස්සමට අතේ තියාගෙන ආවා ය.


‘‘ඉතිං සෝමා කොහොමද? කාලෙකින් සෝමා දැක්කේ…..ගමේ එහෙම ගියේ නැද්ද..?‘‘


‘‘ඒක තමයි මමත්, නිරංජන් මහත්තයාව කාලෙකින් දැක්කේ. කෝ ඉතිං... අපිව අමතකම කරල දැම්මනේ.... කුසුම් නෝනා නම්, ලොකු මහත්තයාගෙ මළ ගෙදර දවසේ ඇවිත්, අපිත් එක්ක කතා නොකරම යන්න ගියා.‘‘


‘‘සෝමා දන්නවනේ අපේ අම්මගෙයි, නැන්දගෙයි අතර ඒ තරම් ඇයි... හොඳයියක් නැති බව.‘‘


‘‘අනේ මං මොකද නොදන්නේ... ඒවා ඉතිං කාලයක් තිස්සේ එන පරණ කොන්තරනේ... මාත් ඇවුරුදු ගාණක් තිස්සේ ඔය ගෙදර ඉන්න කෙනානේ. . මට මතකයි සාරදා නෝනයි, රංජන් මහත්තයයි, නිරංජන් මහත්තයයි, අපේ නුවර පොඩි මහත්තයයි පොඩි කාලේ සෙල්ලම් කරපු හැටි..... මං නේ ඔය හතරදෙනාට දවල්ට, උදේට කෑම හද හද දෙන්නේ. ඒ දවස්වලත් අපේ ලොකු නෝනා බනිනවා කොයිවෙලෙත් හතරදෙනාගෙ සෙල්ලම කියල..... මං තමයි ලොකු නෝනව යාප්පු කරලා ළමයින්ට කෑම එහෙම හදල දෙන්නේ....‘‘


‘‘අපට අමතක නෑ….. සෝමා අපට පොඩි කාලෙ සලකපු විදිහ.... ලොකු දෙයක් සෝමා සාරදා ලඟ ඉන්න එක…..‘‘


"ඔව් මහත්තයා ලොකු නෝනත් නුවර නිසා, මම නැත්නම් සාරදා නෝනා තනියෙන් නේ...


‘‘ළමා මඩමේ ළමයින්ට කීයට ද කෑම දෙන්න තියෙන්නේ සාරදා .‘‘


‘‘දොළහට. තව පැයක් විතර තියෙනවා. අපි ගිහින් කෑම බඩු ඇතුලෙන් තියල ඒවා ලෑස්ති කරගමු.‘‘


‘‘වේලාසන ආපු එක හොඳයි.‘‘


‘‘නිරංජන් ආපු නිසා අපට ලේසි වුණා. නැත්නම් කෑම බඩු ගේන්න වාහනයක් හොයාගන්නත් වෙනවනේ.‘‘


‘‘ඔව්... මම පාරට ඇවිත් ත‍්‍රීවිල් එකක් කතා කරගෙන යන්න තමයි හිටියේ.‘‘ සෝමා කීය


අපි හතරදෙනා දානේ බඩුත් ඇරගෙන ළමා මඩම තුළට ගියෙමු.


‘‘නිරංජන් ඔයා පුතත් එක්ක ඉන්න. මායි, සෝමයි කෑම බෙදන වැඩවලට උදව් කරල එන්නම්.‘‘


‘‘එන්න පුතා... නිරංජන් පුතාව අතින් අල්ලාගෙන මඩමේ මිදුලට ගියේය. පුතා නිරංජන්ගෙ අතේ එල්ලි යන්නේ හොඳට පුරුදු කෙනෙක් වගේය.... අනේ පව්. තාත්තා කෙනෙක්ගෙ උණුසුම නොදැනුන දරුවා ඕන කෙනෙක්ගෙ අතට යනවා. මට පුතා ගැන ඇත්තේ දුකකි ..... විකුම් ඔහුගේ ලෙයින් හැදුනු දරුවා බලන්න තව ආවේ නැත..... මං ඔහුට පුතාගේ පින්තූර සැරෙන් සැරේ අරින්නෙමි. ඔහු ඒවා වලින් තමයි පුතාව දැක බලා ගන්නෙත්...... . පුතාට විකුම්ගෙ පින්තූර පෙන්වා මේ ඉන්නෙ ඔයාගෙ තාත්තා කියල අඳුනලා දුන්නට ඔහුට ඒ ගැන ඒ හැටි හැඟීමක් නැත ......

විකුම්, පුතා හම්බුනාට පසු ටිකෙන් ටික මාත් එක්ක කතා කරන එක අඩු කර දැම්මත්..... මගෙ පොතට මාස පතා පුතාගෙ වියදමට සල්ලි දමයි. ඔහු කතා කරපු හැම දවසකම මම අඪ් අඩා ඔහුට දොස් කියන නිසා ඔහු මාත් සමග කතා කරන එක අඩුකර දැම්මාද කියා මට සිතෙන වාරද ඇත..... මාසෙකට දෙතුන් පාරක් මාත් සමග කතා කරපු ඔහු දැන් මාස අටක සිට මාත් සමග කතා කරන එක නවත්වාම දමා ඇත...... ඔහුගෙ ටෙලිපෝනයද දැන් වැඩ නොකරයි. මගෙ අයියා කීවේද ඔහුගෙ ටෙලිපෝනය වැඩ නොකරන බවය..... මට හිතා ගැනිමට බැරි විකුම්ට මොකක්ද උනේ කියායි.... මගේ පොතට මාස අටක් තිස්සේ මුදල් දමන්නේ කැනඩාවේ කෙනෙක්‍ය..... ඒ රානි ඇන්ට් වෙන්න ඇතැයි මට සිතේ….ඇයි විකුම් සද්දයක් නැතුවම ඉන්නේ….ඔහු කැනඩා ගිහින්ද...මට සිතා ගැනිමට නොහැක. මම හිතන්නෙ විකුම් මාව දැන් හොදටම අමතක කර ඇති බවයි. අයියා කිවු ලෙස මම ඔහුගෙන් වෙන් විය යුතුයි..... . විකුම් එම රටේ වෙන ගැහැනු කෙනකු සමග ජිවත් වෙනවා ඇති. එනිසා වෙන්න ඇත ටෙලිපෝනය මාරු කර මට කතා නොකර ඉන්නෙ..... අවුරුදු තුනක්ට කිට්ටු කාලයක් මට වියදමට මුදල් එවන ඔහු ඇයි දැන් ඉදහිටවත් මාත් සමග කතා නොකරන්නේ….ඇයි රානි ඇන්ට් මට සල්ලි කැනඩාවේ සිට එවන්නේ…? මට ඇත්තේ විසදාගත නොහැකි ප්‍රශ්න තොගයකි . ..... අම්මා නුවර යන්න ප්‍රතම ,රානි ඇන්ටිට ගෙදරට ගොස් හොදටම බැන ඇති බවත් ඇය ඉන් පසු මා සමග කතා නොකරම කැනඩා ගිය බවත් ආරංච් උනේ මේ ලගදීය.


නොයෙකුත් සිතිවිලි මා මනසේ හොල්මන් කරයි. විකුම් ගැන දැන් මසිතේ ඇත්තේ කේන්තියකි..... ඔහු මාව අමාරුවෙ දමා දැන් පිටරට සැපවත් ජිවිතයක් ගත කරනු ඇත. ඔහු තරම් කපටියෙකු තවත් නැතුව ඇති ..... මට ඔහු මතක් වෙන විට ඇති වෙන්නෙ කියා ගත නොහැකි කේන්තියකි .

නිරංජන් පුතා සමග මඩමේ වත්තෙ ඇවිද ඇවිද ඉඳීයි. මායි, සෝමයි ළමා මඩමේ දරුවන්ට දවල් කෑම බෙදන්න උදව් කරමින් සිටියෙමු.


"සෝමා නිරංජන් මහත්තයාට බේබි එක්ක එන්න කියන්න දානේ බෙදන්න....."


ළමයින් තිස්පහක් පමණ හිටි ළමා මඩමේ ළමයින්ට අප දවල් දානේ බෙදා කන්නට දුන්නේ පුදුම සතුටකිනි .. ඔවුන් දැක මගේ ඇසට කඳුලක්ද නගියි.. අම්මා තාත්තා නැති මේ දරුවන්ට වඩා මගෙ පුතා කෙතරම් වාසනාවන්ත දැයි මට සිතේ..... මේ ළමයින්ට අම්මයි, තාත්තයි දෙන්න ම ලඟ නැත. මගේ පුතා ඒ අතින් වාසනාවන්ත ය.... ඔහුට ඔහුගේ අම්මා හරි ලඟ ඉන්න එක කොයි තරම් නම් වාසනාවක්ද?

දවල් ආහාරය රස කර කර කන දරුවන් දෙස අපි බලා උන්නේ දුකිනි.

බත් කා අහවර වුණ පසු අපි ඔවුන්ට අයිස්ක‍්‍රීම් හා ජෙලි බෙදා දුනිනෙමු. ඔවුන් සැවොම අයිස් ක‍්‍රීම් කන්නේ ආසාවෙන්ය .

පුතාගෙ උපන් දින කේක් එක කපා ඔවුනටද..... පිළිගැන් වූ අපි ළමා මඩමට මුදලකින්ද පොඩි ආදාරයක් කළෙමු.


‘‘නෝනටයි, මහත්තයාටයි චූටි පුතාටයි බොහොම ස්තූතියි මේ අහිංසක දරුවන්ට රස කෑම වේලක් පිරිනැමුවට.. ළමා මඩමේ පාලිකාව අපට පින් දී ළමා මඩමේ දරුවන්ට ද අපට ස්තූති කරන්න කියා කීය. ඔවුන් සැවොම එක හඬින් අපට,


‘‘ඔයාලට බොහොම ස්තූතියි අපට දවල් දානේ පිළිගැන්වූවාට‘‘ කීය.


පුතාගෙ උපන් දිනේට වගේ ම මං මගේ තාත්තාට ද හිතින් පිං දුන්නෙමි. ඔහු ඉඳින තැනක ඔහුට කිසිම දේකින් අඩුපාඩුවක් නොවන්නත්, අම්මාට නිරෝගී සුව ලැබෙන්නත් මා මේ දරුවන්ට දුන් ආහාරයේ මහිමයෙන් ලබා ගත් පින සියලූ මළගිය නෑදෑයින්ටත්, සියලූ නෑයන්ටත්, යාළු මිත‍්‍රාදීන්ටත් පිං පිණිස වේවා කිය සතුටින් පිං දුන්නෙමි.


‘‘අපි එහෙනම් යමු ද නෝනා. දානේ වැඩ හොඳට ම කෙරුණා. මටත් හරි සන්තෝසයි. දානේ උයන පිහන වැඩවලට උදව් කරන්නට ලැබුණ එක මටත් පිනක් නේ.‘‘


‘‘ඔව්. සෝමා නැත්නම් මට මේ තරම් හොඳට දානේ දී ගන්න බැරි වෙනවා. සෝමාට තමයි ගොඩක් පිං.‘‘


‘"‘මඩමේ පාලිකාව හිතල තියෙන්නෙ නිරංජන් මහත්තයා නෝනගෙ මහත්තයා කියලානේද?.‘‘


‘‘පුතාව වඩාගෙන හිටපු නිසා වෙන්න ඇති.‘‘


‘‘ඒක තමයි.‘‘සෝමා කීය.


‘‘අපි එහෙනම් යමු ද නිරංජන්.‘‘ මම පුතාව වඩා ගෙන ඉන්න නිරංජන් ලඟට ගියෙමි.


‘‘දානෙ වැඩ හොඳට කෙරුණා නේද සාරදා’’?


‘‘අනේ ඔව්. ගොඩක් හොඳට කෙරුණා. ඔයා ආපු නිසා පුතාගෙන් අපට කරදරයකුත් නැතුව දානේ වැඩේ හොදට කරගන්නත් පුලුවන් උනා....... පුතාව ඔයා බලාගත්ත නිසා අපට ලේසි වුණා නිරංජන් අයියා........ නැත්නම් පුතාව වඩාගෙන මට මොනවටවත් උදව් කරන්න හම්බ වෙන්නෑ. ඔයාට ගොඩක් පිං අපිව වාහනෙන් එක්ක ගෙන ඇවිත් දරුවත් බලාගත්තට.‘‘


‘‘අනේ ඕවා මොනවද?..... එහෙනම් අපි යමු. මට දවල් දෙකහමාර වෙනකොට ඔෆිස් එකට යන්නත් ඕන.....‘‘


‘‘යමු.. යමු... අනේ සොරි අපි නිසා ඔයාට ඔෆිස් වැඩත් පාඩු වෙනවා.‘‘


‘‘නෑ... මම උදේ වරුවක් නිවාඩු ගත්තා ..... ඔයා එදා මට කිව්වනේ බදාදා, පුතාගෙ උපන්දිනේට මඩමකට කෑම ගෙනියනවා කියල. මං ඒ නිසාමයි වේලාසන ඔයගොල්ලන්ගෙ ගෙදර ආවේ වරුවක් නිවාඩුවක් දාලා.‘


‘‘ මට හිතුනා......අනේ තැන්ක්යූ ඔයා ලොකු උදව්වක් අපිට කළේ. හැබැයි නිකන්නම් යන්න දෙන්න බෑ. බත් ටිකක් කාලා යන්නම ඕනේ.....‘‘


‘‘මට පරක්කු වෙයිද දන්නෑ.‘‘


‘‘නෑ... නෑ... ගිය ගමන් කෑම ටික බෙදල දෙන්න විතරයි තියෙන්නේ. අනේ අද වගේ දවසක බත් කටක් කාලා යන්න කොහොම හරි. ඔයා කොච්චර කාලෙකට පස්සෙ ද අපේ ගෙදර ආවේ. නිකං බඩගින්නෙ යන්න දෙන්න නම් බෑ.‘‘


‘‘හරි එහෙනම් ඉක්මණට දෙන්නකෝ. මං කාලම යන්නම්.‘‘


‘‘අනේ හොඳයි... සෝමා, ගිය ගමන් නිරංජන් මහත්තයාට බත් කන්න ලෑස්ති කරන්න. මං පුතාව බලාගන්නම්.‘‘


"ගිය අවුරුද්දේ චූටි බේබිගේ උපන්දිනේට නුවර කට්ටිය මෙහේ ඇවිත් අපිව එලියට එක්ක ගියානේ කෑම කන්න...මතකද නෝනා....."


"ඔව්.... මට මතකයි.....අයියා එලියට එක්ක ගියානේ කෑම කන්න...සෝමා ඒවට ඉතිං හරි කැමතියිනේ...


" මම දවසක එන්නම්කෝ...සෝමව කොහේ හරි එක්ක යන්න...ගෙදරම ඉන්න නිසා...සෝමා කැමති ඇති එලියෙන් කන්න එහෙම....


"අනේ...නෑ...මහත්තයා ...මම නිකමට කිව්වේ...බේබිගෙ පළවන උපන් දිනේ මතක් උන නිසා....


අද මම මේ...ඔෆිස් යන ගමන්නේ....වෙන දවසක නිවාඩු පාඩුවේ එන්නම්කෝ....අපි කොහේ හරි එලියට ගිහින් කම...."


"එහෙම ඕන නැ....සෝමා නිකන් කිව්වේ....අයියේ...."


අපි ගෙදර ආපු ගමන් කෑම ටික මේසෙට ඇරල නිරංජන්ට කන්න දුන්නෙමු. පුතා අපි කෑම ලෑස්ති කරනකම් නිරංජන් අතට වෙලා සෙල්ලම් බඩුවක් අතේ තියාන සෙල්ලම් කරයි . නිරංජන්ගේ උකුලෙ පුතා ඉන්න හැටි දැක, මට දුක මිශ‍්‍ර සතුටක් ඇති වෙයි......

කෑම කා විගසින් ම ඔහු නැවත වැඩට යන්නට ඇතැයි පවසා ඉක්මණින් ගෙයින් එළියට බැස්සේ පුතුව සිප ඔහුට නැවතත් සුභ පතාය.


‘‘බොහොම ස්තූතියි අපව එක්ක ගියාට. .... අනේ මේ ගොඩක් තෑගි බෝගත් ඔයා පුතාට ගෙනත්.....බොහොම ස්තූතියි නිරංජන්.’’


වෙලාවකට මම....ඔහුට නිරංජන් කියෙමි...විටෙක අයියා ...කියෙමි....


එදින පුතුගෙ උපන්දිනය ඉතා චාම් ලෙස එලෙස ගෙවී ගියේ, පින් අතේ වැඩක් ද කරමින් කාලෙකට පසු නිරංජන් අපේ ගෙදර ආපු එකට මගෙ හිතේ සතුටක්ද ඇති කරමින්ය.


සුපුරුදු ලෙස කාලය ගෙවී යයි

පැසැල නිමවා ගෙදර එන වෙලාවට දවස් දෙකක්ම මට නිරංජන් හමු විය.


"කොහේ යන ගමන්ද මේ.....


ඔහු අහම්බෙන් මා හමුවුන බව මට ඇගෙව්වත්.,.....ඔට ඔහු ඕන කමෙන් මාව මුනගැසෙන්න එන බව මට දැනී ඇත......ඔහුව දකින හැම දිනකම මගේ හිත සතුටින් පිරෙයි. එය නොපෙන්වා මම කතා කරන්නෙමි.


"මම ගිහින් බස්සන්ඩද....මේ පැත්තේ කෙනෙක් හම්බවෙන්න යන ගමන්....

ඔහු කියන්නේ වාහනයේ දොර අරින ගමන්‍ය.


"කවුරුත් දැක්කොත්, මට කතාවකුත් හදයි."

එහෙම කියමින්ම මම වාහනයට නගින්නෙමි.


"එන සෙනසුරාදා මම ඔය්ගොල්ලන්ගෙ ගෙවල් පැත්තේ එන්නද? පුතාව දකින්නත් ආසයි. ඔහු අසන්නේ ඇත්තටමය.


"ආ..ඔයාව දැක්කොත් නම් පුතාට ආස හිතෙයි. මම සෝමට කියන්නම් ඔයා එනවා කියලා සෙනසුරාදා දවල්ට ඔයාටත් එක්ක උයන්න කියලා .මම සතුටින් කීවෙමි .


"මට වෙනම උයන්න එපා. ඔය තියෙන විදිහකට කන්න පුලුවන් "


ඒ සෙනසුරාදා නිරංජන්, දවල්ට අපේ ගෙදර එනවා යැයි කියපු නිසා....මම සෝමාටද කියා රසට කෑම පිලියෙල කලේ සතුටිනි. .. මාත් ගෙදර අස්පස් කර හොදට නාගෙන ලස්සන ඇදුමක් ඇද ලෑස්ති වී උන්නේ නිරංජන් එන තෙක් නොවිසිල්ලෙනි....ඉස්කොලේ උගන්නන්න යන්න පටන් ගත්තාට පසු,....අම්මා කිව් ලෙස මම ලස්සනට අදින්න පළදින්න ,...පොඩි මේකප් එකක දාන්නත් පුරුදු වී උන්නෙමි....තරුන කාලේ හිටියාට වඩා මම ,පුතා ලැබුනාට පසු හොදින් පාට වැටී පිරිපුන් වී ඇත. එක පාරක් දුටු කෙනෙක් නැවත මා දෙස හැරි බලන තරමට මම ලස්සනයි යැයි...මගේ ඉස්කොලේ යෙහෙලියන් කියති.

දහවල් වන විට නිරංජන් අපේ ගෙදර එනවා කිව් බැවින්....මම සෝමාට කියා අපේ ගෙදර ගේට්ටුව ඇර තැබුවෙමු... අපේ ගෙදර අක්කරයක් විතර ලොකු ඉඩමක පිහිටා තිබුන නිසා.....අහල පහල ගොඩක් ලගින්ම ගෙවල් නොතිබුනි.... ඒ නිසා අපේ ගෙදරට යන එන අය අසල්වැසියන්ට නොපෙනේ......කෙසේ වෙතත් අපේ ගමේ බොහෝ දෙනා, නිරංජන්ව අදුනන්නේ පොඩි කාලේ පටන්‍ය. ඔහු අපෙ ගෙදර යන එන එක ඒ නිසා ඔවුන්ට විශේශයක් නොවීය..... නමුත් මගේ විවාහයෙන් පසු ඔහු කාලයක් මේ පැත්තේ නොආ නිසා....එය දැන සිටි කෙනකුට...නිරංජන් දැන් කාර් රතයකින් මේ පැත්තේ එන එක සැකයක් වෙන්නටත් තිබුනි.


දහවල් එකොලොහ විතර වෙනකොට නිරංජන් ඔහුගේ කාර් රතයෙන් අපේ ගෙදර ආවේ....සැහැල්ලු ඇදුමකින් සැරසීය. මීට පෙර ඔහු හමුවුන දවස් තුනේම ඔහුව මම දුටුවේ ඔෆිස් ඇදුමෙන් සැරසී නිසා....ඔහු ඇදන් සිටි සැහැල්ලු ටී ශර්ටය ,හා කොට්ටන් කලිසමට ඔහුගේ දගකාර බව තවත් ඉස්මතු වී පෙනෙනි.......


ගෙට ගොඩවුන ඔහු....මා ලගට ආවේ රෝස පාට පොඩි ලස්සන බෑගයක්ද රැගෙනය...මා ලගට විත් හෙමිහිට මගේ එක කොපුලක් සෙමින් භාගෙට සිබ ඒ ගෙනා බෑගය මා අත තැබීය....


"හැපි බර්ත්ඩේ....සාරදා...."

‘‘ඔයාට එහෙනම් තවමත් මගේ උපන්දිනය මතකයි?’’


‘‘මං මැරිල ඉපදුනෙ නෑනේ...... මට හැමදෙයක්ම හොඳින් මතකයි සාරදා.....’’


ගොඩක් ස්තූතියි .....සතුටුයි...ඔයාට මගේ උපන්දිනය මතක තිබුන එකට...සෝමට මතකත් නෑ...අම්මලා නම් උදේ කෝල් කරලා විශ් කරා....


"ඔන්න...සෝමා ඔයා කෑමට එනව කියලා රසට උයලා....අපි කමුද..."


" කමු....මම උදේට කෑවෙත් නෑ....සෝමගෙ කෑම කන්න ආසාවෙන් ආවේ....."


"මම දන්නවනේ....මහත්තයා මගේ කෑම කන්න ආස බව...." සෝමාට...නිරංජන් පුතෙක් ගානය. ඇය ඔහුට ඉතා කැමති ඔහුගේ කතාබහට හා කරුනාවන්ත කමටය.


" සාරදා..... අද හවස අපි පුතයි සෝමයි එක්ක රෑ කෑමකට එලියට යමු මම ගානේ... " ඔහු කීය.


"අනේ අපරාදේ සල්ලි. සෝමා රසට උයයි, ඔයා රෑටත් කාලා යන්න මෙහෙන්....."


"නෑ ...නෑ ...ඔය්ගොල්ලෝ හතරට විතට ලෑස්ති වෙන්න ... අපි පුතාව මුහුද පාගන්න එක්ක යමු.... ගල්කිස්සේ මුහුදු වෙරලට, ඊට පස්සෙ අපි කොහෙන් හරි රෑට කාල එමු. "


"මතක ඇති කාලෙක මුහුදු වෙරළ පෑගුවෙ නෑ පුතා තාම මුහුදු වෙරළ දැකලත් නෑ...ඒක නම් හොද දෙයක්, සෝමාත් කැමති වෙයි මුහුදු වෙරළ පාගන්න . පව්..සෝමාත් ගෙදරට වෙලා පුතා බලාගෙන උය උය ඉන්නවා මිසක් මම කොහේවත් එයාව එක්ක යන්නෙත් නෑනේ....


එදින හවස මටත් වඩා ඕනෑ කමින් සෝමා මුහුද බලන්න යන්න ලෑස්ති උනේ ආසාවෙනි....


නිරංජන්ගෙ කාර් එකෙන් අපි ගල්කිස්සේ මුහුදු වෙරලට ගොස් ඇතිවෙන්න මුහුද වෙරළ පාගා මුහුදු හුලං වැදි වැදි නිදහසින් සැහැල්ලුවෙන් සිටියේ ගොඩක් සතුටින්...... .සෝමා ,පුතා සමග වැල්ලේ සෙල්ලම් කරන විට මාත් නිරංජනුත් ඒදෙස කතා නැතුව ඔහේ බලාන උන්නේ සතුටිනි.


"අපි දැන් යමුද රෑ වෙන්නත් ආවා. අපී කොහේ හරි චයිනීස් රෙස්ටුරන්ට් එකකින් කාලා ගෙදර යමු "


මගේ 27 වනඋපන් දිනය...... අවුරුදු ගානකට පසු මට මගේ උපන් දිනයක් සතුටින් ගත කරන්න ලැබුනි. නිරංජන් සමග මුලු දවසම ගත කරන්න ලැබීම මට ඊටත් වඩා සතුටක් විය. අපි ආගිය තොරතුරු කතා කරමින්....විහිලු කරමින්....පුතාගේ දගකාර වැඩ බලමින්....ඔහු සමග සෙල්ලම් කරමින්...හරියට පුංච් පවුලක් ලෙස ගත කල මුල්ම දිනය....මගේ සැමියා ලග හිටියා හා සමාන සතුටක් ලැබුවෙමි....


එම සෙනසුරාදාට පසු..... නිරංජන් ඉඩ ලැබෙන ලෙස අපේ ගෙදරට විත් මාත් සමග කතා බහ කරමින් පුතා සමග සෙල්ලම් කරමින් ඉඳ යන්නට පටන් ගත්තේය..... ඔහු ආ විට සෝමා අපට කතා කරන්නට දී මඟ හැර යයි. ඔහු පුතා සමඟ සෙල්ලම් කරමින් ඔහුට නොයෙක් කෑම ජාති, රස කැවිලි , සෙල්ලම් බඩු ගෙනැවිත් දෙමින් නිරංජන් ඔහුට ගොඩක් ලංවී ඇත....... කිසිදිනක පියෙකුගේ ආදරය කරුණාව විඳින්න ලැබී නොතිබුණු පුතු ....නිරංජන්ට හරි ඉක්මණට එකතු විය. නිතර ම ඔහු එනකම් බලා සිටින පුතු, නිරංජන්ගේ වාහනය ඇත එනවා දකින විට අත්පුඩි සලමින් හිනාවෙන්නේ ආසාවෙනි..... ඔහුගේ කාරයේ නැග ඔහුත් සමඟ ගෙ අවට රවුම් ගහන්න යන්නෙ හරිම ආසාවෙනි..... පුතා නිරංජන් සමඟ සෙල්ලම් කරන දකින හැම මොහොතකම මගේ නෙතට කඳුලක් උනයි...... තාත්තාගෙන් ආදරයක් කිසිදිනක ලබන්නට වාසනාව නොතිබුණු කිරි සප්පයා වෙන පිරිමියෙකුගෙ ඇගේ එල්ලෙමින් ඔහුට ආදරය කරයි......

ඔහුගේ සමාගම පි‍්‍රය කරයි. නිරංජන් මෙහි ආ කිසිදිනක විකුම් ගැන නොඇසුවේය.....මමද විකුම් ගැන විස්තර කියන්න නොගියෙමි........


නිරංජන් අපේ ගෙදර එන හැම දවසකම මා දිහා බලන විදිහ නම් මා විඳගන්නේ අපහසුවෙනි...... ඒ වෙලාවට මගේ හිත ගැහෙයි........එවෙලෙට සතුටු මිශ‍්‍ර අමුතු හැඟීමකින් හිත ටිකෙන් ටික පිරී යයි...... පුතා මෙන් ම මාත් නිරංජන් එනකම් මග බලා සිටින්නට පටන් ගත්තේ නිතැතින්මය. සෝමා මටත් නිරංජන්ටත් කාත බහ කිරීමට ඉඩ සලසා ඇගේ වැඩක් කිරීමට පටන් ගන්නෙ නිරංජන් එනවා දකින විට ය....... සැමියෙක් පියෙක් නැති මාත්, පුතාත් ගැන හොඳින් ම දන්නා සෝමා මා නිරංජන් සමඟ කතා බහ කරන විට අකමැත්තක් නොපෙන්වයි....... මට හිතෙන්නේ මම නිරංජන් එක්ක එක්වෙනවාට සෝමා කැමති බවයි.

පුංචි කාලයේ එකට සෙල්ලම් කරපු, පාඩම් කරපු, එකට පාසැල් ගිය නෑනා මස්සිනා වන අප දෙදෙනා අද ගොඩක් වෙනස් වී ඇත...... මම අද වෙන කෙනෙකුගේ බිරිඳකි. නිරංජන් ලඟදි ම වෙන කෙනෙකුගේ සැමියෙක් වෙන්න ඉන්න කෙනෙකිය...... මම ඔහු හමූ උන පළවෙනි දවසෙන් පසු ඔහුගේ විවාහය ගැන නොඇසුවෙමි. ඔහුද එදිනට පසු ඇය ගැන කිව්වේ ද නැත......

කිසිම දිනක මට කෙලින් ආදරේ යැයි නො පැවසූ ඔහු...... මා ගැන ඒ කාලයේදී බලාපොරොත්තුවෙන් හිටි බව මට හොඳින් ම වැටහී තිබුණි........ ඔහු විතරක් නෙමේ ඔහුගේ මව, පියා, සහෝදරයා පවා සිතුවේ අප දෙදෙනා කවදාහරි එකට එකතු වෙයි කියායි...... නමුත් අපේ අම්මාගේ උද්දච්ච ගතිගුණ නිසා මාව විකුම්ට කසාඳ බන්ඳා දුන්නේ මාගෙ තරුණ කාලයෙදිමය....... ඒ කාලයේ දී නිරංජන්ලාගේ තිබුණ දුප්පත්කම නිසා අම්මා මෙන්ම මමද නිරංජන්ව කසාඳ බඳින්න කැමති නොවිණි..... ... ඇයට අවශ්‍ය වුණේ මාව පෝසත් කෙනෙකුට බන්ඳා දීමටය..... ඇය එ දේ කළා ය. ඇය කිවු දේට.... මමද කැමති විය.. මම විවාහ වන කාලයේ නිරංජන්ට හරි හැටි රස්සාවක් නො තිබුණු නිසා ඔහු මට විවාහ යෝජනාවක් නො කළේ ය..... ඔහු ඔහුගේ අඩුපාඩුකම් සමඟ පැත්තකට වුණේ මට විකුම්ව කසාඳ බඳින්න ඉඩ හැරය...... මම විකුම්ව කසාඳ බඳින්න යන වග පැවසූ පසු, ඔහු කිසි දෙයක් නොපවසා එහෙන් පිටින් ම මාව අමතක කර දැම්මේ ය..... ඔහුගේ පවුලේ අයත් මගේ විවාහ උත්සවයටවත් නො පැමිණයේ ය. ඔවුන් සැවොම මගේ අම්මාගේ උවමනාවට මං විකුම් කසාඳ බඳින්න යන බව අවබෝධ කරගෙන මා සමඟ ද අමනාප වි සිටි බව මම දන්නෙමි.


- හෙට හමුවෙමු -

*ප්‍රිසිලා ගොඩහේවා *

12 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page