top of page
  • Writer's picturePrisila Godahewa

💞අමුතු දිගේ 💞

(3 වන කොටස)



🌹🌹 කාලය ගෙවි ගොස් අපි ලොකු දරුවන් උනේ හරි ඉක්මනින්ය. ලොකු අයියලා දෙදෙනා දැන් ආ.පො.ස උසස් පෙල පංතිවලය. රංජන් අයියා හා මගේ අයියා එකම වයසේ නිසා අ.පො.ස. උසස් පෙළ විභාගයට ඔවුන් දෙදෙනා එකට එකතු වී පාඩම් වැඩ කළේ අපේ ගෙදරය. ඒ දිනවලට නිරංජන් අයියාත් ඔහු සමඟ අපේ ගෙදර එන්නේය. එවිට අපි දෙදෙනාද එකට එකතු වි පාඩම් කරන්න උත්සහ ගන්නෙමු. නිරංජන් අයියා ආ.පො.ස සාමාන්‍ය පෙළ පංතියේ වු අතර මම නමය වසරේ ඉගෙනුම ලබමින් උන්නෙමි.


‘‘මේ ළමයින්ට වෙන යාළුවෝ ඇත්තෙම නැද්ද මන්දා ? …...කොයිවෙලෙත් නිරංජනුයි රංජනුයි එක්කමයි කාලය ගත කරන්නෙ”

අපි එකට ඉන්නවා දකින හැම වෙලේම අම්මා අපට දොස් කියයි. ඇයට ඔවුන් දෙදෙනා රුස්සන්නේම නැතිය. ඒ ඔවුන් දුප්පත් නිසා බව අයියත් මාත් හොදාකාරවම දන්නෙමු. නමුත් කවදාවත් අයියත් මමත් ඔවුන්ට වෙනස් කමක් දැනෙන්න නොදුන්නෙමු. අපි දෙදෙනා ඔවුන් දෙදෙනාට දැඩි සේ ආදරය කෙලෙමු .


‘‘නෑනල මස්සිනාලනේ.‘‘ තාත්තා අප හතර දෙනා එකට එකතු වී එකට කැරම් ගහන විට, බැඩ්මින්ටන් ගහන විට, පාඩම් කරනවා දකින විට සතුටු වන්නේය. ඒ ඔහුගෙ එකම නැගනියගෙ දරුවන් සමග අපි එකමුතු කමෙන් සිටිනා නිසාය.


අපේ අයියත් රංජන් අයියත් උසස් පෙල විභාගය ට මහන්සි වී පාඩම් කරයි. ඔවුන් දෙදෙනා රෑ වෙනකම් පාඩම් කල දිනට රංජන් අයියා ඔවුන්ගේ ගෙදර නොගොසින් අපේ ගෙදර රෑට නවතියි. ඒ අයියාගේ කාමරයේය. ඔහු ආපසු ගෙදර යන්නේ ඊට පසුදාටය. ඔහු එදාට, රෑට අයියාගේ ඇදුම් ඇදගෙන නිදියන්න යයි.

කාලය ගෙවිගොස් පුංචි අප වැඩි වියටපත් වූයේ හරි ඉක්මනින්ය.

අපේ අයියා සහ රංජන් අයියා කෙතරම් මහන්සි වී පාඩම් කර උසස් පෙල කරත්,දෙදෙනාම එතරම් හොදින් විභාගය පාස් වී නොතිබුනි. එම නිසා ඔවුන් දෙදෙනා උසස් පෙළ විභාගයෙන් පසු පරිගණක පාඨමාලාවක් සදහා අපේ අයියත් වෙනත් රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය කරන පාඨමාලාවක් හැදෑරීම සඳහා රංජන් අයියත් උදේට ජර්මන් ටෙක් ආයතනයට යන්නට පටන් ගත්තේය .

දැන් දහම් පාසැල් යන්නේ මාත් නිරංජන් අයියාත් පමනය. අපි ඉරිදට දහම් පාසැලේ දී නිතර කතා බහ කරන්නෙමු

‘‘නිරංජන් අයියා එන අවුරුද්දෙ උසස් පෙළ විභාගෙ කරන නිසා හොඳට මහන්සි වෙලා පාඩම් කරන්න. නැන්දයි මාමයි ඔය දෙන්නා වෙනුවෙන් වෙන මහන්සියට, ඔය ගොල්ලන්ට කරන්න තියෙන්නේ හොදට මහන්සි වෙලා ඉගෙන ගන්නයි….” මම හිතවත් කමෙන් ඔහුට කියන්නෙමි.

දහම් පාසැල් ගිය විට අපි විවේක ලැබුනු විට නොයෙක් දේ ගැන නිතර කතා බහ කරන්නෙ සතුටිනි.


‘‘සාරදා දැන් ඉස්සර වගේ නෙමේ, ගොඩක් ලොකු වෙලා ලස්සන වෙලා....” නිරංජන් අයියා තියුනු දෑස් වලින් මාදෙස බලමින් කියන්නේ මා අපහසුවට පත් කරමින්‍ ය.

‘‘ඇයි ඉස්සර මම කැතද?

‘‘නෑ… ඉස්සරත් ලස්සනයි ... දැන් තියෙන්නේ ඊට වඩා ලස්සනක්…. මට තාම මතකයි පොඩි කාලේ මගේ කරේ නැගගෙන සෙල්ලම් කරපු හැටි.‘‘

‘‘ඇයි දැනුත් නගින්න පුළුවන්. බෑ කියලද හිතන්නේ...‘‘

‘‘හා... හා.. දැන් නම් මිනිස්සු හූ කියයි. ඔයා මගේ කරේ නැග්ගොත්.‘‘

‘‘ඒක තමයි අම්මා හැමතිස්සෙම කියනවා. ඔය ගොල්ලොත් එක්ක වැඩිය සෙල්ලමට යන්න එපා. දැන් මං ලොකු ළමයෙක් කියලා.‘‘

‘‘ ඒක ඉතිං, නැන්දා හැමදාම කියන දේ නේ. කොහොමත් සාරදා නංගිලාගෙ අම්මා, කැමති නෑ අපි එක්ක ඔයගොල්ලෝ කතා කරනවට, ඔයගොල්ලන්ගෙ ගෙදර අපි එනවටත් කැමතිත් නෑ කියලා අයියයි මමයි දන්නවා....‘‘

‘‘ අම්මා එහෙම උනාට අපේ තාත්තා එහෙම නෑ...එයා හරි ආසයි අපි හතරදෙනා එකට ඉන්නවා දකින්න…..‘‘

‘‘ අනේ ඔව් මාමා ඉතිං කවදත් අපට ආදරෙයිනේ….. අපේ අම්මා හැමදාම කියනවා මාමා නැත්නම අපි තාම තාත්තගෙ ගමේ දුක් විදිනවා කියලා"

"‘ මට ආරංච් උනා රංජන් අයියා රට රස්සාවකට යන්න හදනවා කියලා ….ඒක ඇත්තද ?’

‘ඔව්,....අයියා කියන්නවා අම්මලා තාත්තලාට තවත් කරදර කරන්න බැරිලු ... වැඩිදුර ඉගෙන ගන්න බෑ කියන්නේ,..... අම්මටයි තාත්තටයි උදව් කරන්න, ඒගොල්ලො සතුටින් තියන්න රස්සාවක් කරල හම්බ කරන්න ඕනේලු”.....

‘‘ඒ උනාට නිරංජන් අයියා, රංජන් අයියා වගේ වෙන්න එපා ....අයියා හොදට විභාගෙ පාස් වෙලා, විශ්වවිද්‍යාලයට ගිහින් උපාධිය ගන්න මහන්සි වෙන්න……....කවදහරි ඔයා හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා මාමටයි නැන්දටයි හොදට සලකන්න…….හැබැයි දැන් මුලින් උසස් පෙල විභාගය හොදින් කරන්න... ...

"දැන් උසස් පෙළ විභාගයට දින ලඟයි නේද…. අයියා දැන් මහන්සි වෙලා පාඩම් කරනවද ?

‘‘ඔව්... මහන්සි නම් වෙනවා බලමුකෝ.‘‘......

නිරංජන් අයියා උසස් පෙළ විභාගය කරන්න පටන් ගන්නා කාලය වනවිට, අප හතරදෙනා නිතර හමුවන එක එහෙන්පිටින්ම නතර වී තිබුණි. අපේ අයියාත් රංජන් අයියාත් ජර්මන් ටෙක් එකේ පාඨමාලාවක් හදාරන්න ගොස් සිටි අතර මම එන අවුරුද්දෙ ඇති උසස් පෙළ විභාගය සඳහා ලෑස්ති වෙමින් උන්නෙමි.

අපේ අයියාට හා රංජන් අයියාට විශ්වවිද්‍යාලයේ යෑමට තරම් හොඳ ලකුණු,උසස් පෙළ විභාගයෙන් නොලැබු නිසා ඔවුන්ගේ අමතර පාඨමාලා හැදෑරීමට පටන් ගත් නිසා කුසුම් නැන්දා හා මාමා ඒ ගැන දුක් විණි.

අපේ අම්මා තාත්තා අපේ අයියාගේ පාඨමාලා ඉවර උනාට පසු තාත්තාගෙ ව්‍යාපාර කටයුතුවලට, අයියාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දුන්නේ ඉන් පසුය.

‘‘රංජන්ට ජර්මන් ටෙක් එකෙන් රට යන්න අවස්ථාව ලැබිලාලු…….කොල්ලා ඒකටනේ දිගටම මහන්සි වුනෙ. .. "

ජර්මන් ටෙක්ආයතනයයේ රංජන් අයියා කරපු පාටමාලා විභාගය ඔහු හොදින් සමත් වී තිබීම නිසා ඔහුට ඒ අවස්ථාව ලැබී ඇත .

‘‘ඇත්තට... කොල්ලට ලොකුවට උවමනාව තිබුණනේ අම්මට තාත්තට උදව් කරන්න රට රස්සාවක් කරල හම්බ කරන්න ඕනේ කියලා…..

‘‘ ලොකු දෙයක් ඒක නම්... දැන් ඉතිං කුසුම්ලට ඔලුව උස්සන්න පුලුවන් වෙයි ඉස්සරහ කාලේ….රංජන් රස්සාවක් කලොත්..” තාත්තා ඒ ගැන ගොඩක් සතුටු වෙයි.

වැඩි දවසක් නොගිහින්ම ඩුබායි වල රැකියාවකට යන්න රංජන් අයියාට හැකි විය. අපේ තාත්තාට ඒ ගැන තිබුනේ සතුටකි. ඒ කාලයක් තිස්සේ ඔහු ඔවුන් වෙනුවෙන් කල මහන්සිය , වියදම් අපතේ නොගිය නිසාය. පිටරට රැකියාවකට යන්න තරමට ඔහුගේ, ඇති වුනු දියුණුව දැකලා තාත්තා සතුටු වෙයි.

ආ.පො.ස. උසස් පෙල කර ගෙදර හිටි නිරංජන් අයියාගේ උසස් පෙල විභාගයේ ප්‍රතිඵල පිටවී තුබුනි. ඔහු විභාගය හොදින් කලා කිව්වත් ඔහුත් හිතපු තරම් හොදින් විභාගය සමත්වී නොතිබුනි. ඒ කිව්වේ විශ්ව විද්‍ය්ලයට යන්න තරම් ප්‍රතිඵල නොතිබුනි.

"නිරංජනුත් උසස් පෙල හොදින් සමත් වෙලා නෑ…..අපරාදේ කුසුම්ලා කොච්චර මහන්සි උනාද...මේ ළමයි දෙන්නට උගන්නන්න. තව පාරක් උසස් පෙල කරලා විශ්ව විද්‍ය්ලයට යන්න මහන්සි ගන්න කියලා නිරංජන්ට කියන්න ඕනේ….."

තාත්තා නිරංජන් අයියා ගැන දුක් වෙන්නේ ඔහුගේ දරුවෙක් ගානටය.

‘‘ ආයෙත් විභාගෙ කරන්න බෑ කියලා දැන් පරිගණක පාඨමාලාවක් හදාරන ඕනේ කියනවලු රංජන් අපේ පුතා වගේම…."

"එහෙනම් එයත් ඒ පැත්තෙන් ම රැකියාවක් හොයා ගනියි වගේ…..‘‘

අපෙ අම්මා සමච්චලයට මෙන් කියයි. අපේ අම්මා නම් ඔවුන් විභාග හොදින් සමත් නොවුන එකට කැමැත්තෙන් සිටින ගානය.

‘‘කුසුම් නංගිටයි මල්ලිටයි දැන් දරුවන්ගෙ ඉස්සරහ කාලේ ගැන දුක් වෙන්න දෙයක් නෑ. විශ්ව විද්‍ය්ලයට නොගියට උන් රසාවල් හොයාගෙන හොද තැනකට එයි. උන් උත්සාහ වන්තයි. ඒ ගොල්ලන්ගෙ ඉස්සරහ කාලේ හොඳ වෙයි….. කොල්ලෝ දෙන්නාම රස්සාවට යන්න පටන් ගත්තහම…..‘‘ තාත්තා අම්මට කියන්නේ තරහින් මෙන්‍ ය.

උසස් පෙල විභාගයට හා ඉරිදා දහම් පාසැලේ අවසාන විභාගයට ලිව්වාට පසු මටත්, නිරංජන් අයියාටත් දහම් පාසැලේ ළමයින්ට ගුරුවරු ලෙස උගන්නන්න යන්න අවස්ථාව ලැබුණි. ඉරිදාට අප දෙදෙනා දහම් පාසැල් යන්නේ එකටමය. නැවත ආපසු එන්නෙත් එකටමය. දහම් පාසැලේ දී හා අතරමගදී අප හමුවුන වේලාවට අපි ආසාවෙන් කතා කරන්නෙමු.

‘‘සාරදා උසස් පෙළ විභාගය ලියාලා දැන් ගෙදර විවේකයෙන් ඉන්න නිසා විවේකය තියෙන වෙලාවක අපේ ගෙවල් පැත්තෙත් එන්න.‘‘

‘‘ ඔව් එන්න ඕනෑ ...මට නැන්දවත් දකින්න ආසයි. හුග දවසකින් මාමවයි නැන්දවයි දකින්නත් බැරිවුනානේ...... විභාගයට පහුගිය කාලේ පාඩම් කරපු නිසා කොහේවත් ගියේ නෑනේ ….දවසක එන්නම්කෝ නැන්දව බලලා යන්න....‘‘

"ඇයි නැන්දව විතරද ? අපිවත් බලන්න එක්ක එන්න...නිරංජන් අයියා ඇස් පොඩිකර සිනාසෙමින් කියයි.

‘‘ අපේ අම්මා හරි ආදරෙයි ඔයාට. හැමතිස්සෙ ම මගෙන් ඔයා ගැන අහනවා. ඔයාව හම්බුනාද….කතා කරාද කියලා….එහෙම ,එයාගෙ එකම ලේලිනේ.‘‘

‘‘පව් නැන්දා. මට හරි ආදරෙයි තමයි …. ඔය දෙන්නටත් වඩා නැන්දා මට තමයි ආදරෙ.. දන්නව ද?‘‘ මම නිරංජන් අයියාට කියන්නෙ විහිලුවට මෙන්‍ ය.

‘‘ ඔව්..ඔව් අපේ අම්මා ඔයාට ආදරෙයි තමා අපට වඩා.ඒක නම් ඇත්ත…... එහෙනම් ඇවිත් අපේ ගෙදර නවතින්න. අම්මා විතරක් නෙමේ මමත් ඔයාට ආදරෙයිනේ....."නිරංජන් අයියා කියන්නෙත් විහිලුවක් ගානටය

නිරංජන් අයියා ඉස්සර වගේ නෙමේ. නිතර ම මා දෙස බලන්නේ හරි අමුතු ලෙස ය. ඒ වෙලාවට ඇස් දෙකත් හරිම අමුතුය. ඒ ඇස් දෙක මගේ ඇස් දිහා බලාන කතා කරන විට මට දැනෙන්නෙ අපහසුවකි. ගොඩක් වේලාවට මම දැන් නිරංජන් අයියාගෙ මූණ දිහා කෙළින් බලාන කතා කිරීමට අකමැතිය.

නිරංජන් අයියා රංජන් අයියාගෙ මල්ලී වුණත්, ඔහු රංජන් අයියාට වඩා උස මහතය. බලාන ඉන්දෙද්දි ඉතා කඩවසම් තරුණයෙකු උණ නිරංජන් අයියා සමඟ දහම් පාසැලේ ගෑණු ළමයින්ද බලෙන්ම කතා කිරීමට වෙර දරයි. ඔහුට විහිලු තහලු කරයි ඔවුන් නිරංජන් අයියාට නොයෙකුත් පළතුරු, කෑම ගෙනවිත් දී ඔහු සමඟ විහිලු තහලු කරමින් සුරතල් වෙයි . නමුත් නිරංජන් අයියා මා සමඟ මිස අනිත් ගැහැණු ළමයින් එක්ක වැඩි කතා බහකට යන්නට කැමති නැති බව පෙනේ.

‘‘නිරංජන් අයියාට දහම් පාසැලේ ගෑණු ළමයින්ගෙන් හරි ඉල්ලූමනේ. මම දැක්කා කෙල්ලෝ රෑන වටකරගෙන කැකිරි පලනවා…..‘‘

‘‘එහෙම තමයි හැන්ඞ්සම් කොල්ලෝ උනාම. කෙල්ලන්ගෙන් බේරෙන්න බෑ.. ‘‘ ඔහු හුරතල් ලෙස සිනාසෙයි.

‘‘ඔව්... ඔව්... කෙල්ලෝ හැමෝම කියනවා..ඔයා හරි හැන්ඞ්සම් කියල. ගුරුවරුනුත් හැමෝම කියනවානේ.... අනේ මන්දා මෙහෙම ගියොත් අපිවත් අමතක වෙයි ද දන්නෙ නෑ…..‘‘

‘‘කාව අමතක වුණත් මගෙ ආදර නෑනව අමතක වෙන්නෑනේ…..හරහට ඉන්නේ ඉතින් නෑනගේ අම්මා තමයි .... නෑනා එක්ක කතා කරනවට තියා නෑනා දිහා බලනවටත් අම්මා කැමති නෑනෙ...‘‘

දහම් පාසැල් ඉවර වී දහවලට පන්සලේ සිට මාත් නිරංජන් අයියත් බස් නැවතුම දක්වා පයින් එන්නෙමු. ඔහු මාත් එක්ක ආ ගිය තොරතුරු අනාගතේ කරන්න ඉන්න දෑ හැමදෙයක් ම කතා කරන්නේ සතුටිනි. ඔහු ඉතා කඩවසම් තරුණයෙකි. මට ඔහු දකින්න ලැබෙන හැම මොහොතකම හිතට, අමුතුම කියාගත නොහැකි හැඟීමක් ඇති වේ. පොඩි කාලේ එකට ගුලි වී සෙල්ලම් කරපු අපි දැන් ගොඩක් ඈත් වී ඇතැයි මට සිතේ. අපි දැන් යොවුන් වියට පැමින ඇති බැවින් ළමා කාලයේ මෙන් එකිනෙකා ගැන හිතන්න බැරිව ඇත. අප දෙදෙනා දැන් දන්න අඳුනන මිනිස්සුන්ට පේන්න කතා කරන්නෙත් බයෙන් සැකෙන් යැයි මට සිතේ.

‘‘මිනිස්සු අප දිහා බලන්නෙ හරි අමුතු විදිහට.‘‘

‘‘දහම් පාසැලේ ගුරුවරු දෙදෙනෙක්නේ එකට කතා කර කර ඉන්න නිසා වෙන්න ඇති. මේ මිනිස්සු දන්නෙ නෑනෙ අපි නෑනලා මස්සිනාලා කියලා…..‘‘

කාලය ගෙවී ගොස් මගේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් විය. මම සිතුවාටත් වඩා හොදින්, මා ඉතා ඉහලින් විභාගය සමත් වී තිබුණි. විභාගෙ ප්‍රතිඵල ආ දිනේ පාසැලේ ගුරුවරු හා ළමයින් සැවොම මට සුභ පැතීය. මගේ මේ විභාග ප්‍රතිඵල විශ්ව විද්‍ය්ලයට යෑමට තරම් ප්‍රමානවත් බව පාසැලේ ගුරුවරුන් කීවේ පාසැලෙන්ම හොදම ලකුණු ගත් මා හා අනෙක් ශිශ්‍යාවද පාසැලේ අනෙක් දරුවන්ට හදුන්වා දෙමින් වර්නනා කරමින්‍ ය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

12 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comments


bottom of page