top of page
  • Writer's picturePrisila Godahewa

**එතෙරින් එතරට** (4)

Updated: May 11, 2020

(හතරවන කොටස 4)



මම අවෙලාවේ ගෙදර යන විට ගෙදර හිටියේ අම්මා සහ බාල මල්ලි පමනි.


‘මොකද මද්දු අද කලින් ගෙදර ආවේ.‘‘ මා දැක අම්


මා ඇසීය.

‘‘මං ආයෙත් කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ. පන්තියේ


ළමයින් මාව කොන් කරනවා. මාත් එක්ක කතා කරන්නෙත් නෑ. මට විහිළු කරනවා.‘‘ මං අඬමින් අම්මාට කීය. අම්මා කිසිත් කතා නොකර මට අඬන්න හැර මා මඟ හැර ගෙට ගියාය.

තාත්තා ගෙදර එන වේලාවේ මා ඇඳට වී බුදිය ගෙන සිටියේ ගෙයි ඇතුලේ වෙන කතාබහට හොරෙන් ඇහුම්කන් දෙමින්ය.

‘‘මද්දුට ඉස්කෝලෙ යන්න බෑ කියනවා. ළමයි විහිළු කරනවලූ. ඔන්න අද දවල් වේලාසන ගෙදරත් ආවා.

‘‘එහෙම කියල බෑනේ. ඉගෙන ගන්න වයසේ ලමයි ගෙදර ඉඳන් මොනව කරන්නද?"

‘‘ ඒක නම් එහෙම තමයි ….කොල්ලා ඉස්කෝලේ යන්නම බෑ කියනවා නම් අපි මොකද කරන්නේ……? බැරිද ටික කාලයක් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ලඟවත් නවත්තන්න. හොඳ ගතිගුණ ටිකක්වත් ඕකා ඉගෙන ගන්නෙ නැතෑ.‘‘

‘‘ඒකනම් හොඳ අදහස...මම මේ මොකද කරන්නේ කියලා කල්පනා කලේ…. මං හෙට උදේ කොල්ලව පන්සලට එක්ක යන්නම්. බලමු ලොකු හාමුදුරුවන්ටවත් කියල මූ මේ කරන හොරවැඩවත් නවත්තලා දෙන්න පුලුවන්ද කියල.‘‘

පසුදින අක්කලයි, අයියයි පාසල් ගිය පසු තාත්තා මට පන්සලට යන්න ලෑස්ති වෙන්න කීය.

‘‘සුදු ඇඳුමක් ඇඳ ගෙන වරෙන් ටික දවසක් උඹ පන්සලට වෙලාවත් ඉඳපං.... ඉස්කෝලෙ යන්න බැරිනම්.‘ පන්සලෙදි උඹට අකුරු ටිකක් කියල දෙන්න කියලා මම ලොකු හාමුදුරුවන්ට කියන්නමි‘ තාත්තා මට කීය”

‘‘අපි එහෙනම් ගිහිල්ල එන්නම්‘‘. තාත්තා, අම්මාට කීය.

මම අම්මාට වැද තාත්තා සමඟ පන්සලට යන්න ගෙයින් එලියට බැස්සේමි. මම ඉස්කෝලෙ අඳින කොට කලිසමයි, සුදු ෂර්ට් එකයි කඩදාසි බෑග් එකක දමාගෙන තාත්තා පසු පස වැටුනෙමි. මම පන්සලට යන්න නමි ඉතා කැමතිය. ඒ එහි ඇති වෙන්න කෑම බීම තිබෙන බැවිනි. අමිමා තාත්තා අපට පුලුවන් හැටියට කන්න බොන්න දී අප පාසැලට හරිනවා හැරෙන්නට අපට හිතට දැනෙන්න ආදරය කරන අය නොවෙයි. එබැවින් ඔවුන් අමතක කර පන්සලට යෑම නමි මට කිසි අපහසුවක් නොවිය.

අපි පන්සලට යනවිට,උදේ වරුව නිසා එහි කිසිකෙනෙක් නොවීය .

‘‘උඹ විහාර ගේ පැත්තෙ ගිහින් බුදුන් වැදල වරෙන්. මං ලොකු හාමුදුරුවන්ට කතා කරල එන්නම්.‘‘

මම හෙමින් හෙමින් පන්සල් වත්තේ කොනක තිබෙන විහාර ගේ පැත්තට ගියෙමි. කිසි කෙනෙක් ඒ පැත්තේ නොවීය. විහාර ගේ තුළට ගොස් එහි බිම මම වාඩි ගත්තෙමි.

විහාර ගෙයි ඇති ලොකු බුදු පිළිමය දෙස මා බලාන උන්නේ දුකෙනි. පාසැලේ බුද්ධ පිළිමයේ ධර්ම චක‍්‍රයේ කැර කැවෙන මෝටරය මම හෝරා ගත් විදිහ මට මැවී මැවි පෙනිනි.. විහාර ගෙය බුදු පිළිම වහන්සේ ඇස් නොපියවා මා දෙස බලා ඉඳියි.

‘‘ඇයි දරුවා ධර්ම චක‍්‍රය හොරකම් කළේ.*‘‘

මගේ පිටිපස්සෙන් කවුරුන් හෝ කතා කරනවා මෙන් මට ඇසිනි. මම බුදු පිළිමය දෙස ඇස් නොපියවා බලා ඉදියදී මගේ දෙනෙතින් කඳුළු කඩා වැටුනේය. බෞද්ධයෙක් වශයෙන් මම කළේ ලොකුම ලොකු වරදක් බව මට දැන් තේරී ඇත.

‘‘මද්දු කොහේද?.. වරෙන් ආවාස ගෙට යන්න. ලොකු හාමුදුරුවෝ කතා කළා.*‘‘

තාත්තා පැමිණ මාව ආවාස ගේ දෙසට එක්ක ගියේ ලොකු හාමුදුරුවන්ට හඳුන්වා දෙන්නට ය.

‘‘මේ ඉන්නෙ මගේ තුන්වෙනි කොළුවා, හාමුදුරුවනේ... මූව මට ආන්ඩු මට්ටු කරන්න හරි අමාරුයි. ඔබ වහන්සේට පුළුවන්නම් මුට හොඳ නරක කියා දීලා හදල දෙන්න. ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා.‘‘

‘‘මොකක්ද දරුවගෙ නම කිව්වෙ?‘‘ ….ලොකු හාමුදුරුවෝ ඉතා කරුණාවෙන් මගෙන් ඇසිය.

මෙපමණ කාලෙකට එතරම් කරුණාවෙන් මට කතා කළ කෙනෙකු නොසිටි තරම් ය. මගේ හිතට සතුටක් දැනින.

‘‘විසල්…. හාමුදුරුවනේ.‘‘ මම උන්වහන්සේට වැද නමස්කාර කර පසෙකින් වාඩි වෙමින් කීය.

‘‘දැන් කීවෙනි පන්තියේද ඉන්නේ?

‘‘පහේ පන්තියේ‘‘

‘‘උඹ කැමති ද පන්සලේ නැවතිලා පන්සලේ අතුපත ගාන වැඩවලට උදව් කරන්න.... මං උඹට අකුරු සාත්තරේ උගන්වන්නම්. හැබැයි ඉතිං මෙහේ හොර වැඩ කරල එහෙම අහුවුණොත් නම් මං නෙමේ දඬුවම් කරන්නේ. උඩ ඉන්න දෙයි තමයි ...තේරුනාද…?‘‘

මට බයක් දැනින. විහාර ගෙයි බුදු පිළිමය වටා ඇති දෙවිවරුන්ගේ රූප මට මැවී පෙනෙයි. දෙවි රූප අතර ඇති රාක්ෂයන්ගෙ රූප ද මැවී පෙනී..පෙනී බය සිතිනි.

‘‘නෑ... හාමුුදුරුවනේ. මං ආයෙත් කවදාවත් ම අනුන්ගෙ දේවල් ගන්නෙ නෑ.‘‘

‘‘ඒක හොඳයි පන්සලේ ජීවත්වනවා නම් පන්සිල් පද පහ හොඳින්ම රැක ගෙන ඡීවත් වෙන්න ඕනෑ.‘‘

‘‘එහෙනම් උපාසක උන්නැහේ ගෙදර යන්නකෝ කොල්ලා මෙහේ තියල.... අර දං ගෙයි ඉන්න සීමන්ට මං කතා කළා කියන්න , ඔය යන ගමන්ම.‘‘

‘‘පුතේ උඔ ඔය ලොකු හාමුදුරුවෝ කියන විදිහට ටික දවසක් මෙහේ ඉඳපං... උඔට කෑම බීමෙන් අඩුවකුත් නෑනේ මෙහේ. මං අම්මට කියන්නම් ඇවිත් උඹව බලල යන්න කියල. වැරදි වැඩ එහෙම කරන්නෑ තේරුනාද. ? උඹ පන්සලේ දි වැරදි වැඩක් කළොත් මට ගමෙත් ඉන්න බැරි වෙයි. තේරුණාද?"

‘‘තේරුණා.. තාත්තේ... ‘‘

මම බිම දණ ගසා තාත්තාට වැන්දෙමි. තාත්තා මගේ ඔළුව අතගෑවේ දුකෙන් යැයි මට සිතේ.

තාත්තා පන්සලේ දන් ගෙයි වැඩ කරන සීමන් මාමාට කතා කිරීමට දන් ගෙයි පැත්තට ගියේය. මම ලොකු හාමුදුරුවන්ගෙ කකුල් දෙක ලඟ බිම ඉඳ ගෙන සිටියෙමි.

‘‘ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සෙ මට කතා කළා ද? සීමන් මාමා ලොකු හාමුදුරුවන්ට දෙකට නැමී වැඳ එකත් පසට වී ඇසීය.

‘‘මේ කොළුවා ඉස්කෝලෙ යන්න කැමති නෑ කියල මුංගෙ තාත්තා පන්සලට එක්ක ආවා. ඔය දන් ගෙයි වැඩත් පන්සල පිරිසිදු කරන වැඩත් මේ කොල්ලට උගන්නන්න. ටික කාලයක් මේ කොල්ලා මෙහේ ඉඳියි. මුලින්ම කොල්ලට ඔය උදේ ඉතිරි වුණ හීල් දානේ එහෙම තියෙනවනම් එක්ක ගිහින් කන්න දෙන්න.‘‘ ලොකු හාමුදුරුවෝ සීමන් මාමට කීය.

‘‘එහෙනමි විසල් සීමන් එක්ක කුස්සිය පැත්තට යන්නකෝ‘‘ලොකු හාමුදුරුවෝ කරුණාවෙන් මට කීය. උන් වහන්සේගේ කරුනා බර හඩ මට අස් වැසිල්ලක් විය.

‘‘වරෙන් කොළුවෝ යන්න. උදේ හීල් දානෙට ගෙනාපු ඉඳි ආප්ප තියෙනවා. කාල බීලා පිඟන් කෝප්ප ටික හෝදලා දාන්න ඕනේ උඹ....‘‘

‘‘හා... මාමේ.‘‘

පන්සලේ දං ගෙට මා එක්ක ගිය සීමන් මාමා, උදේ හීල් දානෙට ගෙනාපු ඉඳි ආප්ප, අල හොඳි හා පොල් සම්බෝල පිඟානකට බෙදා මා අතට දුන්නේය. මේ විදිහට කවදාවත් මට ගෙදරදී නම් ඉදි ආප්ප කන්න ලැබි නැත. මම එය එක හුස්මට ගිලදැමුවෙ දන් ගෙයි මිටි බංකුවක වාඩි ගෙන ය. සීමන් මාමා මට කෙසෙල් ගෙඩි දෙකක් ගෙනත් දුන්නෙ ඉඳි ආප්ප කා ඉවර වෙන්නත් පෙර ය.

"හෙමින් හෙමින් කාපන්....උඹ කාලත් ඉවර ද? පුදුම බඩගිනිකාරයෙක්නේ. උඹ උදේට කාලා නෙමේ ද හිටියේ.?

‘‘කාලා හිටියෙ මාමෙ.... අද උදේට මඤ්ඤොක්කයි, ලූණු මිරිසුයි කෑවේ. අපට ඉතිං ඉඳි ආප්ප කන්න හම්බවෙන්නෙ එහෙමත් දිනකනේ.‘‘

‘‘උඹ කාල ඉවර නම් මේ භාජන හෝදල දාලා බෝ මලූවට ගීහින් ඒ පැත්ත අස් කරල අතු ගාලා දාන්න ඔනේ හොදද?...‘‘. බෝ මලූවේ පොඩි හාමුදුරුවොත් වැඩ හිටිනවා. මං හිතන්නෙ ගාථා කට පාඩම් කරනවද කොහේදෝ... උඔ පොඩි හාමුදුරුවන්ට කරදර කරනව එහෙම නොවේ හොදද....‘‘

"හොදයි මාමේ.."

දන් ගෙය අස්පස් කර භාජන ද සෝදා දැමූ මම බෝ මළුව පැත්තට ගියෙමි. ඈතදීම මට බෝ මළුවේ කණුවක් ලඟ බිම වාඩි වී පොතක් අතේ තියාන පාඩම් කරන පොඩි හාමුදුරුවෝ දැක ගත හැකි විය. පොඩි හාමුදුරුවෝ මටත් වඩා අවුරුද්දක් පමණ බාල කෙනකි. මීට ප‍්‍රථම පෝය දිනට සිල් ගන්න ආ විට මට පොඩි හාමුදුරුවෝ මුණගැසී ඇත කතා බහ ද කර ඇත. උන්වහන්සේ අප වගේ නෙමේ ඉතා සන්සුන් ලෙස කතා බහ කරන නිවුණු කෙනෙය. බෝ මළුවට මම යනවා ඈතදීම දුටු උන්වහන්සේ සිනා සී මා හට අතින් සංඥා කළේ උන්වහන්සේ ළඟට එන්න යැයි කියායි.

‘‘මොකද අද ඉස්කෝලෙ ගියේ නැද්ද?

‘‘නෑ... හාමුදුරුවනේ.‘‘

ඒ ඇයි‘‘? මොකක්ද නම කිවිවෙි ඔයාගෙ …?"

‘‘විසල්…..මම ඉස්කෝලෙ යන්න ආස නෑ. ඒ හින්දා අමිමයි තාත්තායි මට ටික කාලයක් පන්සලේ ඉන්න කිව්වා. ලොකු හාමුදුරුවොත් කිව්වා ටික දවසක් පන්සලේ ඉඳන් පන්සලෙ වැඩට උදව් කරන්න කියලා.‘‘

‘‘ආ...ඒක කොච්චර හොඳ ද? එහෙනම් මටත් පාළු නැතුව ඉන්න පුළුවන් විසල් ඉන්න නිසා….."

‘‘ඒ උනාට මට සෙල්ලම් කරන්න තහනම්. පන්සලේ පිරිසිදු කරන වැඩ තියෙනවනෙ කරන්න.‘‘

"මටත් සෙල්ලමි කරන්න තහනම්.... මම කිවිවෙ අපට කථා කරන්න පුඑවන් කියල.. ‘‘හැම තිස්සේම ඉතිං වැඩ නෑනේ.‘‘ මං මේ ගාථා තුන පාඩම් කරල කට පාඩම් දෙන්න ඕනේ ලොකු හාමුදුරුවන්ට ඊට පස්සෙ මට ටික වේලාවක් නිදහසේ ඉන්න පුළුවන්. මං ගාථා පාඩම් කරල එනකල් විසල් බෝ මළුව අතුපතු ගාල ඉවර කරන්නකෝ. අපි ඊට පස්සෙ පන්සල් වත්ත පල්ලෙහා ටිකක් ඇවිදල එමු.‘‘

‘‘හොඳයි පොඩි හාමුදුරුවනේ මං ඉක්මණට වැඩ ඉවර කරල එන්නමි”

මං කඩි මුඩියේ බෝ මළුව අමදින්නට පටන් ගත්තෙමි. ඉන්පසු මල්, ගිලන්පස තියෙන භාජන ද බාල්දියකට වතුර ගෙනැවිත් සෝදා දැම්මෙමි. මල් ආසන ද සෝදා දැමූ විට බෝ මළුව ඉතා පිරිසිදු යැයි මටම සිතේ. මම වැඩ කර ඉවර වෙනකොට ලොකු හාමුදුරුවෝ බෝ මළුවට සැපත් විය. උන් වහන්සේ ඉතා කාරුණික කෙනෙකු යැයි මට සිතුනේ උන් වහන්සේගේ නිවුණු පෙනුම හා කථාබහ කරන ආකාරය නිසාය.

‘‘විසල් බෝ මළුව ඇමදලා ඉවර ද? ආ... ඔය අපූරුවට ඇමදලා තියෙන්නෙ. හරි හොඳයි. හැමතිස්සෙම පන්සල පිරිසිදුව තියාගන්න උදව් කරන්න ඕනේ.‘‘

‘‘එහෙමයි හාමුදුරුවනේ‘‘

‘‘පොඩි හාමුදුරුවන්ට කරදර එහෙම කරනව නෙමෙි‘‘

‘‘එහෙමයි හාමුදුරුඑනේ‘‘

‘‘පොඩි තැන, මේ විසල්ට ගාථා ටික ටික කියල දෙන්න ඕනේ….‘‘ ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවන්ටද කීය.

‘‘හොඳමයි හාමුදුරුවනේ.‘‘පොඩි හාමුදුරුවෝ ද ඉතා ගරු සරු ඇතිව උන්වහන්සේට කතා කරයි.

‘‘පොඩි තැන ගාථා පාඩම් කරල ඉවර ද?

‘‘එහෙමයි හාමුදුරුවනේ.‘‘

‘‘එහෙනම් මට මල් පූජා කරන ගාථාව කියන්න.‘‘

‘‘පූජේමි බුද්ධං...‘ ‘ ගණසාගරන්තං.. පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන් ඉදිරිපස දණින් වැටී අත් දෙක දොහෝත් මුදුන් තියා එකතු කරමින් මල් පූජා කරන ගාථාව ඉතා මිහිරි ලෙස පැහැදිලිව හෙමින් ගායනා කරන්නට විය.

‘‘හොඳයි... එහෙනම් පහන් පූජා කරන ගාථාව... ලොකු හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවන්ගෙන් ගාථා තුනක් කට පාඩම් ගත්තේය. එම ගාථා තුන නම් මමත් දනිමි.

‘‘හාමුදුරුවනේ ඒ ගාථා තුන නම් මමත් දන්නවා.‘‘*

‘‘එහෙමද.... එහෙනම් කියමු බලන්න.‘‘

පොඩි හාමුදුරුවෝ ලෙස හෙමින් මිහිරි ලෙස ගාථා කිමට මට නොහැකි වුණත්, මමත් කඩිමුඩියේ ගාථා තුනම කියා ඉවර කළේ අත් දෙක නළලේ තියා වැදගෙනය.

"‘හොඳයි... හොඳයි... බොහොම හොදයි ඒ උනාට කඩදාසි ලිපේ දාලා වගේ කලබලේ ගාතා කියන්න බෑ.... හෙමිහිට මිහිරි ලෙස ගාථා කියන්න පුරුදු වෙන්න ඹිනෑ. මේ පොඩි හාමුදුරුවෝ වගේ. එතකොට තමයි හිත නිරවුල් වෙන්නෙ.... සන්සුන් වෙන්නෙ, ‘අහගෙන ඉන්න අයටත් සතුටු හිතෙන්නෙ, ශද්ධාව ඇති වෙන්නෙ”‘

‘‘ලොකු හාමුදුරුවනේ මං ගාථා පාඩම් කරල ඉවර නිසා විසල් එක්ක පන්සලේ වත්ත පල්ලෙහාට සක්මන් කරල එන්න ද?

‘‘වත්ත පල්ලෙහාට මොකට සක්මන් කරන්වද?. මේ බෝ මළුවේ බැරියැ සක්මන් කරන්න.‘‘

"‘නෑ... හාමුදුරුවනේ පන්සල පල්ලෙහා තියෙන පළතුරු ගස්වල ගෙඩිපිරිලා. අපි දානෙට ගන්නත් එක්ක එයින් ටිකක් කඩා ගෙන එන්නද.?‘‘

‘‘ආ...දැන් පොඩි තැනට යාළුවෙක් හම්බවෙලා ඉන්නවනේ... ගස් නගිනවා එහෙම නෙමෙයි. විසල්ට කියල පළතුරු කඩා ගන්න. ගස් සුද්ධ කරනවා එහෙම නෙමේ... කුරුල්ලන්ට ලේනුන්ට, පළතුරු කන්ඩ ඉතිරි කරලයි කඩාගන්නෙ තේරුනාද? වැඩි ඈතට එහෙම යනවා නෙමෙයි ඉක්මණට පන්සලට වඩින්න. අද දවල් දානේ මුදලාලිගෙ ගෙදරින් ගේන්නෙ. පන්සිල් දීලා... පිරිත් ටිකක් කියන්නත් තියනවා.‘‘*

‘‘හොඳමයි හාමුදුරුවනේ. මං එහෙනම් විසල් එක්කන් යනවා...‘‘ පොඩි හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවන්ගෙන් මාව පන්සල් වත්ත පල්ලෙහාට එක්ක යන්න අවසර ගත් විට මට සතුටු සිතිනි.

‘‘දෙන්නත් එක්ක වැරදි වැඩ එහෙම කරල අහුවෙනව එහෙම නෙමේ. ඇහුනද විසල්.‘‘

‘‘එහෙමයි ලොකු හාමුදුරුවනේ.‘‘ මා ද පොඩි හාමුදුරුවෝ වගේ ම උන් වහන්සේට වැද අවසර ගත්තේමි.

"‘අපි යමු විසල් පල්ලෙහා වත්තෙ පේර ගස්වල ඇඹුල් පේර පිරිලා අපි කඩාන එමු….‘‘

‘‘යමු හාමුදුරුවනේ.‘‘

පොඩි හාමුදුරුවෝත් එක්ක වත්ත පල්ලෙහාට යන්න ලැබීම මට සතුටකි. උන් වහන්සේ සිවුර උස්සා ගෙන ගල් උඩින් පැන පැන මට පාර පෙන්වමින් වත්ත පල්ලෙහාට යයි. පන්සල් වත්තෙ බොහෝ පළතුරු ගස් තිබුනි. ඒවායේ ඇඹුල් පේර, ලොකු පේර, අඹ, නාරං, ලොවි ආදි පළතුරු ඵලදාවෙන් පිරි ඇත. පන්සල් වත්ත අක්කර ගානක් ලොකු ඉඩමකි. ඉඩම ඉවර වෙන්නෙ වතුර ගලාගෙන යන ඔයකිනි. කුරුල්ලන් ලේනුන් රුහැයියන්ගෙ සද්දය ඇරෙන්න ඉඩම හරිම පාලුය.

මම පේර ගස්වලට නැග පේර කඩා පොඩි හාමුදුරුවන්ට දුනි. ඒ ගමන් ඇඹුල් පේර කටේ දමා ගන්නට ද අමතක නොකළෙමි. ගස්වල ලේනුන්, කුරුල්ලන් කා දමා තිබූ පළතුරු දැක මට දුක සිතිනි.

‘‘ අපරාදේ මේ ලේනුයි, කුරුල්ලනුයි ඉදිච්ච පළතුරු ගොඩක් කා දමලා.‘‘ මං පොඩි හාමුදුරුවන්ට කීය.

‘‘ලොකු හාමුදුරුවෝ කියල තියෙන්නෙ, ගස්වල පළතුරුවලින් භාගයක් කුරුල්ලන්ට, ලේනුන්ට තියල කඩා ගන්න කියල. අපට නම් උපාසකයන්ගෙන් දානේ හම්බ වෙනවා. ඒ උනාට සත්තුන්ට එහෙම නෑනේ. ඒ නිසා අපි සත්තුන්ට ගස්වල තියෙන පළතුරු ඉතිරි කරල තියන්න ඕනේ.‘‘

‘‘පොඩි හාමුදුරුවෝ මේ පන්සලට ආවේ කොයි කාලෙ ද?‘‘

‘‘දැන් මාස හයකටත් වැඩි යි. මං මහණ වුණේ කුරුණෑගල තියෙන භාවනා මධ්‍යස්ථානයක. මාත් එක්ක තව හතරනමක් එහෙදි මහණ කළා. උන් වහන්සේලාත් ලංකාවේ තව පැති තුනකට වඩින්න ඇති.‘‘

‘‘එතකොට පොඩි හාමුදුරුවන්ගෙ අම්මල, තාත්තල එහෙම කොහේද?

‘‘අපි පස්යාලේ.‘‘

‘‘ඇයි පොඩි හාමුදුරුවෝ මහණ වුණේ?‘‘

‘‘මං පන්සල් යන්න හරි ආසයි. අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තාත්තගෙන් අහල මාව මහණ කරන්න කැමති ද කියල. අම්ම නම් කැමති වෙලා නෑ. ඒ වුණාට මගේ කේන්දරේ හතර කොණ පාළුයි කියල, ලොකු හාමුදුරුවෝ තාත්තට කියල මාව මහණ කරන්න කියල.‘‘

‘‘එහෙම ද?

‘‘එතකොට විසල් ඇවිත් ඉන්නෙත් මහණ වෙන්න ද?

‘‘අපෝ නෑ... මං ඉස්කෝලෙ යන්න ආස නැති නිසා හොඳ ගුණධර්ම ඉගෙන ගන්න කියල තමයි තාත්තා මාව ටික කාලෙකට පන්සලේ නැවැත්තුවේ.‘‘

‘‘එහෙම ද?

‘‘පොඩි හාමුදුරුවන් රෑට දානේ වළඳිනනේ නැද්ද? ඔබ වහන්සේට රෑට බඩගින්නෙ ඉන්න පුළුවන් ද?

දැන් නම් පුළුවන්. රෑට හොඳ කිරි තේ දෙක තුනක් බොනවා. එතකොට ඉන්න පුළුවන්. මුල් දවස්වල නම් හරි අමාරු වුණා රෑට බඩගින්නෙ ඉන්න. ලොකු හාමුදුරුවෝ මට කියා දුන්නා රෑට බඩගින්නෙ ඉන්න විදිහ.‘‘

‘‘මට නම් බෑ රෑට නොකා ඉන්න. ඒ හින්දා මං නම් කවදාවත් මහණ වෙන්නෑ.‘‘

‘‘දැන් එතකොට විසල් රෑට පන්සලේ කෑම නැතුව කොහොමද ඉන්නේ.‘‘

‘‘ මම මේ පේර, පළතුරු ටිකක් තියාගෙන රෑට කනවා.‘"

‘‘ඔව් ඒකත් හොඳයි. අපි යමුද එහෙනම් ? දවල් බුද්ධ පූජාව තියන වේලාවත් හරි. ලොකු හාමුදුරුවෝත් බලාන ඇති.‘‘

‘පොඩි හාමුදුරුවොත්, මාත් පන්සලේ ආවාස ගෙය වෙත ඇවිද යනවිට මං ඈතදීම දුටුවවෙි සහන්ගෙ අම්මලා, තාත්තලා එනමි එළවලු මුදලාලිලා පන්සලට විත් ආවාස ගෙයි ඉදිරිපිට ඉන්නා දසුනයි. සහන් කිව්වේ ඉස්කෝලෙට කැරකෙන ධර්ම චක‍්‍රය තියෙන බුදු පිළිමය ගෙනා කෙනාය. මට බය සිතුනේ මං පන්සලේ නවතින්න ආ බව ඔවුන් දැන ගෙනවත් ආව ද කියා යි. මම ඔවුන්ට නොපෙනෙන්න උයන ගෙය පැත්තට හෙමිහිට පිය මැන්නෙ බයෙන්‍ය.

නැවත හෙට හමුවෙමු .

21 views0 comments

Recent Posts

See All

*එතෙරින් එතරට *

(22 වෙනි කොටස ) වාහනය පැයට කිලෝමීටර් 120ක වේගයකින් එකදිගට ගමන් කරයි. කොරියන් රියැදුරු මගෙන් මොන මොනවාදෝ කොරියන් භාෂාවෙන් ඇසීය. මට කිසිදු...

コメント


bottom of page