( 6 හයවන කොටස.)
🌹🌹මම කසාද බදින්න යන බව කිව් දිනේට පසු කවදාවත්, මා සමග කැම්පස් යන වෙලාවට, බස් එකේ යන්න නිරංජන් අයියා නොපැමිණියේ ය. මට ඔහු ගැන ඇත්තේ දුකකි. ඔහු මං ගැන ආදරයෙන් , බලාපොරොත්තු තබාගෙන කාලයක් තිස්සේ සිටි බව මම හොදින්ම දැනගෙන සිටියෙමි. මට එය නොතේරුනා නොවේ. නමුත් ඔහු කවදාවත් මට ආදරේ කියා නැත. ඒ හැඟීමෙන් මගේ අතින වත් අල්ලා නැත. පුංචි කාලේ අපි සෙල්ලම් කළ ආකාරයට ම ඔහු, මෙපමණ කාලයක් මාව ඇසුරු කළේ, මාව ආරක්ෂා කලේ....
අම්මා කියන පරිදි, නිරංජන් අයියලා සිටින තත්ත්වය උඩ මට නිරංජන් අයියා කසාඳ බැඳීමට නො හැකි ය. ඔහුට හරි හමන් රස්සාවක් නැත. ඉන්න හිටින්න තැනක් නැත. දැනටත් ඔවුන් ජීවත් වන්නෙ තාත්තා නමට ඇති ගෙයක ය. කුසුම් නැන්දා ගොඩක් හොඳ කෙනෙක් වුණත් මගේ ඉදිරි කාලය මට සතුටින් ජීවත්වීමට නම් හොඳ වාතාවරණයක් ඇති තැනක, අඩුපාඩු කම් නැති තැනක මම ජිවත් විය යුතුයි . මම තව අවුරුද්දකින් උපාධිධාරිණියකි. මගේ ඉගෙනීම අතින් ද නිරංජන් අයියා මට නො ගැලපේ. ආදායම් පැත්තෙන් බැලූව ද මාව සතුටින් තියන්න තරම් හොඳ වත්කමක් ආදායමක් ඔහු සතුව නැත. ඉපදුණ දවසේ පටන් හොද සැපට හැදුන මම ,කොහොමද ආදායමක්, ඉන්න හිටින්න තැනක් නැති කෙනෙක් සමග ගොස් ඉතිරි ජීවිත කාලයම දුක් විදින්නේ…..අම්මා කියන දෙයකට කැමති වී මගේ අනාගතය මම සුරක්ෂිත කරගත යුතු යැයි මම සිතුවෙමි. මම වගේ උගත් කෙනෙක්, අම්මා අකමැති දෙයක් කරගෙන මුලු ජීවිතයම ඇයි නාස්ති කරගන්න හිතන්නේ කියා මටම සිතේ….
සැප සම්පත් මැද හැදුන මම ඒවා අත හැර යන්නට අකමැත්තෙන් සිටින බවද මට වැටහේ…. මගේ යටිහිත මට නිරංජන් අයියා නොගැලපේ යයි කියනවා මට ඇසෙන්නා සේය…...
මගේ විශ්වවිද්‍යාල යහළුවන් සිතන්නෙ මාත් නිරංජන් අයියාත් අතර ඇත්තේ ආදර සම්බන්ධ කමක් කියායි. ඔවුන් අප දෙදෙනාට එසේ සිතා විහිළු කළ අවස්ථා ද ඇත. විශ්වවිද්‍යාලයේ සිටින පිරිමි ළමයින් මං දිහා බැලූවත් කතා කරත් මගේ යෙහෙළියන් කියන්නේ.....
‘‘බැලූවට වැඩක් නෑ බුකිං දාලා තියෙන්නේ.‘‘ කෙල්ලෝ කියයි.
‘‘නෑනට මස්සිනා කෙනෙක් ඉන්නවා.‘‘කොල්ලෝ කියයි.
"‘විශ්ව විද්‍යාලයේ කොල්ලන්ට කැමති නෑලූ.‘‘
‘‘පොඩි කාලේ ඉඳන් එන ප්‍රෙමයක් තියෙනවා. බලාපොරොත්තු තියා ගත්තට වැඩක් නෑ.‘‘
ඔවුන් මම ගැන බලාපොරොත්තුවෙන් එන පිරිමි ළමයින්ට මා ගැන කියන්නේ එසේ ය. එබැවින් මගෙන් ආදරය බලාපොරොත්තුවෙන් එන පිරිමි ළමයෙක් වුව ද දින දෙක තුනකට වඩා මගේ පසු පස නො ආවේ ය. එය මට පහසුවක් වුණත් මාත් නිරංජන් අයියාත් අතර ප්‍රේම සම්බන්ධයක් නො තිබුණු බැවින් සමහර අවස්ථාවල මට මගේ යෙහෙළියන් ගැන ද ඇති වුණේ කේන්තියකි. විශ්ව ව්ද්‍යාලයේ පිරිමි ළමයෙක් සමග ආදර සම්බන්දතාවයක්, මට පටන් ගැනීමට නොහැකි උනෙත් නිරංජන් අයියා මා පසු පස ඒම නිසයි .
‘‘උඹලා මට නිරංජන් අයියව ජෝඩු කළාට අපි අතර එහෙම සම්බන්ධයක් නෑ.‘‘
‘‘අනේ පලයං බං යන්න. නැත්නම් මොකටද කටුබැද්දෙ යන එකා කොළඹ පදින්නෙ උඹ පස්සේ.‘‘
‘‘නිරංජන් අයියා කවදාවත් මගෙන් ආදරේ ද කියල අහල නෑ. ඒ උනාට ඒ වගේ දෙයක් එයාගෙ හිතේ තියනවා කියල මං දන්නවා. මගෙන් අහන්න තරම් එයාට ශක්තියක් නෑ මය හිතේ.‘‘
මගේ හොදම යෙහෙළිය සුනීතාට මම කියන්නෙමි.
‘‘උඹලැයි අම්මට ඌ බය ද කොහේද ?....ඒකයි උබ ආදරෙයි කියනකම් ඉන්න ඇති..."
මගේ ළඟ ම යෙහෙළිය සුනීතා සමඟ මම නිතර නිරංජන් අයියා ගැන කතා කරන්නෙමි. මම ඉදිරියේදි ගත යුතු පියවර ගැන අදහස් ඇගෙන්ද විමසමි.
"‘සාරදා මටත් හිතෙන්නෙ උඹලැයි අම්මා කියනව වගේ උඹට නිරංජන් ගැලපෙන්නෙ නෑ කියලා…... පෙනුමෙන් නම් නිරංජන් හොඳයි..... නියම හැන්ඩියා තමයි ... නමුත් කසාද බදින්න නම් සල්ලි බාගේ දේපොළ තියෙන කොල්ලෙක් තමයි හොද. ලස්සන කන්නයෑ….. අපි ඉගෙන ගත්ත අය වුන එකේ …., මෝඩ තීරණ ගන්න හොද නෑ
‘‘නොගැලපීම් නම් මහ ගොඩක් තියෙනවා මස්සිනා උනත්.... මට දුකයි නිරංජන් ගැන.‘‘
‘‘දුක හිතිලා කසාඳ බඳින්න බෑ. ඊට පස්සෙ කසාඳ බැඳලා ඩිවෝස් වෙන්න හිතෙයි. අඩුපාඩු එනකොට…..‘‘
‘‘සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා.‘‘
‘‘අම්මලා කැමති කෙනෙක්ට කැමති වෙයං. ජීවිතේ දුක් කරදර එක්ක යන්න බෑ...... බලෙන් අමාරුවෙ වැටෙන්න ඕන නෑ……අම්මලා අපට වරදක් කරන්න නෙමේ නේ හදන්නේ….මොනවා උනත් දෙමව්පියන්ගෙ ආශිර්වාදය සමග විවාහයක් කරගත්තොත් කවදාවත් ළමයින්ට වරදින්නෙ නෑ....‘‘
සුනීතා කියන සමහර දේවල් මට ද සත්‍ය යැයි සිතෙයි .. අම්මාට, තාත්තාට විරුද්ධව නිරංජන් කසාඳ බැඳ ගැනීමට පුළුවන් තත්ත්වයක මම නැත. මං එසේ කරගත්තොත් ,එදිනට පසු දිනම කුසුම් නැන්දාට හා මාමාට ඔවුන් කාලයක් තිස්සේ පදිංචි වී සිටි ගෙයින් එළියට බැසීමට සිදු වෙයි. අහිංසක ඔවුන් දෙදෙනා සහ නිරංජන් අයියා අදටත් සිටින්නෙ තාත්තාගේ නමට ඇති අපේ ගෙයකය. අම්මා නිතර ඒ ගෙය ඉල්ලා ගෙන කුළියට දෙන්න කියා තාත්තාට කරදර කරන අවස්ථා ද ඇත. මම මගේ තනි කැමැත්තට නිරංජන් අයියා කසාඳ බැන්දොත්, අම්මා ඊට පසු දින ම කුසුම් නැන්දලා අපේ ගෙදරින් එළියට දමනු ඇත. මම ගන්නා තීරණය උඩ මුළු පවුලක්ම කරදරේ වැටෙනු ඇත. ඔවුන් ගෙ අනාගතය මම නිසා විනාශ විය හැක. උගත්කමක් ඇති මම වගේ කෙනෙක් මෝඩ තීරණයක් ගන්නා එක විහිළුවකි. මට හොඳ අනාගතයක් ඇත. එය තේරුම් ගෙන වැඩ කළ යුතුයි. මම බොහෝ දුරට මගේ ඉස්සරහ කාලය, මගේ අනාගතය, අපේ පරම්පරාව රැකගැනීම උදෙසා මම මෙන් උගත් කමක් ඇති කෙනෙක් ගත යුතු තීරනය ගත්තෙමි. එය කෙසේදැයි හොදින් සිතා බලා අන්තිම තීරනය උඩ නතර උනෙමි.
ඔව් මං විකුම්ට කැමති වෙනවා….. අම්මා කියන කෙනෙක් කසාද බැද මම මගේ අනාගතය, හොඳින්, වැදගත් විදිහට ඉදිරි කාලයේ ජීවත් වීමට, බුද්ධිමත් තීරනයක් ගත්තෙමි. විකුම් කසාඳ බැන්දොත් මට මේ ලංකාවේ ඉඳීමට අවශ්‍ය වන්නේ නැත. ඔහු සමඟ ම මට විවාහයත් සමගම විදේශගත විය හැක. එවිට මං ගැන නිරංජන් අයියාගේ හිතේ තියෙන දුක නිකම්ම මඟ ඇරි යනු ඇත. නිතර දෙවේලේ හමුවන තැනක මම හිටියොත් තමයි නිරංජන්ටත් මටත් දෙදෙනාට ම හිත හදා ගැනීමට නොහැකි වන්නේ. විකුම් කසාඳ බැඳ විදේශගත වෙන එක ගොඩක් හොඳ තීරණයක් කියා මට සිතේ….. මගේ කැමැත්ත අම්මාට කිව යුතු යැයි මම සිත හදා ගත්තෙමි.
මම සුපුරුදු ලෙස විශ්ව විද්‍ය්ලයේ පාඩම් කටයුතු හොදින් කරමින් නිරංජන් අයියා අමතක කර දැමීමට උත්සහ ගනිමින් දැන් ඉන්නෙමි. ඉස්සර වගේ කැම්පස් යන වෙලාවට ඔහු මට තනි රැකීමට නොපැමිණීම නිසා, මට මගේ හිත හදාගැනීමට පහසු වෙමින් පවති.
‘‘සාරදා අද උදේ විකුම් ඉංග්ලන්ඩ් ඉදන් මෙහෙට කතා කරානේ......‘‘
මම ව්ශ්ව විද්‍ය්ලයේ සිට ගෙදර පැමිනි විගස අම්මා ඉතා සතුටින් කීය.
‘‘මං කිව්වා ඔයා යුනිවසිටි ඉඳන් ගෙදර එනකොට තව හවස් වෙයි. හවසට කතා කරන්න කියලා. තව ටිකකින් ඒ ලමයා සමහර විට ඔයාට කතා කරයි.... . ඔයා ඒ ළමයා එක්ක හොඳට කතා කරන්න. හරියට කතා කරනකොට සුද්දෙක් වගේ සිංහල වචනත් අමතකයි වගේ…..මට ආසාවෙ බැරුව ගියා . ..‘‘
අම්මා විකුම් ගැන කියන්නෙ හරි සතුටිනි. අම්මාගෙ පෝසත් නෑදෑයින්ට පේන්න මාව විකුම්ට බන්දා දීමට අම්මාට ඇත්තේ ලොකු උවමනාවකි. මාව එංගලන්තයේ යැවීමට අම්මා පෙරුම් පුරයි. මොන අම්මත් කැමති තමන්ගේ දරුවන්ට හොඳක් සිද්ධ වෙනවා දකින්නටය.
‘‘අපෝ ලංකාව අමතක වෙච්ච කෙනෙක් ද දන්නෑ සිංහල හරියට බැරි නම්…...‘‘
‘‘එහෙම තමයි ළමයෝ රෝමෙට ගිහාම රෝමේ විදිහට ඉන්න ඕන කියන්නේ.‘‘
"‘මාත් එක්ක ඉංග‍්‍රීසි වචන කෑලි දාන්න ආවොත් මං කෙලින්ම අහනවා ලංකාවේ සිංහල අමතක වෙලා ද කියල…..‘‘
‘‘පිස්සු ද ඒ ළමයගෙ හිත රිදෙන්න දෙයක් එහෙම කියනව නෙමේ ඔය ළමයා....‘‘
එදින හවස ගෙදර ටෙලිෆෝනය නාදවන වාරයක් පාසා මගේ හිත ද ගැස්සෙයි. විකුම් කොයි වෙලේ හෝ මට කතාකරයි කියන අදහසින් මම, ටෙලිෆෝනය ඇති දුරින් ම වාඩි වී පොතක් බලමින් උන්නේ විකුම් සමඟ කතා කිරීමට කැමැත්තෙන් යැයි මටම සිතේ..
අවුරුදු විසිතුනක තරුණියක් වුණ මට මගේ හිතේ තිබුන,ආදර හැඟීම් පිට කරගැනීමට අවස්ථාවක් නොලැබුණි. නිරංජන් අයියා හැමදාම මගේ පස්සෙන් ආවේ සහෝදරයෙක් වගේ මා පරිස්සම් කිරීමට පමණය. කෙල්ලෙක්ට එවැනි ආදරයක් වටිනවා උනාට මට අවශ්‍ය වී තිබුනේ කෙලිලොල් දගකාර ආදරයකි. නිරංජන් ගෙන් එවැනි ආදරයක් කිසි දින මට ලැබී නැත. කරදර ප්‍රශ්න සමග ගෙවුනු ඒ ජීවිතයට මම කැමති නැත. නිරංජන් අයියා හැමදාම මා සමග කතා කලේ එදිනෙදා ජීවිතේ කම්කටොලු පමණය. මම දුක් කම් කටොලු අසා සිටිමට,ඒ සමග ජීවත් වීමට කැමතිම නැති කෙනෙක්මි. ඉදිරි කාලයේවත් මම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න පුලුවන් කෙනෙක් සමග මගේ අනාගතය ගමන යා යුතුය...
අවුරුදු විසිතුනක කාලයක් ලඟින් සිටි නිරංජන් අයියා ගැන මට ඇත්තේ ඈලි මෑලි ගිය ආදර හැඟීමක් යැයි මට ම සිතේ. දැන්වත් මා වෙනස් විය යුතුයි….. ඉපදුණ දවසේ පටන් සැපවත් ජීවිතයක් ගත කල මම ඇයි බලෙන් දුක් කම්කටොලු ජීවිතයකට ඇතුලු වෙන්න දැගලුවේ...... පහුගිය කාලයේ හිතුවේ… ඔව්, පහු වෙලාවත් මට එය තේරුම් ගොස් හොද තීරනයක් ගන්න සිතීම ගැන, මටම මං ගැන සතුටක් ඇතිවී ඇත.
‘‘ටී‍්‍රං... ටී‍්‍රං…ට්‍රිං…. ගෙදර දුරකතනය නාද වෙයි...මගේ හිත ගැහෙයි..මේ කතා කරන්නේ විකුම්ද ,දන්නෑ…...මම කියවමින් හිට්ය පොතෙන් ඇස් ඉවත් කර අම්මා දෙස බැලීය. අම්මා දිවවිත් ටෙලිෆෝනය අතට ගත්තේ මා දෙස බලමින් ඇසෙන් ඉගි කරමින්‍ය.
‘‘හලෝ... ආ... ඔව්... පුතා ඉන්න ,සාරදා ඉන්නවා ,...දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි කැම්පස් ගිහින් ගෙදර ආවේ…...ඉන්න මම දුවට කතා කරන්නම්…...
" දුව…. මේ විකුම් පුතා කතා කරනවා. එන්න...‘‘ අම්මා මට අඬ ගසා රිසිවරය දුන්නා ය.
-හෙට හමුවෙමු -
*ප්‍රිසිලා ගොඩහේවා *
Comments