top of page
  • Writer's picturePrisila Godahewa

අමුතු දීගේ 💞#2 අමුතු දීගේ#2 💞


(12 වෙනි කොටස )

" සාරදා …..මෙහෙ ආවට පස්සෙ දුවට එයාගේ අසනීපෙ... මුකුත් අමුත්තක් වෙනසක් දැනුනේ නෑ නේද.? ලංකාවේ ඉන්න කොට නම් නිතර දුවට හුස්මගන්න බැරුව අපහසු වෙන ඒවා තිබුනනේ …. "


"ඔව්...විකුම් මම දෙවියන්ට කිය කිය ඉන්නේ දරුවට ඉක්මනටම සනීප වෙන්න කියලා …"


"ඔයා විතරක් නෙමේ...මමත් එහෙමයි….එදා අපි කැනඩාවට එන දවසේ ෆ්ලයිට් එකේ මම කියන්න පුලුවන් හැම දෙවි කෙනෙක්ටම කිය කිය ආවේ දරුවට ලොකු අමාරුවක් නම් වෙන්න එපා කියලා …"


"ඇත්තමයි...... මමත් එහෙම තමයි දෙවියන් බුදුන්ට කිය කිය ආවේ…...කොහොම උනත් මේ රටවල හොද දොස්තරලා ඉන්න එකේ....... අපි දුවව එක්ක ගිහින් හොද " හාර්ට් ස්පෙශලිස්ට්" කෙනෙක්ට පෙන්වමු........"


."ඔව්, තව ටික දවසකින් අපි එහෙම කරමු "


"කොහොම හරි අපට නිදහසේ ඉන්න ගෙයක් ඉක්මනටම ලෑස්ති කරගන්න ලැබුන එක නම් අපි මේ ආ ගමනේ තවත් ජයග්‍රහණයක් නේද සාරදා .......දැන් ඉතිං ඉක්මනට මට රස්සාවක් හොයාගන්න ඕනේ...ඒක තමයි ලොකුම වැඩේ......"


"ඔව්...වියදමට ගෙනාපු සල්ලි ඉවර වෙන්න ඉස්සර රස්සාවක් හොයා ගන්න බලන්න ..."


" ඔයා....අම්මලා, අයියලා එක්ක කතා කල වෙලේ ඒගොල්ලො මොනවද ලංකාවේ අලුත් තොරතුරු එහෙම කිව්වේ....."


"අයියා, අපේ නුවර ගෙදර කුලියට දෙන්න පවුලක් හොයාගෙන.....මේ මාසෙ අන්තිමට ඒගොල්ලෝ අපේ ගෙදර පදිංචියට එනවලු.....අයියා ගෙට ගත්ත ඇඩ්වාන්ස් එක මගේ පොතට දාන්නම් කිව්වා....ඔයාට, ජොබ් එකක් හම්බවෙනකම් ඒ සල්ලි ගන්න කිව්වා..."


"ඔව්....අයියා මාත් එක්ක කතා කල වෙලෙත් ඒක කිව්වා......කොම්පියුටර් ශොප් එක නම් මම නැතුව දිගටම කරගෙන යන්න අමාරුයි කියලා......ශොප් එකේ ඒ තියෙන බඩු විකුනලා දැම්මට පස්සෙ ශොප් එක අයිතිකාරයාට දීලා දාන්නද කියලා ඇහුව්වා ....මම කිව්වා හා කියලා ...... එහෙම කරලා , ඉතිරි කොම්පියුටර් ටික, ටිකක් ලාභෙට දීලා දාලා ඒ සල්ලිත් මට මෙහේ වියදමට එවන්න කියලා ......


"ඒක හොදයි ....නැත්නම් මේ ඉන්න ගෙදර කුලිය ගෙවන්නත් අපට සල්ලි නැතුව යනවනේ....


"කොහොම හරි අපි අමාරුවෙන් හරි ගොඩ එමු සාරදා .....මේ රටවලට ආව හැමෝම වගේ එහෙම තමයි ..අමාරුවෙන් ගොඩ ආපු අය ....අද හැමෝම ලස්සනට හිටියට...


කැනඩාවට ඇවිත් හතරවන දිනේ තනි කාමරයේ පුංච් යුනිට් එකක පදිංචියට එන්න ලැබීම අපට ලොකු සතුටක් විය....... නොකා නොබී හරි නිදහසේ වැටිලා ඉන්න තැනක් තියෙන එක කොයිතරම් නම් හිතට සැනසීමක් ඇති දෙයක්ද කියා මට සිතේ…. වැඩියම මේ දරු දෙන්නත් එක්ක...


"මට ජොබ් එකක් හොයාගන්න එක තමයි ඊට පස්සෙ කර ගන්න ඕනේ..අතේ තියෙන සල්ලි ඉවර වෙන්න ඉස්සෙල්ලා …"


"අපේ අක්කලා අදුනන තව යාලුවෙක් ඉන්නවා ගාමිනි කියලා ... ටිකක් ඈත.....එයා කිව්වා...ඒගොල්ලො අදුනන යාලුවො වගයක් මේ සෙනසුරාදා ඒගොල්ලන්ගෙ ගෙදර එනවා කියලා අපටත් එහේ එන්න කියලා ...... , ඒගොල්ලන්ව අදුනලා දෙන්නම් කිව්වා .... . එතකොට ඒ අය දන්න තැනක හරි මට ජොබ් එකක් සෙට් කර ගන්න පුලුවන් කිව්වා …."


"ඒක ලොකු දෙයක්…අපි සෙනසුරාදා එහෙ යමු... තව අලුත් යාලුවො අදුනගන්නත් පුලුවන්නේ....."


අලුත් ගෙදර අපි හතර දෙනා එකට ඉන්න කොට මට මතක් උනේ…..අපේ අලුත් නුවර ගෙදර ,අපි පදිංචි උන අලුත මට දුව හම්බවෙන්න හිටි නිසා, විකුම් මට සලකපු ආකාරයයි.


"ඔයා බබා හම්බවෙන්න ඉන්න නිසා වැඩිය මහන්සි වෙන්න එපා සාරදා …..සෝමාට කියලා කුස්සියේ වැඩකරගන්න…..කෝ දෙන්න මම පුතා නාවලා එයාට අන්දන්නම්….


"ඕවා ලොකු මහන්සි වැඩ නෙමේ විකුම් ...මම කරන්නම්…"


විකුම් ,පුතාගෙ වැඩ කරන්න ඉගෙන ගත්තේ.. මට පහසුවක් වෙන්නයි. වැඩි දවසක් නොගිහින්ම විකුම් පුතා නාවන කවන පොවන එයාව නිදි කරවන වැඩ ඉගෙන ගැනීම හා ඒවා ආසාවෙන් කිරිම මට හරි පහසුවක් වීම වගේම සතුටක් විය.


ගමේ වෙද මහත්තයාගෙන් ගත් බෙහෙත් කසාය බොනවිට , ඇස්ගිලි...කෙට්ටු වි සිටි විකුම් බලාගෙන ඉදිද්දි ඇග අතපය මහත්වී පාට වැටි ආවේය….. ඔහුට ගමේ ගුනවත් එළවලු පළතුරු ගෙනවිත්... සෝමා හදා කන්නටද දුන්නාය..... මාස දෙකක් යනවිට, විකුම් සාමාන්‍ය තත්ත්වයට, පෙනුම විත් කඩවසම් බවට පත් විය. එය මට ලොකු සතුටක් විය. ඔහුගේ පරන කෙලිලොල් ගති පෙනෙන්න පටන් ගැනීම හිතට සහනයක් විය.


මට බබා හම්බවෙන්න ඉන්න නිසා,... මම අපහසුවෙන් ඉන්නවා ඇතැයි සිතා .....නිතර මං ගැන විමසිලිමත්ව සොයා බලා මගේ වැඩකටයුතු කරදීමට විකුම් උත්සාහ ගත්තාය.......,විකුම් නිදාගන්නට ගියත්.... මගෙන් ඈත් වී ඉන්නට උත්සහ කලත්.. …. රෑට මගේ ලගට විත්.... ඔහු මගේ ඇග අතපය අතගගා හොර ගල් අහුලන්නේ මාසමග එකට ඉන්න අවශ්‍ය විට බව මට තේරි ඇත...... ඔහු මට අපහසුවක් ඇතැයි සිතා... එයින් ඈත් වී ඉන්න හැදුවත්, මට ඔහු ගැන දුක සිතෙයි......මමම ඔහුව එයට පොළබවා ගන්නේ මගේ අවශ්‍ය තාවයකට නොවුනත්......ඒ ඔහු ගැනම සිතාය….තවමත් තරුණ කෙලිලොල් ගති ඇති ඔහු මා ලගම රදවා තබා ගැනිමටය.... .


මේ වෙනකොට මට හිතෙන හැටියට....., ගිය ආත්මේ නොව..., මම විකුම්ට මේ ආත්මේ කරපු හොර බොරුවම....…..පවක් ලෙස මට පටිසන් දී ඇති ආකාරයක්...... මටම පෙන්නුම් කරන්නේ මේ අවස්ථා වලටය.…..නිරංජන් මතක් වෙන නිසා හෝ වෙන මානසික ප්‍රශ්නයක් නිසා වන්නට ඇති...., බැදපු කාලයේ මෙන්…..... මට විකුම් එක්ක එකට සිටිනා මොහොතට කිසිම ආශාවක් ඇති නොවේ…....සමහර විට ඒ මම ගැබිනියක් නිසාද කියාත් මට සිතෙයි…..... ඒසේ උනත් කවදාවත් මම විකුම්ට අසාදාරනයක් නොවෙන්න ඉඩ නොදී ඔහුට කැමති දෙයක් කර ගන්නට ඉඩදී බලා හිදින්නෙමි ....... ඔහුටද ඒ බව දැනී ඇත….. සමහර විට මම ගැබිනියක් නිසා එසේ වනවා යැයි ඔහු සිතනවා වන්නටද ඇත.......


" ඔයා බබා හම්බවෙන්න ඉන්න නිසා අමාරුවෙන්ද සාරදා ඉන්නේ..?….ඩොක්ටර් කිව්වානේද….ඔයා බබා හම්බවෙන්න හිටියට කමක් නෑ හස්බන්ඩ් එක්ක එකට ඉන්න කියලා ....... ඔයාට අපහසු නම් මම නිකම් ඉන්නම්….. .."


"නෑ...නෑ...ඒකට කමක් නෑ...මිඩ් වයිෆ් කිව්වා කමක් නෑ කියලා..... . මට ලොකු අමාරුවක් නැ….


එහෙනම් කමක් නෑ....මම බයේ හිටියේ....


මට දුව හම්බවෙන්න ආදා පටන් විකුම් පුදුම විදිහට මං ගැන සොයා බලා මගේ වැඩකටයුතු කර දෙයි......... එවන් සැමියෙක් ලද මා කෙතරම් වාසනාවන්තද කියා නිතර සිතෙයි..…..ඔහුට මා කර තිබෙන වැරැද්ද මතක් වෙන වාරයක් පාසා මගේ හිත බයෙන් ගැහී….දෑසට කදුලු එයි….


මගේ හිත, චූටි දුව ඉපදුණ දවසට ගියේය...... දුව හම්බවෙන්න දින හරිලෙසම සම්පුර්ණ වී තිබෙන බව දැනන් සිටියේ මාත් සෝමාත් පමනි...... මම දරු ප්‍රසූතියට යන්න හැම දෙයක්ම ලෑස්ති කරගෙන සිටියේ සෝමාගෙ අනුදැනුම මතය...... විකුම් සිතා සිටියේ දරුවා ලැබෙන්න තව මාසයක් ඇති බවයි…...මාස පතා දරුවා ලැබෙන්න ඉන්න කාලයේ මම දොස්තර හමුවන්න ගියේ සෝමා සමගය....... එය මගේ උවමනාවටම... විකුම්ව බලෙන්ම ගෙදර නවත්වා සෝමා සමග ගියේ මගෙ හොර විකුම් දැනගනීවියැයි සැකයෙනි...


"සාරදා...පුතා හම්බවෙන්න ඉන්න කොටත් මට, ඔයත් එක්ක ඩොක්ටර් ගාවට යන්න එන්න බැරිවුන එකේ... මම දැන් එන්නම් ඔයත් එක්ක ඩොක්ටර් ගාවට යන්න...... .


"නෑ විකුම් ….ඔයාට ශොප් එකේ වැඩ තියෙන නිසා, ඔයා ඉන්න .....මම සෝමා එක්ක යන්නම්.... මට පුරුදුයි මේවා…..."


එසේ කියා හැම මාසයකම, ඔහු නවත්වා මම සෝමා සමග දොස්තර හමුවන්න ගියෙමි.... දෙතුන් පාරක් විකුම් බලෙන්වගේ දොස්තර හමුවන්න කියා ආවේය...... එය ඔහුගේ යුතුකමක් කියා සිතනා නිසාය.


"නෝනා..දැන් දින සම්පුර්ණ නිසා දොස්තර මහත්තයා එන සිකුරාදා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න කියපු එකේ...නෝනා බ්‍රහස්පතින්දා රෑට බොරුවට හරි අමාරුවක් ඇරගෙන සිකුරාදා උදේම හොස්පිටල් ඇඩිමිට් වෙන්න යන්න…..එතකොට විකුම් මහත්තයායි අම්මලා අයියලා සැක කරන එකක් නෑ…..


සෝමා කිව් ලෙස මම බ්‍රහස්පතින්දා රෑ එලිවෙන්න.... බඩ කොන්ද රිදෙනවා කියා, බාගෙට අඩමින් කියන විට අම්මා,..... විකුම්ට මාව හොස්පිටල් ගෙනියන්න කීවාය.


"සාරදා..ඔයා ඉක්මනට ලෑස්ති වෙන්න අපි හොස්පිටල් යමු….ඇයි දන්නෙ නෑනේ...තව බබා හම්බවෙන්න මාසයක් තියෙද්දී ම ඔයාට අමාරු වෙන්නේ…".විකුම් බයෙන් කීය.


"නෑ....විකුම් අපි උදේට හොස්පිටල් යමු....ලොකු අමාරුවක් නෑ....


"ඔයාට අමාරුනම් මට කියන්න .....ප්‍රශ්නයක් නෑ රෑ යන්න පුලුවන්නේ...."


පසුදින උදේ මම බබා හම්බවෙන්න, ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති උනේ එලෙසය.


"සෝමා අපි පුතා අය්යගෙ ගෙදර නවත්තලා හොස්පිටල් යමු නේද…. සෝමා මගේ ලගම ඉන්න....අම්මට සනීප මදි නිසා"......


අම්මට වඩා සෝමා මගෙ ලග සිටිම මට සතුටට කාරනයක් විය. මම විකුම් හා සෝමා සමග අලුත් බබාට ලෑස්ති කරගත් ඇදුම්ද රැගෙන ඉස්පිරිතාලෙට යන්න ලෑස්ති විය.


"ඇයි සාරදා ….අලුත් බබාගෙ ඇදුම් ගෙනියන්න ගත්තේ….තව මාසයක් තියෙනවනේ බබා හම්බවෙන්න ….."


"දන්නෙ නෑනේ විකුම් ...මට ඊයේ රෑ ඉදන් සැරෙන් සැරේට අමාරු වෙන්නේ….කෝකටත් හොදයි බබාට අවශ්‍ය ඇදුම් ඇරගෙන ගිහාම….."


දාරුවෙක් සිටින පියෙක් උනාට,..... විකුම්ට දරුවන් හම්බවෙන දේවල් සම්බන්ධයෙන් කිසි දැනුමක් නොතිබීම මට වාසියක් විය....... ඔහුගේ මව සොහොයුරිය ලංකාවේ නොසිටිම මට තවත් වාසියක් විය.


-හෙට හමුවෙමු -


*ප්‍රිසිලා ගොඩහේවා *

4 views0 comments

Recent Posts

See All

🌹නොනිමි ගමන 🌹

🌹නොනිමි ගමන 🌹 (29 වෙනි කොටස) අංජු ඔහු වැඩ කල පරණ A/ E නූල් කම්පැනියෙන් අස්වි තමන්ගෙම කියන්න ව්‍යාපාරයක් පටන් ගෙන දැන් අවුරුදු දෙකක්...

Comentarios


bottom of page